වැසිකිලි යාමේ නිවැරදි ක්‍රමය හා මලබද්ධය දුරුකිරීම

මලබද්ධය ඇති වීමට ඇති ප්‍රධාන හේතුව කුමක්ද?

වැසිකිලි යාම හා මලබද්ධය සාමාන්‍ය ජනතාව අතර ඇති විශාල ප්‍රශ්ණයකි. ඕනෑම පුද්ගලයින් 5 දෙනෙකුගෙන් එක් අයෙකුට වැසිකිලි යන රටාවේ ප්‍රශ්ණයක් මෙන්ම මලබද්ධය ඇති බව නොයෙකුත් සමීක්‍ෂණ මඟින් සනාථ කර ඇත. එබැවින් එය සාමාන්‍ය ජනතාව අතර සැලකිය යුතු තරමේ ප්‍රශ්ණයකි.
නමුත් ප්‍රශ්ණය වනුයේ මේ සෑම කෙනෙකුටම මෙය කථාකල යුතු වූ මාතෘකාවක් වූවත් එය එසේ කිරීමට සැවොම මැලිවීමයි. තම තමුන්ගේ ප්‍රශ්ණය වැසිකිලියේ දොර වසාගෙන තනිවම විද දරාගැනීම සිදුකරයි.
වැසිකිලියේ සිට පත්තර බැලීම දුරකථනයෙන් යහළුවන් සමඟ කථාකරමින් සිටීම මෙන්ම දුම්පානය ද වැසිකිලි යාමේ ගැටළු ඇති බවට හොඳම සාධක වේ. එය එසේ කරනුයේ වැඩි වේලාවක් වැසිකිලියේ ගත කිරීමට සිදුවන නිසා වේ. මෙම කාරණය නිසා මතුවන සෞඛ්‍ය ගැටළු ගණනාවකි. මීට ප්‍රධානතම හේතුව වන්නේ වැසිකිලි යාමේ ඉරියව්වේ ඇති දෝෂයි.

නියම ආකාරයට වැසිකිලි යා යුතු ඉරියව්ව කුමක්ද?

ආහාර ජීර්ණ පද්ධතියේ පහළම කොටස ප්‍රධාන කොටස් 2කට බෙදා වෙන්කල හැක. එනම් 4cm - 5cm පමණ දිගකින් යුත් පහළම කොටස ගුදය ලෙසත් ඊට ඉහළින් වූ කොටස ගුද මාර්ගය ලෙසත්ය. සාමාන්‍ය සිටගෙන සිටින ඉරියව්වේ දී මෙන්ම පුටුවක වාඩිවී සිටින සිටින ඉරියව්වේ දී ද ගුදය හා ගුදමාර්ගය අතර නැම්මක් ඇති අතර එය මලපහ පිටවීම වැලැක්වීමට ශරීරයේ ඇති පිහිටීමකි. මෙම නැම්ම (Ano- rectal angle) පවත්වාගෙන යනුයේ ගුදය හා ගුද මාර්ගය යන ප්‍රදේශ අතර එය වටකරගෙන ඉදිරියට ඇදෙන්නාවූ මාංශපේශියකි. (Pubrorectalis)
සාමාන්‍යයෙන් වැසිකිලි යාමේදී සිදුවිය යුත්තේ ගුදය හා ගුද මාර්ගය අතර වූ නැම්ම නැතිවී එය එකම අක්‍ෂයක පිහිටිය යුතුවීමයි. එසේ වීමට ගුදය හා ගුද මාර්ගය අතර ප්‍රදේශය වටකරගෙන ඇති මාංශ පේශිය ලිහිල් විය යුතුවේ. මේ සඳහා විශේෂිත වූ ඉරියව්වක ශරීරය තබාගැනීමෙන් මෙම ක‍්‍රියාවලිය සිදුවේ. මේ සඳහා වඩාත්ම සුදුසු ඉරියව්ව ඇනතියා ඉඳගැනීමයි. (Squatting position)

නවීන යුරෝපීය ක්‍රමයට ඇති වැසිකිලි පෝච්චි මඟින් වැසිකිලි යාමේදී එම ශරීර ඉරියව්ව පවත්වාගත හැකිද?

