රුධිර ගමනාගමනයට ඇතිවන බාධා

රුධිර ගමනාගමනයට ඇතිවන බාධා ඇතිවන්නේ කෙසේද?

හෘදයේ ක‍්‍රියාවලියේ ඇතිවන දෝෂ වලට අමතරව රුධිරවාහිනීවල නොයෙකුත් දේවල් තැන්පත් වීම නිසා රුධිර ගමනාගමනයට බාධා ඇතිවේ.
මෙසේ බාධා ඇතිවීමට ප‍්‍රධානතම හේතුවක් වනුයේ රුධිරවාහිනී වල ඇතුල් බිත්තියේ කොලෙස්ටරෝල් තැන්පත් වීම වේ.
-
රුධිරයේ කොලෙස්ටරෝල් අධික වීම හා දියවැඩියාව
- දුම්බීම
- මධ්‍යසාර ගැනීම
- ව්‍යායාම අඩුකම හා කරබාරුකම මෙම තත්වය වැඩිපුර ඇතිවීමට හේතුකාරක වේ.

මෙසේ රුධිරවාහිනී සිහින් වීම නිසා ඇතිවන රෝග ලක්‍ෂණ මොනවාද?

එහිදී ඇතිවන රෝග ලක්‍ෂණ සිහින් වී හෝ අවහිර වී ඇති රුධිරවාහිනය කුමක්ද යන්න මත පදනම් වේ.
- හෘදයේ රුධිර වාහිනී නිසා පපුවේ කැක්කුම හා හතිය ඇතිවේ.
- හිසට හා මොළයට රුධිර සපයන මාර්ග අවහිර වීම නිසා
1. කරකැවිල්ල හා ක්ලාන්තය ඇතිවීම.
2. ඇස් නිලංකාර වීම හෝ තාවකාලිකව නොපෙනීයාම.
3. ශරීරයේ සමබරතාවය නොමැතිවී යාම.
4. සමහර අවස්ථා වලදී හිසේ කැක්කුම ඇතිවේ.

බඩවැල් වලට රුධිරය සපයන රුධිරවාහීනි අවහිර වූ විට

ආහාර ගැනීමෙන් පසු ආහාර මාර්ගයේ ක‍්‍රියාකාරිත්වය වැඩිවන අතර ඒ සඳහා වැඩිපුර ඔක්සිජන් හා අනෙකුත් ශක්තිජනක අවශ්‍ය බැවින් රුධිර ගමනාගමනයද වැඩිවිය යුතුය. නමුත් ඒවා අවහිර වී ඇතිවිට ඇතිවන තත්වය හේතු කොටගෙන උදරයේ දැඩි කැක්කුමක් ඇතිවේ. ආහාර ජීර්ණය හරියාකාරව සිදුනොවන නිසා අර්ධ ලෙස ජීර්ණය වූ ආහාර මලපහ සමඟ පිටවීම.
- මෙහිදී බඩඑලිය යාමේ තත්වයක් ඇතිවිය හැක.

පාදවලට රුධිරය සපයන රුධිරවාහිනී අවහිර වීම

මෙය ඉතා බහුලව දැකිය හැක. ඊට හේතුව වනුයේ පාදවලට රුධිරය සපයන රුධිරවාහිනී මහා ධමනියෙන් පටන්ගන්නා ස්ථානයේ කොලෙස්ටරෝල් තැන්පත් වීමට වැඩිප‍්‍රවණතාවයක් ඇති බැවිනි.
මීට අමතරව දුම්බීමට ඇබ්බැහි වූවන්ට පමණක් ආවේනික රුධිර වාහිනි සිහින් වීමේ රෝගී තත්වයක් බහුලව තිබීමත් මෙයට හේතුවේ.

මෙහිදී ඇතිවන රෝග ලක්‍ෂණ වනුයේ
- ටික දුරක් ඇවිදගෙන යනවිට බත්කෙන්ඩිය ප‍්‍රදේශයේ ඇතිවන දැඩි වේදනාව.
- ඒ අවස්ථාවේ ඇවිදීම නතරකල විට කැක්කුම නැතිව යාම.
- කාලයත් සමඟ කැක්කුම ඇතිවීම සඳහා ඇවිදිය යුතුදුර අඩුවීම.
- පාදයේ පිටපතුලේ කැක්කුම ඇතිවීම.
- කකුල් වල තුවාල ඇතිවීම හා ඒවා සුව නොවීම.
- මාංශපේශී දුර්වල වීම නිසා කකුල් සිහින් වීම.
- මෙහි තත්වය ඉතා උග‍්‍ර වූ විට ඇවිදීම නොකරන විටදී පවා එක දිගටම වේදනාව පැවතීම. යම් විටක මෙය දරාගත නොහැකි තරමේ වේදනාවක් වේ.

ලිංගික අවයව වලට රුධිරය සපයන රුධිරවාහිනී අවහිර වීම

මෙය බොහෝ විට බලපානුයේ පිරිමි පක්‍ෂයට වේ. එහිදී රුධිර සැපයුම හරියාකාරව නොවන නිසා ලිංගික ක‍්‍රියාකාරකම් වලදී ලිංගය ප‍්‍රාණවත් නොවේ.

වකුගඩු වලට රුධිර සැපයුම අවහිර වීම

වකුගඩු වලට රුධිරය සපයන රුධිර වාහිනී කුඩාවීම නිසා වකුගඩු නරක් වීමත් අධික රුධිර පීඩනය ඇති වීමත් සිදුවිය හැක.

ලිපිය පළකල දිනය Article uploaded on: 19/04/2024
මෙම දැනුම ඔබේ යහළුවන් අතරේත් බෙදාගන්න

ඔබ ලෙඩරෝග පිළිබඳ දැනුවත්ද?

එන්න, දැනුම මැනල බලමු සියලුම ගැටළු