ශල්‍යකර්මයක් මඟින් ගලනාලය ඉවත් කිරීමෙන් පසු ආහාර ගැනීමේදී සැලකිය යුතු කරුණු

ශල්‍යකර්මයට පසුව ආහාර ගැනීමට සිදුවන්නේ කොහොමද?

ගලනාලය ඉවත්කර ආමාශය ආධාරයෙන් ගලනාලය කෘත්‍ය කිරීමට නලයක් සෑදීම මෙම ශල්‍යකර්මයේ දී මූලිකව සිදුකෙරේ.
එබැවින් ගන්නා ආහාර ගබඩාවීමට පෙර පරිදි ආමාශයක් නැත. එසේම ගන්නා ආහාර ආපසු ඒම වැලැක්වීමට තිබූ කපාටද නැත.
ශල්‍යකර්මයෙන් පසුව අඩුම තරමේ සති 3-4 ක් පමණ යනතුරු සාමාන්‍ය ආහාර වේලක් ගත නොහැකිය.
ශල්‍යකර්මයෙන් පසු මූලික දිනවලදී කුඩා අනුත‍්‍රාවලට කෙළින්ම සම්භන්ධකරන ලද බටයකින් දියරමය ආහාර දෙනු ලැබේ. (Feeding Jejunostomy)
පසුව දින 7-10 ක් ගතවූ විට දියරමය ආහාර ක‍්‍රම ක‍්‍රමයෙන් මූඛයෙන් ගැනීමට සලස්වනු ලැබේ. රෝහලින් පිටකරනු ලැබූ පසු දෛනික වැඩවලට බාධාවක් වන්නේ නැත.

කුඩා බඩවැල්වල සම්භන්ධ කරන ලද බටය ( Feeding Jejunostomy) ආහාර දීම සඳහා භාවිතා කිරීමේ දී සැලකිය යුතු කරුණු මොනවාද?

⋆ මෙමඟින් දියරමය ආහාර පමනක්දිය යුතුය. (පෙරනයකින් පෙරා ගැනීමෙන් පසු)
- ලොකු සිරින්ජයක් (50cc සවිකර එයට දියරමය ආහාර පුරවා ඉහළට ඔසවා තැබීමෙන් මෙය කල හැක.
⋆ එසේ ආහාර දීමෙන් පසු සිරින්ජයට ජලය ගෙන සෝදා ගැනීම කල යුතුය. එමඟින් බටයේ ඉතිරිවී ඇති ආහාර බඩවැල් තුලට යාම සිදුවේ.
⋆ ආහාර දීමට ගත් උපකරන හොඳින් සබන් දා උණුවතුරෙන් සෝදාගත යුතුවේ.
⋆ බටය එළියට ඇදී ආ හැකි නිසා සුපරික්‍ෂාකාරී විය යුතුය.
⋆ කිසියම් හේතුවක් නිසා බටයේ හිරවිමක් ඇතිවූ විට වෛද්‍යවරයෙකුගේ උපදෙස් නොපමාව ලබාගත යුතුය.

( මෙම( Feeding Jejunostomy)බඩවැල් වලට සම්භන්ධකරන ලද බටය මඟින් ද ආහාර ලබාදීම සිදුකරනු ලබන්නේ මුල් දිනවලදී මුඛය මාර්ගයෙන් දියරමය ආහාර පමණක් ගන්නා අතර එය ගැනීමද අපහසු වේ. දෛනික ශක්ති අවශ්‍යතාව පිරිමැසීමට මෙසේ සිදුකරයි. )

මෙම ශල්‍යකර්මයෙන් පසු බඩවැල් වලට සම්භන්ධ කර ඇති බටය මඟින් මෙන්ම සාමාන්‍ය ආහාර වේලක් ගන්නා අවස්ථාවේදීත් නිතර නිතර මලපහ කිරීමට අවශ්‍ය වන්නේ ඇයි(වැඩිපුර බඩඑළිය යාම)?

මීට හේතුව වන්නේ ආහාර ගබඩාකර ටිකෙන් ටික ජීර්ණය සඳහා බඩවැල් වලට යොමු කිරීම පෙර පරිදි ආමාශය මඟින් නොවීමයි.
එබැවින් එකවර සියළුම ගන්නා ආහාර බඩවැල් වලට යොමු වීම නිසා ඒවා සියල්ල ජීර්ණය වීමට ප‍්‍රථම ගුද මාර්ගය වෙත යොමුවේ. එබැවින් නිතර නිතර වැසිකිලි යාමේ අවශ්‍යතාවයක් ඇතිවේ.

මේ සඳහා ගතහැකි ක‍්‍රියාමාර්ග මොනවාද?

- වරකට ආහාර ස්වල්ප ප‍්‍රමාණවලින් දිනකට වැඩිවාර ගණනක් ආහාර ලබදීම.
- සමහර ආහාර වර්ග වැඩිපුර වැසිකිලි යාමට හේතුපාදක වේ. එය රෝගියාගෙන් රෝගියාට වෙනස් වේ.
- වෛද්‍යවරයෙකුගේ උපදෙස් මත ගුද මාර්ගය වෙත තල්ලූකිරීමේ වේගය අඩුකිරීමට සමත් ඖෂධ වර්ග ලබාගැනීමට පුළුවන. මෙම ඖෂධ වලින් ආහාර ජීර්ණයට හා අවශේෂණයට කාලය ලබාදේ.

සාමාන්‍ය ආහාර වේලක් ගැනීමට පටන්ගත් විට සැලකිය යුතු කරුණු මොනවාද?

- ආහාර හොඳින් විකා ගිලිය යුතුය.
- ඉතා ඉක්මනින් ආහාර ගැනීම නොකල යුතුය.
- සවිමත් බවින් අඩු නමුත් විකා කැබැලිවලට කැඞීමට අපහසු ආහාර ගැනීමෙන් වැලකිය යුතුය. උදාහරණ වශයෙන් බොහෝ රෝගීන් මස් කැබැලි ශල්‍යකර්මය කල ස්ථානයේ හිරවීමෙන් රෝහලට පැමිනේ. මෙය විශේෂයෙන් වැඩි වශයෙන් තෙල් සහිත කොටස් හෝ ඉතා තද ගතියෙන් යුත් විශාල මස් කැබලි ආහාරයට ගැනීමේදී සිදුවේ.
- ඝණ ආහාර ගෙන විනාඩි 15-20 කට පමණ පසු ජලය පානය කල යුතුයි. නැතහොත් පානය කරන දෙය පෙනහළු වෙත යොමුවීමට අවධානමක් ඇත.
- සෑම විටම ආහාර ගැනීමේදී පුටුවක/බංකුවක වාඩිවී ගැනීම කල යුතු අතර ආහාර ගත්තායින් පසු පැයක් පමණ සිටගෙන සිටීම හෝ ඇවිදීම කිරීම කල යුතුය.

ලිපිය පළකල දිනය Article uploaded on: 04/05/2024
මෙම දැනුම ඔබේ යහළුවන් අතරේත් බෙදාගන්න

ඔබ ලෙඩරෝග පිළිබඳ දැනුවත්ද?

එන්න, දැනුම මැනල බලමු සියලුම ගැටළු