මුත‍්‍රාවල ගල් ඇතිවීම (Urinary tract stones)

මුත‍්‍රා මාර්ගයේ ගල් ඇතිවීමට හේතු මොනවාද?

මුත‍්‍රාවල ඇතිවන ගල් නිසා ඇතිවන රෝගී තත්වයන් හේතුකොටගෙන දිනපතා විශාල වශයෙන් රෝහල් ගතවේ. මුත‍්‍රා මාර්ගයේ ඕනෑම තැනක ගල් ඇතිවිය හැක. එය පිහිටන ස්ථානය අනුව ඇතිවන රෝග ලක්‍ෂණ ද විවිධාකාර වේ.

මුත‍්‍රා මාර්ගයේ ගල් ඇතිවීමට නිශ්චිත හේතුවක් හරියටම කිව නොහැක. නමුත් පහත දැක්වෙන විවිධ අවස්ථාවල දී මුත‍්‍රාවල ගල් ඇතිවීමේ වැඩි අවධානමක් ඇත.
- මුත‍්‍රාවල ඇතිවන විෂබීජ තත්වයන්
- මුත‍්‍රා මාර්ගයේ පිහිටීමේ ඇති වෙනස් කම්
- ශරීරයේ පරිවෘත ක‍්‍රියාවලියේ ඇතිවී ඇති දෝෂ තත්වයන්
- මුත‍්‍රා මාර්ගයේ මුත‍්‍රාගමනට ඇතිවී ඇති අවහිරතා
- සමහර ඖෂධ වර්ග

මුත‍්‍රා මාර්ගයේ ඇතිවන ගල් නිසා හටගන්නා රෝග ලක්‍ෂණ මොනවාද?

වකුගඩු තුල ඇති ගල් නිසා බොහෝ වේලාවට රෝග ලක්‍ෂණ එකවර පෙන්නුම් නොකරයි. නමුත් එසේ හටගන්නා ගල් කැබැල්ලක් මුත‍්‍රා ගමන් කරන මාර්ගයට ඇතුළු වුවහොත් සෑදෙන මුත‍්‍රා පිටවීමට බාධාවන නිසා විවිධ රෝග ලක්‍ෂණ ඇතිකරයි.
- මෙහිදී ඉවසිය නොහැකි ආකාරයේ දැඩි වේදනාවක් ඇතිවේ.
- මෙය විනාඩි 10-15 දක්වා අතර කාලයකදී එහි උපරිම තත්වයේ වූ වේදනාවක් බවට පත්වේ.
- මුලදී මෙම කැක්කුම පිට කොන්ද දෙසින් හටගන්නා අතර ටික වේලාවකින් එය යටි බඩ දෙසට පැතිරේ. පිරිමින්ගේ මෙය වෘෂණ දක්වාම පැතිරී යා හැක.
- මේ සමඟ දහඩිය දැමීම මෙන්ම ඔක්කාරය සමඟ වමනය යාමද සාමාන්‍යයෙන් සිදුවේ.

මුත‍්‍රා මාර්ගයේ පහළම කොටසේ මෙම ගල් කැබැල්ලක් හිර වුවහොත් මුත‍්‍රා අඩස්සිය ඇතිවීම හෝ නිතර නිතර මුත‍්‍රා කිරීමේ අවශ්‍යතාව ඇතිවේ. බොහෝ විට එම ගල් කැබලි නිසා මුත‍්‍රා මාර්ගයේ සිදුවන ඉරීම් නිසා ඇතිවන රුධිර වහනය හේතු කොටගෙන මුත‍්‍රා රෝස පැහයේ සිට තද රතු පැහැයක් ගත හැක.
මුත‍්‍රා සමඟ අදාල ගල් කැබැල්ල පිට වුවහොත් සිදුවන ඉරීම් හේතුකොටගෙන මුත‍්‍රාකරන විට තද දැවිල්ලක් ඇතිවිය හැක.

වකුගඩු වල ඇති ගල් හඳුනාගැනීමේ පරීක්‍ෂණ මොනවාද?

