රුධිරවාහිනී තුල ඇතිවන රුධිරය කැටිගැසීම

රුධිරය කැටිගැසීම ඇතිවන ස්ථාන මොනවාද?

ධමනි යනු හෘදයේ සිටද, ශිරා යනු හෘදය වෙතද රුධිරය ගමන් කරන රුධිරවාහිනී වර්ග 2කකි. රුධිරය කැටි ඇතිවීම ධමනි හා ශිරා යන දෙවර්ගයේම රුධිරවාහිනී තුල ඇතිවිය හැක.

ධමනිවල රුධිර කැටි හිරවූ විට ඇතිවිය හැකි ව්‍යාකූලතා මොනවාද?

රුධිර කැටිය හිරවීම සිදුවූ තැන අනුව රෝග ලක්‍ෂණය වෙනස් වේ.
⋆ හෘදය ආශ‍්‍රිතව - පපුවේ කැක්කුමක් ඇතිවේ. (Heart Attack)
⋆ මොළය ආශ‍්‍රිතව - අංශභාගය
⋆ අත් පා ආශ‍්‍රිතව - හිරවූ තැනට එහායින් එන දැරිය නොහැකි අන්දමේ වේදනාව, පණ නැතිව යාම හා සංවේදනා නැතිව යාම වැනි අවස්ථා උදාහරණ කිහිපයක් ලෙස දැක්විය හැක.

එවැනි අවස්ථාවල ක්‍ෂණික ප‍්‍රථිකාර අවශ්‍ය වේ. එසේ නොකෙරුණහොත් ජීවිත අවධානම වැඩිවේ. විශේෂයෙන් සිදුවන ලේකැට හිරවීම් වලදී අත් හා කකුල් ආශ‍්‍රිතව ඇතිවන තත්ව වලදී එසේ හිරවූ ස්ථානයෙන් පහළට පැය කිහිපයක් ඇතුළත පටක මිය යාමක් සිදුවන නිසා අත් හෝ කකුල් කපා ඉවත්කිරීමට සිදුවිය හැක.

ශිරාවල රුධිර කැටි හිරවූ විට ඇතිවිය හැකි රෝග ලක්‍ෂණ මොනවාද?

ශිරාවල රුධිර කැටි හිරවීම බහුලව දැකිය හැකි වන්නේ කකුල් ආශ‍්‍රිතව වේ.
එහිදී ඇතිවන රෝග ලක්‍ෂණ පහත ආකාරයේ වේ.
- කකුල් වල කැක්කුම ඇතිවීම.
- රතුවීම හා රත්වීම
- කකුල් ඉඳිමීම

මෙසේ ශිරාවල ඇතිවන රුධිරකැට වලට ප‍්‍රථිකාර දීම නොකළහොත්
- හරියාකාරව රුධිරය නොලැබීම නිසා කකුල්වල පටක මිය යාම හා ඒ හේතුකොටගෙන කකුල් කපා ඉවත්කිරීමට සිදුවිය හැක.
- මෙසේ ඇතිවන රුධිර කැට ගැලවී රුධිරවාහිනී දිගේම පෙනහළු කරා ගමන් කළහොත් ස්වසනය කිරීමේ අපහසුතා ඇති වී රෝගියා මිය යාමට වුවද පුළුවන.

ධමනි වල රුධිර කැට ඇතිවීමට හේතු මොනවාද?

⋆ ධමනි වල කොලෙස්ටරෝල් තැන්පත් වූ ස්ථාන ආශ‍්‍රිතව ඇතිවන ලේ ගැලීම්.
⋆ ධමනි වල විවිධ හේතු නිසා ඇතිවන ව්‍යුහාත්මක වෙනස් වීම්. (Aneurysms)
⋆ හෘදයේ විවිධ හේතු නිසා ඇතිවන රුධිර කැට ධමනි කරා ගමන් කිරීම. උදා: කපාට සිහින් වීම (Stenosis ,Akinetic segments)

ශිරාව ආශ‍්‍රිතව රුධිර කැට ඇතිවීමට හේතු මොනවාද?

- බරපතල ශල්‍යකර්මයකට පසු එකදිගටම ඇඳට වී සිටීම.
- අධික ස්ථූලතාව
- කකුල් හෝ උකුල් අස්ථි ආශ‍්‍රිතව කරන ශල්‍යකර්ම හෝ අස්ථි බිදීම්.
- ආරෙට යන සමහර ලේ වල ඇතිවන රෝගී තත්වයන්
- දුම්පානය
- හෘදයේ අකර්මන්‍යතාව
- පිලිකා
හේතු වශයෙන් කිහිපයක් දැක්විය හැක.

මෙසේ රුධිර කැට හිරවීම නිසා ඇතිවන තත්ව වලට ප‍්‍රථිකාර කරනුයේ කෙසේද?

ධමනි ආශ‍්‍රිතව ඇතිවන රුධිර කැට නිසා වන අවහිරවීම් වලට නොපමාව ප‍්‍රථිකාර කිරීම අවශ්‍ය වේ. හෘදය හා මොළය ආශ‍්‍රිතව ඇතිවන තත්ව වලදී ඒවා දියවීමට ඖෂධ ලබාදීම බොහෝ විට සිදුකරයි.

-කකුල් හා අත්වල ඇතිවන තත්ව වලදී දියවීමට දෙන ඖෂධ වලට අමතරව ශල්‍යකර්මයකින් ඒවා ඉවත් කිරීම කරනු ලබයි.

ශිරා ආශ‍්‍රිතව ඇතිවන රුධිරය කැට ගැසීමේ තත්ව වලදී එය තවදුරටත් වර්ධනය වීම වැලැක්වීම හා සමහර අවස්ථාවලදී ඒවා දියවීමටත් ඖෂධ ලබාදීම සිදුකරයි. මීට අමතරව බැන්ඬේජ් එකක් එතීම මඟින් ද තවදුරටත් රුධිරය එකතුවී සිදුවන කැටගැසීම වලක්වයි.

මෙසේ දෙනු ලබන ප‍්‍රථිකාර ක‍්‍රම වලින් පාලනය වීමක් නොවී තවදුරටත් වර්ධනය වන අවස්ථා වලදී කලාතුරකින් ශල්‍යකර්මයක් මඟින් රුධිර කැට ඉවත් කිරීම හෝ රුධිර කැට පෙරනයක් යෙදීම කරනු ලබයි.

ලිපිය පළකල දිනය Article uploaded on: 26/04/2024
මෙම දැනුම ඔබේ යහළුවන් අතරේත් බෙදාගන්න

ඔබ ලෙඩරෝග පිළිබඳ දැනුවත්ද?

එන්න, දැනුම මැනල බලමු සියලුම ගැටළු