වසර මිලියන ගණනක් තිස්සේ මනුෂ්‍යයා නිර්මානය වී ඇත්තේ ඇනතියා (Squatting positon) ගත් ඉරියව්වෙන් මලපහ කිරීමටයි. මෙම ඉරියව්ව සාමාන්‍යයෙන් ඇති වැසිකිලි පෝච්චියෙන් නියම ආකාරයට පවත්වාගත හැකි වූවත් නවීන යුරෝපීය ක්‍රමයට ඇති වැසිකිලි පෝච්චි (Commode) මඟින් එම ඉරියව්ව පවත්වාගත නොහැකිය.
එබැවින් ශරීරයට පහසුවක් සේ දැනුනද මලපහ කිරීමේ ක‍්‍රියාවට එය දැඩි ලෙස බාධා මතුකරයි. මෙය ක්‍රමාණුකූලව කරන ලද විද්‍යාත්මක සමීක්‍ෂණ මඟින් තහවුරු කර ඇත.

මෙසේ ක්‍රමාණුකූල ශරීර ඉරියව්වකින් තොරව මලපහ කිරීමේදී ඇතිවිය හැකි සෞඛ්‍ය ගැටළු මොනවාද?

- මලපහ සියල්ල ගුද මාර්ගයෙන් ඉවත් නොවී ඉතිරිවීම
- ඉතිරි වූ මලපහ ක්‍රමයෙන් ඝන වීම.
-
එබැවින් ඊළග වතාවේදී ඉතා තද ගතියෙන් යුත් මලපහ පිටවීමත් ඒ පිටවීම සමඟ ගුදය ඉරීයාමටත් ඇති හැකියාව.
- මලපහ මත ඇති නොයෙකුත් බැක්ටීරියාවන් නිපදවන වායු වර්ග එකතු වීම නිසා බඩ පිපීම හා නොසන්සුන් ස්වභාවයක් ඇතිවීම හා තරහ යාමද දැකිය හැක.

ගුදය හා ගුද මාර්ගය අතර නැමීම දිගහැරී නොමැති නිසා කොපමන තැටමීම කලත් එම නැමීමට ඉහළින් වූ මලපහ එළියට ඒමක් සිදු නොවේ. නමුත් ගුදය ආශ‍්‍රිතව තැටමීම මඟින් ඇති කරන්නාවූ අධික පීඩනය නිසා
-
රුධිර වාහිනි ඉදිමී පුපුරා යාම (අර්ශස්) සිදුවිය හැක.
මීට අමතරව මහා අන්ත‍්‍රය තුල ඇතිවන අධික පීඩනය නිසා එහි බිත්ති පුපුරාගොස් ඇතුළු බිත්තිය මඟින් පැසක් ආකාරයට ව්‍යූහයන් ඇතිවිය හැක. පසු කාලීනව මේවායේ මලපහ රැදීම හා විෂබීජ තත්ව ඇතිවීම සිදුවේ. මෙමඟින් භයානක ප්‍රථිඵල ඇතිකල හැක. පෙර යුගවල මෙය යුරෝපීය රටවලට පමණක් සීමා වුවද දැන් දැන් ලංකාව වැනි රටවලද මෙම තත්වය බහුලව දැකිය හැක. මීට ප්‍රධාන කාරණාවක් ලෙස යුරෝපීය ක්‍රමයට ඇති වැසිකිලි පෝච්චි හදුන්වා දීම දැක්විය හැක.
මීට අමතරව ගුද මාර්ගයේ සෑම විටම මලපහ ඉතිරි වීම නිසා එමඟින් ගුදය ආශ‍්‍රිතව ඇතිවන විවිධ ක‍්‍රියාකාරිත්ව එහි පිලිකා ඇති කිරීමට හේතුකාරක වේ.

