සෙම්ගෙඩි (Tonsilitis)

සෙම්ගෙඩි යනුවෙන් අදහස් කරන්නේ මොනවාද?

මුඛය, නාසය හා උගුර හා සම්භන්ධ වන ප‍්‍රදේශයේ වළල්ලක ආකාරයට කුද්දැටි පිහිටා ඇත. ඉන් උගුරේ දෙපැත්තෙන් පිහිටා ඇති කුද්දැටි 2ක් ප‍්‍රමාණයෙන් විශාලවන අතර ඒවා සෙම්ගෙඩි එසේත් නැතිනම් Tonsils යනුවෙන් හැඳින්වේ.

මෙම සෙම්ගෙඩි වල කාර්යය කුමක්ද?

මූඛය හා නාසය හරහා ශරීරයට ඇතුළුවන විෂබීජ අවම කිරීම මෙහි කාර්යයි. ඒ සඳහා ඒවායෙහි එම විෂබීජ විනාශ කල හැකි සෛල විශාල වශයෙන් ඒකරාශී වී ඇත.
නමුත් සමහර අවස්ථාවලදී ප‍්‍රබල ක‍්‍රියාකාරිත්වයෙන් යුත් විෂබීජ හේතුවෙන් සෙම්ගෙඩිවල අධි ක‍්‍රියාකාරිත්වයත් සමඟ ඒවා ඉදිමී විශාල වේ. සමහර විට එහි කොටස් විනාශ වී සැරව එකතු වීම පවා සිදුවිය හැක. මෙම තත්වය දරුවන්ගේ ඇතිවීමට වැඩි අවධානමක් ඇත.

මෙසේ සෙම්ගෙඩි ආසාදනය නිසා ඇතිවන රෝග ලක්‍ෂණ මොනවාද?

- ගිලින විට උගුරෙහි ඇතිවන වේදනාව
- උණ ගැනීම.
- උගුර ප‍්‍රදේශය රතුවී තිබීම හෝ කහපැහැති යමක් බැදී තිබීම.
- උගුර ප‍්‍රදේශය පිටතින් අල්ලා බැලූවහොත් විශාල වූ සෙම්ගෙඩි හඳුනාගත හැක.
- මුඛයෙන් දුඟදක් ඒම.
- කණ ඇතුළත පීඩනය පිටත පීඩනය හා සමානව පවත්වාගන්නා යුෂ්ටේකීය නාලය සෙම්ගෙඩි විශාලවීම නිසා අවහිර විය හැක. එහිදී කන ඇතුලේ ඇතිවන අඩු පීඩනය නිසා කන් අගුල් වැටීමත් කැක්කුම ඇතිවීමත් සිදුවිය හැක. එසේම මෙය කණ ඇතුලේ විෂබීජ තත්ව ඇතිකිරීමට මඟපාදන අතර එහි ප‍්‍රථිඵලයක් ලෙස කර්ණපටහ පටලයට හානි වීමත් කණෙන් සැරව ගැලීමත් විය හැක.
- මෙහිදී කලාතුරකින් ඇතිවන භයානකම අවස්ථාව වන්නේ සෙම්ගෙඩි විශාල වීම නිසා ස්වසන මාර්ගය සම්පූර්ණයෙන් අවහිරවී ස්වසනය කිරීමට නොහැකි වීමයි.

සෙම්ගෙඩි විශාල වීම සිදුවුවහොත් අනුගමනය කල යුතු ක‍්‍රියාමාර්ග මොනවාද?

කුඩා දරුවන්ගේ සෙම්ගෙඩි විශාල වීම් ඇති අවස්ථා වලදී වෛද්‍යවරයෙකුගේ උපදෙස් ගැනීම වඩා යෝග්‍ය වේ.
මීට අමතරව
- මද උණු ජලය පානයට ගැනීම.
- සාන්ද්‍ර ලූණු වතුරෙන් උගුර හොඳින් සේදීම. (මෙමඟින් ඉඳිමීම අඩුකර යම් සුවයක් ගෙනදේ)
- වැඩිපුර ජලය පානය.
- ආහාර ගිලින විට කැක්කුම ඇතිවේනම් ඝන ආහාර ගැනීමෙන් වැලකීම. සුප්, ජෙලි වැනි දේ ආහාරයට ගැනීම.
- වෛද්‍යවරයා විසින් ප‍්‍රතිජීවක (Antibiotics) නියම කරන ලද්දේනම් නියමිත මාත‍්‍රාවට ඒවා ගැනීම කල යුතුවේ.

බොහෝ විට දින 2-3 කින් යථා තත්වයට පත්වේ.

සෙම්ගෙඩි ශල්‍යකර්මයකින් ඉවත් කිරීම කරනු ලබනවාද?

සාමාන්‍යයෙන් දරුවාගේ වැඞීමත් සමඟ මෙම සෙම්ගෙඩි කුඩා වී යයි. නමුත් මුල්කාලයේදී ඒවා නිතර නිතර වීශාල වී ස්වසනය කිරීමට පවා අපහසුතා ඇතිකර ජීවිත තර්ජන පවා ඇතිකරන්නේ නම් වෛද්‍යවරයා විසින් ඒවා ශල්‍යකර්මයක් මඟින් ඉවත්කිරීමට යෝජනා කරනු ඇත. මීට අමතරව විෂබීජ හේතුවෙන් සෙම්ගෙඩි විශාල වී සැරව එකතුවූ සැරව ගෙඩි ඇතිවුන අවස්ථාවලදීද ශල්‍යකර්මයක් මඟින් ඒවා ඉවත් කල යුතුවේ.

ලිපිය පළකල දිනය Article uploaded on: 24/04/2024
මෙම දැනුම ඔබේ යහළුවන් අතරේත් බෙදාගන්න

ඔබ ලෙඩරෝග පිළිබඳ දැනුවත්ද?

එන්න, දැනුම මැනල බලමු සියලුම ගැටළු