ආතරයිට්ස් (Artheritis)

ඔස්ටියෝ ආතරයිට්ස් යනුවෙන් අදහස් කරන්නේ කුමක්ද?

වයසට යාමත් සමඟ හන්දි වල ගෙවීයාම නිසා ඇතිවන ව්‍යාකූලතාවයකි.
සෑම හන්දියක්ම නිර්මානය වීමේදී ප‍්‍රධාන වශයෙන් කාටිලේජ, තරල පඨක හා අස්ථිමය කොටසක් දායක වී ඇත. කාටිලේජ, අස්ථි අතර ඇති ”කුෂන් ” එකක් ලෙස ක‍්‍රියා කරයි. මුලින්ම ගෙවී යන්නේ මෙම කාටිලේජ වන අතර එම හේතුවෙන් අස්ථිමය කොටසක් එකිනෙකට ඇතිල්ලීමට පටන්ගනී. එහි ප‍්‍රතිඵලයක් ලෙස කැක්කුම, ඉදිමීම හා හන්දි හයිවීම ද සිදුවේ. මීට අමතරව අස්ථී වර්ධනය ක‍්‍රමාණුකූලව සිදුනොවන නිසා හන්දිවල හැඩය පවා වෙනස් වේ.
වැඩිපුරම බලපෑමට ලක්වන හන්දි වනුයේ වළලූකරල දනිස් හන්දිය, උකුල් හන්දිය වේ.

වයසට යාමට අමතරව බලපාන අනෙකුත් හේතු මොනවාද?

සාමාන්‍යයෙන් වයසට යාමත් සමඟ ඇතිවන ඔස්ටියෝ ආතරයිටිස් තත්වයන් මතුවන්නේ අවුරුදු 55ක් පමණ ගතවූ පසුය. නමුත් අනෙකුත් බලපෑම් ඇති අවස්ථාවලදී ඊට කලින් ඇතිවීමේ හැකියාව ඇත.
- අධික ශරීර බර
-කලින් වූ අස්ථි බිඳීම්
- රැකියාවේ ස්වභාවය
-ලේ ගැලීම් ආශ‍්‍රිත රෝග තත්වයන් :හීමෝෆිලියා
-අනෙකුත් ආතරයිටිස් තත්වයන් :උදා: රුමැටොයිඞ් ආතරයිට්ස්

මේ සඳහා ඇති ප‍්‍රතිකාර ක‍්‍රම මොනවාද?

ඔස්ටියො ආතරයිට්ස් තත්වය ඇතුළු අනෙකුත් ආතරයිට්ස් තත්වයන් නිට්ටාවටම සුවකල නොහැක. නමුත් විවිධ ප‍්‍රථිකාර ක‍්‍රම මඟින් එහිදී ඇතිවන බලපෑම පාලනය කල හැක. මේ සඳහා විවිධ ඖෂධ වර්ග වෛද්‍යවරු විසින් නියම කරනු ලැබේ. විශේෂයෙන්
-
වේදනා නාශක ඖෂධ වර්ග (NSAIDS)
- වේදනා නාශක ක‍්‍රීම් වර්ග
- එන්නත් මාර්ගයෙන් අදාල හන්දියට ඖෂධ වර්ග ඇතළු කිරීම (Steroids)

⋆ ජීවන රටාවේ යම් යම් වෙනස්කම් ඇතිකර ගැනීම.
-මෙවැනි තත්ව වලදී ක‍්‍රියාකාරී ජීවිතයක් ගත කිරීම ඉතාම වැදගත්ය. නැතහොත් මෙවැනි තත්වයන් තව දුරටත් වර්ධනය වී හන්දි හයිවීම පවා සිදුවේ. වෛද්‍යවරයාගේ හා භෞතචිකිත්සක වරයාගේ උපදෙස් පරිදි අදාල ව්‍යායාම කිරීම.
- හැකිනම් පිහිනීම ඉතා හොඳ ව්‍යායාම ක‍්‍රමයක් වේ.
- අදාල ස්ථානය වරෙකට උණුවතුරෙනුත් තවත් වරෙක සිසිල් දෙයකිනුත් තැවීම.
- සමබල ආහාර ගැනීම.
- බර අඩුකර ගැනීමට උත්සහ කිරීම.

⋆ අදාල හන්දියට ආධාරක පැළදීම
උදා Braces/Splinters
- මෙමඟින් අදාල හන්දියේ ක‍්‍රියාකාරිත්වයට උදව් කිරීමක් කරයි.
- එහිදී හන්දියේ සමහර ක‍්‍රියාකාරිත්වයන් වලකන අතර අනෙක් ක‍්‍රියාකාරිත්වයන්ට ඉඩදීමක් කරයි.
- එහිදී වඩා ගෙවී ඇති ස්ථාන වර්ධනය වීමට ඉඩ සැලසීමක් කරයි.
- නමුත් මේවා සෑම විටම වෛද්‍යවරයෙකුගේ උපදෙස් පරිදි ගත යුතුය. එසේ නොවුවහොත් හන්දි හයිවීමත්, තව දුරටත් ක‍්‍රියාකාරිත්වය අඩුවීමත් විය හැක.

⋆ ශල්‍යකර්ම සිදුකිරීම.
අදාල හන්දියේ ක‍්‍රියාකාරිත්වය සැලකිය යුතුලෙස අඩුවී තිබේනම්, දෛනික කටයුතුවලට පවා අධික ලෙස බලපෑමක් ඇතිකරන්නේ නම් හා අනෙකුත් සියළුම ක‍්‍රම මඟින් සහනයක් නොලැබේනම් අවසාන ප‍්‍රථිකාර ක‍්‍රමය ලෙස ශල්‍යකර්ම කිරීම තෝරාගැනේ.
එහිදී හානිවී ඇති කාටිලේජ ඉවත්කිරීම, අසාමාන්‍ය ලෙස වර්ධනය වී ඇති අස්ථි කොටස් ඉවත්කිරීම, කෘතිම හන්දියක් දැමීම ආදි විවිධ ක‍්‍රම භාවිතා කරයි. නමුත් මෙම ශල්‍යකර්ම ක‍්‍රම සෑම රෝගියෙක් සඳහාම සුදුසු නොවිය හැක. ඊට බලපාන සාධක වනුයේ අනෙකුත් රෝගී තත්ව හා අනෙකුත් හන්දි වල ක‍්‍රියාකාරිතවය ආදී කරණු වේ.

අනෙකුත් විවිධ ප‍්‍රථිකාර ක‍්‍රම මඟින් ප‍්‍රතිඵල තිබේද?

චීන කටු හා අනෙකුත් ප‍්‍රතිකාර ක‍්‍රම ශරීරයේ කෙසේ ක‍්‍රියාකරයිද යන්න හරියටම සොයාගෙන නැතිමුත් සමහර රෝගීන් සඳහා තාවකාලික සුවයක් ලබාදුන් අවස්ථා ඇත.
දැනට ඇති කිසිම ප‍්‍රථිකාර ක‍්‍රමයකින් නිට්ටාවටම තත්වය සුවකල නොහැක.

ලිපිය පළකල දිනය Article uploaded on: 24/02/2024
මෙම දැනුම ඔබේ යහළුවන් අතරේත් බෙදාගන්න

ඔබ ලෙඩරෝග පිළිබඳ දැනුවත්ද?

එන්න, දැනුම මැනල බලමු සියලුම ගැටළු