පපුවේ ඇතිවන දැවිල්ල (Heart burn)

පපුවේ ඇතිවන දැවිල්ල යනුවෙන් අදහස් කරන්නේ කුමක්ද?

පපුවේ මැද ප‍්‍රදේශයේ ඇතුලතින් ඇතිවන දැවිල්ලක ආකාරයේ කැක්කුම පපුවේ ඇතිවන දැවිල්ල යනුවෙන් අදහස් කරයි. මෙම කැක්කුම බෙල්ල හා උගුර දෙසට ව්‍යාප්ත විය හැක.

මෙසේ පපුවේ දැවිල්ල ඇතිවීමට හේතු මොනවා ද?

- පමණට වඩා ආහාර ගත්විට හෝ තෙල් අධික ආහාර ගත් විට මෙසේ පපුවේ දැවිල්ල ඇතිවීම සාමාන්‍ය සංසිද්ධියක් වුවද එය නිතර නිතර ඇතිවීම සැළකිය යුතුවේ.
-
ගලනාලය කෙළවර ඇති කපාටයේ ඇතිවන ලිහිල් වීමක් නිසා බාගෙට ජීර්ණය වූ ආහාර ආමාශයේ ඇති ඇසිඞ් ද (අම්ල) සමඟ ආපසු ගලනාලය වෙත පැමිණීමෙන් මෙම කැක්කුම හටගනී.

ගලනාලයේ කෙළවර ඇති කපාට ලිහිල් වීමට හේතු මොනවාද ?

ගලනාලයේ කෙළවරෙහි ඇති කපාටය ලිහිල් වීම හේතු ගණනාවක් නිසා විය හැක.
උත්පත්තියෙන්ම ඇතිවන හර්නියා තත්වයක් (උදර කුහරයේ තිබිය යුතු ගලනාලයේ කොටසක් ආමාශයේ ඉහළ කොටස ද සමඟ උරස් කුහරයට නෙරා ඒම.)මීට ප‍්‍රධාන වශයෙන් බලපායි.

දරුවන් ලැබීමට සිටින මවුවරුන්ට පපුවේ දැවිල්ල වැඩිපුර දැනෙන්නේ ඇයි?

- වර්ධනය වන කලලය මඟින් ආමාශයේ මත කෙරෙන තෙරපීම.
- දරුවන් ලැබීමට සිටින මවුවරුන්ගේ ශරීරයේ ඇති හෝමෝන් (Progesteron) වෙනස් වීමද කපාටයේ ක‍්‍රියාකාරිත්වයට බාධා ඇතිකරයි.
-
වමනය යාමේ සම්භාවිතාව වැඩිනිසා ඒ වන විටත් ගලනාලයේ බිත්ති වල ඇති තුවාල හෝ ඉඳිමීම නිසා ඉතා මද වශයෙන් වූ ආපසු ගැලීමකින් පවා තද කැක්කුමක් ඇතිවේ.

පපුවේ දැවිල්ල වැඩිකිරීමට හේතු වෙන ඖෂධ වර්ග තිබේද ?

- අධික රුධිර පීඩනයට භාවිතා කරන සමහර බෙහෙත් වර්ග (Propanalol, Atenalol, Nitidipin etc....)
- පාකින්සන්ස් නැමැති රෝගයට භාවිතා කරන ඩොපමයින් වැනි ඖෂධ වර්ග,
- ඇදුම රෝගය සඳහා භාවිතා කරන තියොෆිලින් වැනි ඖෂධ,
පපුවේ දැවිල්ල වැඩිකිරීමට හේතු වන ඖෂධ වර්ග ලෙස උදාහරණ ලෙස දැක්විය හැකිය.

- මීට අමතරව වේදනා නාශක පෙති හා ස්ටිරොයිඞ් (Prednisolon Dexamethason) ඖෂධ මඟින් ද පපුවේ දැවිල්ල වැඞ්විය හැක.

පපුවේ දැවිල්ල ඇතිවීම වැලැක්වීමට හා තිබෙන තත්ව පාලනය සඳහා නිවසේදී ගත හැකි ක‍්‍රියා මාර්ග මොනවාද?

