තයිරොයිඞ් ග්‍රන්ථියේ අඩුක‍්‍රියාකාරිත්වය (Hypothyroidism)

තයිරොයිඞ් ග‍්‍රන්ථියේ ඌණතාවයක් (Hypothyroidism) යනුවෙන් අදහස් කරන්නේ කුමක්ද?

තයිරොයිඞ් ග්‍රන්ථිය මඟින් ශරීරයේ අවශ්‍යතාවයට සරිලන ප‍්‍රමාණයට තයිරොයිඞ් හෝමෝන නිපදවීමක් සිදුනොවීම නිසා ඇතිවේ.

මෙහිදී ඇතිවන රෝග ලක්‍ෂණ මොනවාද?

ශරීරයේ ශක්තිජනනය සඳහා තයිරොයිඞ් හෝමෝනය අවශ්‍ය වන අතර එහි ඌණතාවය නිසා ශක්ති ජනනයද අඩුවේ. එම නිසා සම්ප‍්‍රයුක්තයක් ලෙස මුළු ශරීරයේම ක‍්‍රියාකාරී බව අඩුවේ.

⋆ ඇගේ ඇතිවන දුර්වලබව / සිතෙහි ඇතිවන ව්‍යාකූල බව.
⋆ බර වැඩිවීම හා මුහුණේ ඇතිවන ඉදිමුන ස්වභාවය.
⋆ මල බද්ධය ඇතිවීම.
⋆ හන්දි අමාරුව, මාංශපේශීවල ඇතිවන වේදනාව.
⋆ සාමාන්‍ය පරිසර උෂ්ණත්වය යටතේ දී වුවද අධික ශීතලක් දැනීම.
⋆ හිසකෙස් හැලීයාම / හිසකෙස් තුනීවීම.
⋆ සම වියලි බව/ නියපොතු කැඞී යාම, අතපය ඉදිමීම.
⋆ කටහඩ ගොරෝසු වීම.
⋆ කාන්තාවන්ගේ මාස්ශුද්ධියේ දී අධික ලේ වහනය.

මේ සඳහා හේතු කාරක මොනවාද?

⋆ ශරීරයේ නිපදවෙන සමහර ප‍්‍රතිදේහ මඟින් තයිරොයිඞ් ග්‍රන්ථියේ පටක විනාශවීම. (Hashimotos thyroiditis)
⋆ උත්පත්තියේ සිටම ඇතිවන තයිරොයිඞ් හෝමෝන නිපදවීමේ දුර්වලතා.
⋆ බෙල්ල ආශ‍්‍රිත ඇතිවන අනෙකුත් පිලිකා තත්වයකට දෙනු ලබන විකිරණ ප‍්‍රතිකාර මඟින් තයිරොයිඩයේ පටක විනාශ වීම.
⋆ සමහර වෛරස් හෝ බැක්ටීරියා මඟින් කරන ආසාදන තත්වයන් මඟින් තයිරොයිඞ් ග්‍රන්ථිය විනාශ වීම.
⋆ ශල්‍ය කර්මයක් මඟින් තයිරොයිඞ් ග්‍රන්ථියම හෝ එහි කොටසක් ඉවත්කර තිබීම.
⋆ තයිරොයිඞ් ග්‍රන්ථියක අධික‍්‍රියාකාරිත්වයක් සඳහා දෙනු ලබන විකිරණ ප‍්‍රතිකාරයට පසුවද මෙම තත්වය ඇතිවිය හැක.
⋆ දරුවන් බිහිකිරීමේදි සිදුවන අධික රුධිරවහනයන් සමඟ සමහර මව්වරුන්ගේ පිටියුටරි ග්‍රන්ථියට හානි පැමිණීමට පුළුවන. එම නිසා තයිරොයිඞ් ග‍්‍රන්ථීයට TSH මඟින් එන උත්තේජනය අවම වීම නිසාද මෙය සිදුවිය හැක. (sheehan syndrome)
⋆ සමහර බෙහෙත් වර්ග නිසා. (උදා: ලිතියම් පෙති-Lithium)

වෛද්‍ය වරයෙකුගේ උපදෙස් ලබාගත යුත්තේ කුමන අවස්ථාවේ ද?