- එක්ස් රේ පරීක්‍ෂණ
- ස්කෑන් පරීක්‍ෂණ
- මුත‍්‍රා පරීක්‍ෂණ
ඉහත සඳහන් පරීක්‍ෂණ මඟින් බොහෝ විට මුත‍්‍රා මාර්ගයේ ඇති ගල් හඳුනාගත හැක.

මුත‍්‍රා මාර්ගයේ ගල් ඇතිවිට ඒ සඳහා ප‍්‍රථිකාර කරන ක‍්‍රම මොනවාද?

මුත‍්‍රා මාර්ගයේ සෑදෙන බොහොමයක් ගල් මුත‍්‍රා සමඟ පිටවීමට හැකියාවක් ඇත. ඊට බලපාන ප‍්‍රධාන සාධකය වනුයේ එම ගල්වල ප‍්‍රමාණය වේ. සාමාන්‍යයෙන් එහි ප‍්‍රමාණය සෙන්ටිමීටර් 1කට වඩා අඩුනම් එසේ පිටවීමේ වැඩි ප‍්‍රවනතාවයක් ඇත.
මේ සඳහා වෛද්‍යවරයා විසින් වේදනා නාශක ඖෂධ නියම කරනු ලබන අතර වැඩිපුර ජලය පානය කිරීමට උපදෙස් දෙනු ලබයි.
සාමාන්‍යයෙන් සතියකින් පමණ පසු වෛද්‍යවරයා විසින් එක්ස්රේ පරීක්‍ෂණ හා ස්කෑන් පරීක්‍ෂණ මඟින් එම ගල පිටවී ඇතිදැයි පරීක්‍ෂා කරනු ලබයි.

එසේ පිටනොවන අවස්ථාවලදී කල හැකි ප‍්‍රථිකාර ක‍්‍රම කිහිපයකි.

ESWL (Extracorporeal Shock Wave Lithotripsy) ප‍්‍රථිකාර ක‍්‍රමය.

මෙම ක‍්‍රමය වකුගඩුවල ඇති ගල් කුඩා කැබලි වලට කඩු කිරීමට භාවිතා කරයි.
මෙම ප‍්‍රථිකාර ක‍්‍රමයේදී විශේෂිත උපකරණයක් මඟින් වකුගඩුවේ ඇති ගල ඉලක්කකර ශරීරයේ පිටත සිට තරංග යොමු කිරීමක් සිදු කරයි. එමඟින් අදාල ගල කුඩා කැබලි වලට කැඞී යන අතර ඒවා මුත‍්‍රා මාර්ගය දිගේ පිටවීම සිදුවේ.
මෙම ප‍්‍රථිකාර ක‍්‍රමයේදී කොන්ද ප‍්‍රදේශයේ හෝ උදරයේ යම් තරමක වේදනාවක් ඇතිවිය හැකි මුත් එය දරාගත හැකි ප‍්‍රමාණයේ වේ.
කුඩා ගල් කැබලි දින කිහිපයක් මුත‍්‍රා සමඟ පිටවීම සිදුවන අතර මුත‍්‍රා සමඟ රුධිරයද පිටවිය හැකිය. ගල් පිටවීමේදී ඇතිවිය හැකි වේදනාව සමනයට වේදනා නාශක ඖෂධ වෛද්‍යවරයා විසින් නියම කරනු ලබයි. ප‍්‍රථිකාරය ලබාදුන් දිනයේම රෝහලින් පිටව යා හැකි අතර සාමාන්‍යයෙන් දින කිහිපයකට පසු සාමාන්‍ය වැඩකටයුතු වල නිරතවිය හැක.

