අංශභාගය (පැත්තක් පණ නැතිව යාම) Stroke

අංශභාගය යනු කුමක්ද?

අංශභාගය ඇතිවීමද ශ‍්‍රී ලංකාවේ සුළභව දැකිය හැකි තත්වයකි. මෙය බොහෝ විට වයසක පුද්ගලයින්ට සිදුවිය හැකි වුවද යම් යම් ව්‍යාකූලතා හේතුකොටගෙන තරුණ වයසේදී වුවද විය හැක.
අංශභාගය වෛද්‍ය විද්‍යාවේදී Stroke ලෙස හැඳින්වේ. මෙය ඉතාම සරළව හැඳින්වුවහොත් Heart attack එකකට සමානව මොළයේ සිදුවන Brain attack එකක් ලෙසද හැඳින්විය හැක.
එහිදී සිදුවන්නේ මොළයට රුධිරය රැගෙන යන රුධිර වාහිනියක් තුල ලේ කැටියක් හිරවීම හෝ එම රුධිර වාහිනියක් පුපුරා යාමෙන් රුධිර ගමනා ගමනයට බාධා වීමයි. එම හේතුව නිසා මොළයේ සෛල විනාශ වීම සිදුවේ.
විනාශ වූ ප‍්‍රමාණය හා ස්ථානය මත පදනම්ව රෝගියාගේ ඇතිවන රෝග ලක්‍ෂණ විවිධාකාර වේ.

මෙවැනි තත්වයකදී ඇතිවන රෝග ලක්‍ෂණ මොනවාද?

- එකවර ඇතිවන සිහිමද ගතිය හෝ සිහිසුන් වීමත්, කථාකිරීමට අපහසු වීම හෝ කථාකිරීමට නොහැකි වීම.
- එකවර ඇතිවන හිරි වැටීම හෝ පණ නැතිව යාම. එය ප‍්‍රධාන වශයෙන් මුහුණේ , අත්වල හෝ පාදවල විය හැක. බොහෝ විට ශරීරයේ එක් භාගයක එසේත් නැත්නම් ශරීරයේ වම් පැත්තේ හෝ දකුණු පැත්තේ ඇතිවේ.
- එකවර සිදුවන පෙනීමේ අපහසුතා
- එකවර සිදුවන ඇවිඳීමේ අපහසුතාව, ශරීරයේ සමබරතාව නොමැතිවීම.
- එකවර ඇතිවන තද හිසේ කැක්කුම

මෙවැනි අවස්ථාවලදී ගත යුතු පියවර මොනවාද?

මෙම රෝගී තත්වයේදී සිදුවන්නේ මොළයට හානිවීමකි. එබැවින් රෝගියාට ඒ අවස්ථාව ගැන අවබෝධයක් නැත. ඔබ අවට සිටින පුද්ගලයින් හට එම රෝගය ගැන අවබෝධයක් නැත්නම් එය මනස විකාර වීමක් යැයි සිතිය හැක. ඒ හේතුව නිසාම සෑම පුද්ගලයෙක්ම මෙම රෝග ලක්‍ෂණ ගැන මනා අවබෝධයක් තිබිය යුතුය. මන්ද යත් ඊළග රෝගියා ඔබ හෝ ඔබගේ ලගම ඥාතියෙක් විය හැකි බැවිනි.

මොළයේ සෛල ඉතාම සංවේදී වන අතර ඉතාම සුළු රුධිර සැපයුමේ වෙනසක් සිදුවුවහොත් පවා සෛල විනාශ වීම විය හැක. එබැවින් රෝග ලක්‍ෂණ වල අඩුවීමක් හෝ වැඩිවීමක් ගැන බලමින් කාලය ගත නොකල යුතුය. එවැනි සැක සහිත සෑම අවස්ථාවකම හැකි ඉක්මනින් රෝගියාව රෝහලට ගෙන යා යුතුය. එසේ නොවුනහොත් සිදුවන්නේ රෝගියාගේ මොළයට වන හානිය වැඩිවීම හෝ රෝගියාගේ ජීවිතයට තර්ජනයක් වීමයි.

අංශභාගය ඇතිවීම වලක්වා ගන්නේ කෙසේද?

අංශභාගය ඇතිවීම සඳහා බලපාන හේතු සාධක ගණනාවකි. ඉන් ආරෙට යාමේ සම්භාවිතාවක් ද තිබෙන නමුත් බොහොමයක් අනෙකුත් සාධක පාලනය කල හැකිවේ.
- ඔබ අධික රුධිර පීඩනයෙන් පෙලෙන්නේ නම් නොකඩවා ප‍්‍රතිකාර ගැනීමෙන් එය පාලනය කල යුතුය.
- ඔබ දියවැඩියාවෙන් පෙලෙන්නෙක් නම් නොකඩවා ප‍්‍රතිකාර ගැනීම හා රුධිරයේ සීනි ප‍්‍රමාණය සාමාන්‍ය තත්වයේ තබාගත යුතුය.
- දිනපතා ව්‍යායාම කිරීම.
- දුම්පානය නතර කිරීම.

ලිපිය පළකල දිනය Article uploaded on: 30/04/2024
මෙම දැනුම ඔබේ යහළුවන් අතරේත් බෙදාගන්න

ඔබ ලෙඩරෝග පිළිබඳ දැනුවත්ද?

එන්න, දැනුම මැනල බලමු සියලුම ගැටළු