⋆ මුලින් සඳහන්කල රෝගී ලක්‍ෂණ ඇතිනම් හෝ දැනට තයිරොයිඞ් ඌණතායට ප‍්‍රතිකාර ගන්නා රෝගියෙක් නම්
⋆ එකවර හෘද ස්පන්දන වේගය වැඩිවීම.
⋆ පපුවේ කැක්කුම ඇතිවීම.
⋆ මුලින් තිබූ රෝගී ලක්‍ෂණ ප‍්‍රතිකාර ගත්තද සමනය නොවීම.

මේ සඳහා ඇති පරීක්‍ෂණ මොනවාද ?

- තයිරොයිඞ් හෝමෝන පරීක්‍ෂණය (TSH/T4/T3)
- රුධිර පරීක්‍ෂණ
⋆ රතුරුධිරාණු ප‍්‍රමාණය පරීක්‍ෂා කිරීම.
⋆ රුධිරයේ කොලෙස්ටරෝල් ප‍්‍රමාණය දැනගැනීම.
- ස්කෑන් පරීක්‍ෂණ

මේ සඳහා ඇති ප‍්‍රතිකාර ක‍්‍රම මොනවා ද?

බොහෝ විට ජීවිත කාලය පුරාවට තයිරොක්සීන් හෝමෝන් ගැනීමට සිදුවේ.

තයිරොක්සීන් හෝමෝනය ගැනීමේ දී සැලකිය යුතු කරුණු මොනවාද?

මෙය ගත යුත්තේ දිනකට එක් වරකි.
⋆ සෑම දිනම උදේ කිසිම ආහාරයක්, පානයක් හෝ බෙහෙත් වර්ගයක් ගැනීමට පෙර (හිස් බඩට ගැනීම කල යුතුය. ඉන්පසු පැය 1/2 ට පමණ පසු අනෙකුත් දේ ගැනීම කල හැක.)
⋆ සෑම දිනකම එකම වේලාවකට ගැනීම වඩාත් සුදුසු වේ.
⋆ බෙහෙත් ගන්නා විට ශරීරයට වෙනසක් දැනීමට සති 2-3 ක් පමණ ගතවන අතර කිසිම අවස්ථාවක වෛද්‍ය උපදෙස් නොමැතිව මාත‍්‍රාව අඩුකිරීම හෝ නැවැත්වීම සිදුනොකල යුතුයි.
⋆ විවිධ වෙළඳ නාම වලින් තයිරොක්සීන් වෙළඳපොලේ ඇති අතර එකම වර්ගයක් පාවිච්චියට ගන්නේ නම් වඩාත් සුදුසු වේ. එසේ වෙනස් කරන්නේ නම් තයිරොක්සීන් හෝමෝන් රුධිර ඇති ප‍්‍රමාණය දැනගැනීමට පරීක්‍ෂණය කල යුතුවේ.
⋆ තයිරොක්සීන් පෙති සමහර බෙහෙත් වර්ග සමඟ එකට නොගත යුතුයි. උදාඃ කැල්සියම් පෙති, යකඩ පෙති හෝ සිරප් වර්ග, විටමින් වර්ග
⋆ මාස 2-3 වරක් තයිරොක්සීන් හෝමෝන් පරීක්‍ෂණයක් කල යුතුය.
⋆ තයිරොක්සීන් ගන්නා විට පපුවේ ඇතිවන ගැස්ම, එක වර බර අඩුවීම, අධික දහඩිය දැමීම වැනි ලක්‍ෂණ මතු වුවහොත් නොපමාව වෛද්‍ය උපදෙස් පැතිය යුතුය.

මෙම රෝගී තත්වයට නිසියාකාරව ප‍්‍රතිකාර නොගතහොත් කුමක් විය හැකිද ?

⋆ හෘද වස්තුවේ වන දුර්වල වීම්
⋆ විෂබීජ ආසාදනයේ වැඩි ප‍්‍රවනතාවය.
⋆ අධික නිදිමත ගතිය.
⋆ උදාසීන බව.
⋆ මෙහි භයානකම අවස්ථාව වනුයේ සිහිසුන් වීමයි. (Myxedema coma) එවැනි රෝගීන් වහාම රෝහල් ගතකල යුතුවන අතර ක්‍ෂණික ප‍්‍රතිකාර අවශ්‍ය වේ.

ලිපිය පළකල දිනය Article uploaded on: 27/04/2024
මෙම දැනුම ඔබේ යහළුවන් අතරේත් බෙදාගන්න

ඔබ ලෙඩරෝග පිළිබඳ දැනුවත්ද?

එන්න, දැනුම මැනල බලමු සියලුම ගැටළු