වකුගඩු හා මුත‍්‍රාශය යා කරන මුත‍්‍රා වාහිනියේ ගල් හිරවී ඇත්නම් කැමරාවක් සවිකර ඇති බටයක් මත‍්‍රා මාර්ගය දිගේ අදාල ස්ථානය වෙත යොමු කර කෙලින්ම කම්පන ඇතිකරයි. එමඟින් එම ගල් කුඩුවී යයි. කුඩා කැබලි පහසුවෙන් මුත‍්‍රා සමඟ පිටවී යයි.
සමහර අවස්ථාවලදී ඉහත සඳහන් කල ක‍්‍රම සාර්ථක නොවන අවස්ථාද ඇත. ඊට හේතුව වන්නේ ගල් පිහිටා ඇති ස්ථානයත් ඒවා සවිශක්තියෙන් වැඩි වීමත් වේ. එවැනි අවස්ථාවලදී ශල්‍යකර්මයක් මඟින් එවැනි ගල් ඉවත් කිරීම සිදුකෙරේ

මේ ආකාරයට මුත‍්‍රා මාර්ගයේ හා වකුගඩු වල සෑම ගලක්ම ඉවත්කිරීම කල යුතුද?

මුත‍්‍රා ගමනයට අවහිර කරන බැවින් ඒවා ඉවත් කිරීම කල යුතුය. නමුත් සමහර අවස්ථාවලදී මුත‍්‍රා ගමනයට බාධාවක් නොවන අයුරින් පවතින ගල් ඉවත් කල යුතු වන්නේ නැත.

මෙම තත්ව වලට ප‍්‍රථිකාර නොකර සිටීමෙන් කුමක් සිදුවේද?

- වකුගඩු ඉදිමීම.
- විෂබීජ තත්ව ඇතිවීම.
- වකුගඩු නරක්වීම.
- නිතර නිතර වේදනාව ඇතිවීම
- මුත‍්‍රා සමඟ ලේ පිටවීම
- එම ගල්වල ප‍්‍රමාණය ක‍්‍රමයෙන් විශාල වීම.

මෙසේ මුත‍්‍රා මාර්ගයේ ගල් ඇතිවීම වලක්වාගනුයේ කෙසේද?

හොඳම ක‍්‍රමය වනුයේ පිරිසිදු ජලය පානය කිරීමයි. එවිට මුත‍්‍රා හොඳින් පිටවීමක් සිදුවන නිසා මන්ඩි ආකාරයට මුත‍්‍රා මාර්ගයේ ඉතිරිවන සියල්ල සේදී යාම සිදුවේ. එබැවින් ගල් සෑදීම ඇති හැකියාව අඩුවේ. ජලය අවශ්‍ය ප‍්‍රමාණයට පානය කලේ නම් පැහැදිලි වර්ණයෙන් යුතු මුත‍්‍රා පිටවීම සිදුවිය යුතුය.
- මුත‍්‍රාවල විෂබීජ තත්ව ඇත්නම් ඒවාට නොපමාව ප‍්‍රථිකාර ගැනීම.
- කැල්සියම් පෙති අනවශ්‍ය ලෙස විශාල ප‍්‍රමාණවලින් ගැනීමෙන් වැලකීම.

සමහර ආහාර වර්ග වලින් මුත‍්‍රාවල ගල් ඇතිවීමේ අවධානම වැඩිකෙරේද?

මුල් කාලයේ වූ අදහස වූයේ කැල්සියම් බහුල ආහාර කිරි වර්ග ද ඇතුළුව මුත‍්‍රාවල ගල් සෑදීමේ ප‍්‍රවනතාවය වැඩිකරන බවයි. නමුත් නූතන පරීක්‍ෂණ බොහොමයක් සනාථ කර ඇත්තේ එවැනි ආහාර මඟින් එසේ ගල් සෑදීමේ ප‍්‍රවනතාවය අඩුකරන බවයි.
නමුත් විටමින් D අධික ලෙස ගැනීමත්, උදරයේ දැවිල්ලට ගන්නා කැල්සියම් සහිත සමහර ඖෂධ වර්ග නිසාත් (Antacids) මුත‍්‍රාවල ගල් සෑදීමේ අවධානමක් ඇති බව සොයාගෙන ඇත.

ලිපිය පළකල දිනය Article uploaded on: 24/03/2013
මෙම දැනුම ඔබේ යහළුවන් අතරේත් බෙදාගන්න

ඔබ ලෙඩරෝග පිළිබඳ දැනුවත්ද?

එන්න, දැනුම මැනල බලමු සියලුම ගැටළු