වැරදි ඉරියව්වක සිට තැටමීමේදී ගුදය, මුත‍්‍රා මාර්ගය හා ස්ත‍්‍රීන්ගේ යෝනි මාර්ග නියමිත ස්ථානයේ රදවා තබා ගැනීමට ඉවහල්වන මාංශ පේශී වලට දැඩි පීඩනයක් එල්ලවේ. එබැවින් කාලයත් සමඟ එම මාංශ පේශී දුර්වල වීම නිසා ගර්භාෂය පහත් වීම සේම ගුද මාර්ගය ගුදයෙන් එළියට ඒමක් ද සිදුවිය හැක.

වැරදි ඉරියව්වක සිට අධික ලෙස තැටමීම හෘදය හා මොළයට බලපෑමක් කල හැකිද?

ගුද මාර්ගයේ පහළ කොටසේ ඇති ස්නායු උත්තේජනය මෙන්ම උදරයේ ඇතුළත ඇතිවන පීඩනය හේතුකොටගෙන හෘදය මෙන්ම මොළයේ රුධිර සැපයුම බාධා ඇතිවිය හැක. මෙහිදී තත්පර කිහිපයකට ඇස් නිලංකාර වන ගතිය හා පසුව හෘදය වේගයෙන් ගැහීමත් සිදුවන අතර පසුව දහඩිය දැමීමක් සිදුවේ. මෙය අධික තැටමීම නිසා ඇතිවන ප්‍රථිඵලයකි. මෙය බොහෝ විට වැඩිහිටියන් හට ඔරොත්තු නොදෙන තත්වයකි. එබැවින් නිවසේදී සිදුවන හෘදය ආශ‍්‍රිත ව්‍යාකූලතා මෙන්ම අංශභාගය වැනි තත්ව වලදී පසු විපරම් කර බැළුවහොත් එම රෝගියා අදාල සිදුවීමට පෙර වැසිකිලියට ගොස් තිබී ඇති බව බොහෝ විට හෙලිකර ගත හැක.

මල බද්ධයට හේතු කාරක වනුයේ වැරදි ඉරියව්වක සිට මලපහ කිරීම පමණක්ද?

නොයෙකුත් කාරණා රාශියක් මීට බලපාන අතර ඒ අතරින් වැරදි ඉරියව්වක සිට මලපහ කිරීම ප්‍රධාන සාධකයකි. එබැවින් නිවැරදි ඉරියව් භාවිතය මල බද්ධය ඇති පුද්ගලයෙකුට සහනයක් ලබාදේ.

නිවැරදි ඉරියව්වකින් මලපහ කිරීමට දැනට බොහොමයක් නිවෙස් වල ඇති යුරෝපීය ක‍්‍රමයේ වැසිකිලි පෝච්චි ඉවත් කල යුතුද?

එසේ කල යුතු වන්නේ නැත. සෑම විටම දනිස් හන්දිය උකුල් හන්දියට වඩා උඩ මට්ටමක තබා ගැනීමට කුඩා බංකුවක් භාවිතා කිරීම මඟින් නිවැරදි ඉරියව්ව ලබාගත හැක. මෙය සෑම විටම කල නොහැකි වේ. නිවසේදී හැර අනෙකුත් ස්ථාන වලදී වැසිකිලි පෝච්චියේ වාඩිවී සිටිය දීම කකුලේ ඇගිලි තුඩු වලින් විලූබ ප්‍රදේශය එසවීමෙන් තරමක් දුරට එම නියමිත ඉරියව්ව ලබාගත හැක.

ලිපිය පළකල දිනය Article uploaded on: 25/05/2013
මෙම දැනුම ඔබේ යහළුවන් අතරේත් බෙදාගන්න

ඔබ ලෙඩරෝග පිළිබඳ දැනුවත්ද?

එන්න, දැනුම මැනල බලමු සියලුම ගැටළු