Metformin ඖෂධය ගැන දැන ගනිමු

Metformin ඖෂධය භාවිතා කරන්නේ කුමන රෝගී තත්ව සදහාද?

රුධීරයේ ඇති සීනි ප‍්‍රමාණය පාලනය කිරීමට මෙම ඖෂධය යොදා ගනී.

මෙමගින්

ආහාර වල ඇති ග්ලූකෝස් ශරීරයට අවශෝෂණය අඩුකිරීම.

අක්මාවෙන් ග්ලූකෝස් නිෂ්පාදනය අඩුකිරීම

මාංශ පේශී මඟින් රුධිරයේ ඇති ග්ලූකෝස් භාවිතා කිරීම කාර්්‍යක්ෂම කිරීම සිදුකරයි.

එබැවින් මෙම ඖෂධය ශරීරයේ යම් තරමකට ඉන්සියුලින් නිපදෙන තත්වයක් (Type 11 Diabetes) ඇති අයට භාවිතා කරනු ලබන අතර දියවැඩියා තත්වය ඇත්තේ ඉන්සියුලින් හෝමෝනය නිපදනොවන හේතුවක් නිසා නම් ( Type 1 Diabetes) මෙම ඖෂධයේ භාවිතයේ ප‍්‍රයෝජනයක් නොවනු ඇත.

මෙම ඖෂධය භාවිතා කල යුත්තේ කෙසේද?

ඉතාම වැදගත් කරුණ වනුයේ මෙම ඖෂධය සෑම විටම සුදුසුකම් ලත් වෛද්‍යවරයෙකුගේ උපදෙස් ඇතිව පමණක් ගත යුතුය.

නොඑසේ නම් නොයෙකුත් අතුරු ආබාධ ඇති විය හැකි අතර මෙම ඖෂධයේ භාවිතය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වේ.
එබැවින් පවතින තත්වය අධ්‍යනය කර වෛද්‍යවරයා විසින් එම ඖෂධයේ යෝග්‍යතාව තීරණය කරනු ඇත.

මෙම ඖෂධය ආකාර කිහිපයකට වෙළඳපලේ ඇත.

පෙති වශයෙන්

දියර වශයෙන්

දියර වශයෙන් ගැනීම එතරම් ප‍්‍රචලිත නැත.
පෙති වශයෙන් අකාර දෙකකට පවතී. එයින් එක් වර්ගයක් සාමාන්‍ය වශයෙන් ඇති පෙති වන අතර, අනෙක් වර්ගය ශරීරගතවු පසු ක‍්‍රමක් ක‍්‍රමයෙන් ශරීරයට අවශෝෂණය වීම සිදුවේ. ( Extended release)

මෙම වර්ගයේ පෙති සැපීම සිදුනොකර සම්පූර්ණ පෙත්තම ගිලිය යුතුවේ.

Metformin නියමිත මාත‍්‍රාව නියමිත වේලාවට ගැනීමට අමතක වුවහොත් සිදුකල යුත්තේ කුමක්ද?

ඔබට මතක් වූ වහාම නියමිත මාත‍්‍රාව ගැනීම යෝග්‍ය වේ. නමුත් ඊලගට ගත යුතු වේලාවට ඉතාම ආසන්න නම් එය ගැනීම නොකල යුතුය. නියමිත මාත‍්‍රාව පමනක් අදාල වේලාවට ගත යුතුය.

Metformin ඖෂධය නිසා ඇතිවිය හැකි අතුරු ආබාධ මොනවාද?

මෙම ඹෟෂධය නිසා කලාතුරකින් රුධීරයේ ආම්ලික තත්වයක් ඇතිවිය හැක.(Lactic acidosis)
සමහර පරික්ෂණ වලදී ( උදා - සමහර X-ray, CT හා MRI පරික්ෂණ) ඩයි එකක් ශරීර ගත කරනු ලබයි.

මෙම ඩයි එක නිසා Metformin ඖෂධය ගන්නා පුද්ගලයින්ගේ ඉහත කී අම්ලික තත්වය ඇති කරනු ලබන අතර එවැනි පරීක්ෂණයකට ප‍්‍රථම Metformin ඖෂධය ලබාගන්නා බව පැවසිය යුතුය.

එවිට වෛද්‍යවරයා එම ඹෟෂධය පරීක්ෂණයට පෙර නැවැත්වීම සිදුකර දින 2කදී පමණ පසු නැවත පටන් ගැනීමට උපදෙස් දෙනු ඇත.

ඔබේ ශරීරයේ අධික තෙහෙට්ටු ගතිය, පණ නැති ගතිය, වමනය හා ඔක්කාරය, උදරයේ වේදනාව, ආහාර රුචිය අසාමාන්‍ය ලෙස අඩුවීම, ස්වසනයේ අපහසු බව, මාංශ පේෂී වල දැඩි වේදනාව වැනි තත්ව ඇතිවන්නේ නම් ඒ බව වෛද්‍යවරයාට දැන්විය යුතුය.

මෙම ලක්ෂන Metformin ඖෂධයේ අතුරු ආබාධයක් ලෙස ඇතිවිය හැක.

මෙම ඖෂධය සමඟ මධ්‍යසාර භාවිතා කිරීමේ දී ඉහත කී ආම්ලික තත්වය ( Lactic acidosis) ඇතිවීමේ අවධානම ඇතිවේ. එබැවින් එයින් වැලකිය යුතුය.

ලිපිය පළකල දිනය Article uploaded on: 14/02/2015
මෙම දැනුම ඔබේ යහළුවන් අතරේත් බෙදාගන්න

ඔබ ලෙඩරෝග පිළිබඳ දැනුවත්ද?

එන්න, දැනුම මැනල බලමු සියලුම ගැටළු