අදියර කිහිපයක් යටතේ ක‍්‍රියාමාර්ග දැක්විය හැක.
- ආපසු උගුරට ඒම වැඩිකරන ආහාර වර්ග/පාන වර්ග ගැනීම අඩුකිරීම හෝ නැවැත්වීම.
උදා:
⋆ කාබනික පාන වර්ග
⋆ චොකලට්
⋆ දොඩම් පාන / පෙපරමින්ට්
⋆ මේදය වැඩි ආහාර / මිරිස් සැර වැඩි ආහාර ගැනීම අඩුකිරීම.
⋆ යොදය වැඩි කිරි නිෂ්පාදන ආහාරයට ගැනීම අඩුකිරීම.
⋆ මධ්‍යසාර ගැනීම හා දුම්පානය නැවැත්වීම.
⋆ තේ / කෝපි පානය අඩුකිරීම.

- ආහාර ගන්නා රටාවේ වෙනස්කම් කිරීම.
⋆ ආහාර ගැනීමෙන් පසු ඒ සමඟම නිදාගැනීමෙන් වැලකීම.
⋆ ආහාර ගැනීමෙන් පසු ඉදිරියට නැමීම, ව්‍යායාම වල නිරතවීමෙන් වැලකීම. නමුත් විනාඩි 15-20 ඇවිදීම ඉතා හොඳ ක‍්‍රමයකි.
⋆ වරකට ඉතා කුඩා ප‍්‍රමාණවලින් ආහාර ගැනීම.

- ජීවන රටාවේ වෙනස්කම් ඇති කිරීම.
⋆ තද ඇඳුම් හා තද ඉනපටි භාවිතයෙන් වැලකීම.
⋆ ශරීර බර අඩුකර ගැනීම. (සාමාන්‍යයෙන් රාත්තල් 10 පමණ අඩුකර ගත්විට ආහාර උගුරට ඒම අඩුවී යයි.)
⋆ ඇඳෙහි හිස තිබෙන පැත්ත එසවීම. මෙය ගඩොල් හෝ ලෑලි ඇඳෙහි කකුල් වලට තැබීමෙන් කල හැක. කොට්ට කිහිපයක් හිසට තිබීමෙන් බොහෝ විට යහපත් ප‍්‍රතිඵල ගෙන දෙන්නේ නැත. ඊට හේතු රෑට නින්දේදී කොට්ට තල්ලූවී යාම හා ගෙල ප‍්‍රදේශයේ වේදනාකාරී තත්වයක් ඇතිවීමට තුඩුදීමයි.
⋆ දුම්බීම නැවැත්වීම.
⋆ මානසික ආතතිය අඩුකර ගැනීම.(භාවනායෝගී ක‍්‍රම වඩාත් සුදුසුය) මානසික ආතතියද මෙම තත්ව වලට වැඩියෙන් බලපායි.


--
ඉහත සඳහන් කල ක‍්‍රමවලින් හොඳ නොවේනම් වෛද්‍යවරයෙකුගේ උපදෙස් මත ආමාශයේ ඇති ඇසිඞ් අඩුකරන ඖෂධ ගැනීම කල හැක. --

වෛද්‍යවරයෙකුගේ උපදෙස් පැතිය යුත්තේ කුමන අවස්ථාවේදී ද?

⋆ ඉහත සඳහන් කල ක‍්‍රම මඟින් සහනයක් නොලැබේනම්
⋆ මලපහ තාර වැනි කළුපැහැයට පිටවේනම්
⋆ කෑම රුචිය අඩුවීම / බර අඩුවීම
⋆ ලේ වමනය හෝ කෝපි පාටට වමනය යන්නේ නම්
⋆ පපුවේ ඇතිවන තද වේදනාව සමඟ හුස්ම ගැනීමේ අපහසුතා මෙන්ම ක්ලාන්ත ගතිය ඇතිවන්නේ නම්
වහාම වෛද්‍යවරයෙකුගේ උපදෙස් පැතිය යුතුය.

ලිපිය පළකල දිනය Article uploaded on: 29/03/2024
මෙම දැනුම ඔබේ යහළුවන් අතරේත් බෙදාගන්න

ඔබ ලෙඩරෝග පිළිබඳ දැනුවත්ද?

එන්න, දැනුම මැනල බලමු සියලුම ගැටළු