හෘදය වස්තුව ආශ‍්‍රිතව කරනු ලබන ඇන්ජියෝප්ලාස්ටි ප‍්‍රථිකාරය

හෘදය වස්තුව ආශ‍්‍රිතව කරනු ලබන ඇන්ජියෝප්ලාස්ටි ප‍්‍රථිකාරය යනුවෙන් හැදින්වෙන්නේ කවර ආකාරයේ ප‍්‍රථිකාරයක්ද ?

මෙය හෘදය වස්තුවට රුධීරය සපයන කිරීටක ධමනි වල ඇති අවහිර වූ ස්ථානයක එම අවහිරතාව නැතිකිරීමට කරනු ලබන ක‍්‍රියාවලියකි.
විශේෂයෙන් දීර්ඝකාලීනව මේදය තැන්පත් වීම නිසා මෙම කිරීටක ධමනි කුඩා වූ අවස්ථා වලදී මෙම ප‍්‍රථිකර්මය භාවිතා කරනු ලබයි.
මෙය වාර්ෂිකව ලෝකයේ මිලියන ගනනක් වූ රෝගීන්ට භාවිතා කරනු ලබන ඉතා සාර්ථක ක‍්‍රමයකි.

ඇන්ජියෝප්ලාස්ටි ප‍්‍රථිකාරය සෑම හෘද රෝගියෙකුටම සුදුසුද?

මෙය සුදුසු වන්නේ හෘදයේ වූ කිරීටක ධමනි අවහිර වූ රෝගීන් සඳහා වේ. නමුත් මෙවැනි තත්ව සඳහා වෙනත් ප‍්‍රථිකාර් වර්ග බොහොමයක් ඇත.
උදා- ඖෂධ මගින් ප‍්‍රථිකාර කිරීම
බයිපාස් සැත්කම් කිරීම
රෝගී තත්වයේ ස්වාභාවය අනුව වෛද්‍යවරයා විසින් වඩාත් සුදුසුම ප‍්‍රථිකාරය යෝජනා කරනු ඇත.

ඇන්ජියෝප්ලාස්ටි ප‍්‍රථිකාර ක‍්‍රමයේ ඇති වාසි මොනවාද?

මෙහිදී ශරීරයේ කැපුමක් යෙදීම අවශ්‍ය නොවේ.
සිහි නැති කිරීමක් අවශ්‍ය නොවේ.
නැවත යථා තත්වයට පත් වීමට ගතවන්නේ කෙටි කාලයකි
මෙම ප‍්‍රථිකාර ක‍්‍රමය හදිසියේ ඇතිවන කිරීටක ධමනි අවහිර වීමකදී ( Heart Attack) පවා භාවිතා කල හැක.

මෙම ප‍්‍රථිකාර ක‍්‍රමයේ අවාසි මොනවාද?

මෙම ප‍්‍රථිකාර ක‍්‍රමය උග‍්‍ර ලෙස කිරීටක ධමනි අවහිර වී ඇති රෝගීන් සඳහා භාවිතා කල නොහැකි විය හැක.
මීට අමතරව කාලයත් සමඟ ඇනජියෝප්ලාස්ටි සිදුකල තැන නැවත කුඩාවීම සිදුවිය හැක.

මෙම ප‍්‍රථිකාරය සිදුකිරීමේදී ඇතිවිය හැකි ව්‍යාකූලතා මොනවාද?

කුඩා බට ශරීරයේ රුධිර වාහිනී හරහා ඇතුලූ කිරීමේදී රුධිර වහනයක් සිදුවිය හැක.
රුධිර වාහිනී වලට හානි වීම
මෙහිදී රුධිර වාහිනී වඩාත් හොදින් පෙනීමට භාවිතා කරනු ලබන ඩයි වර්ග වලට අසාත්මිකතා ඇති වීමේ හැකියාව.
එම ඩයි වර්ග වලින් වකුගඩු වලටද යම් හානියක් විය හැකි වීම
හෘදය වස්තුවේ ගැහෙන රටාවේ සිදුවන ක්ෂණික වෙනස් වීම් (Arrhythmia)
කලාතුරකින් Heart attack එකක් ඇති වීමේ හැකියාව ( 3-5% පමණ)

කලාතුරකින් ශරීරයේ පැත්තක් පණ නැතිව යාමේ හැකියාව (Stroke -1‍% පමණ )

සමහර අවස්ථා වලදී අවශ්‍ය ලෙස කිරීටක ධමනියේ සිදුර විශාල නොවී හැකිලීමක් සිදුවුවහොත් වහාම බයිපාස් ශල්‍යකර්මයක් සිදුකල යුතුවීම.

මෙම ඇනජියෝප්ලාස්ටි ප‍්‍රථිකාරය සිදුකරන්නේ කෙසේද?

මුලින්ම වෛද්‍යවරයා විසින් හෘදය වස්තුවේ වූ කිරීටක ධමනියේ කුඩා වීම ඇති තැන සොයා ගැනීම සිදු කරයි

මේ සඳහා රුධීරයට ඩයි වර්ගයක් ඇතුලූ කර විශේෂිත වූ එක්ස් රේ ගැනීමක් සිදු කරයි.

මෙය ඇන්ජියෝ ග‍්‍රෑම් එකක් ලෙස හදුන්වයි.

ඉන් පසු ධමනියක් හරහා ( ඉහල කලව ප‍්‍රදේශයෙන් හෝ අත්වල ඇති ධමනියක් මේ සඳහා තෝරා ගැනේ )

කුඩා ටියුබ් එකක් අදාල ස්ථානය කරා ඇතුලූ කරයි.

ඉන්පසු පලමු බටය හරහා තවත් කෙලවර බැලූනයක් සහිත බටයක් ඇතුලූ කරනු ලබයි.

ඉන්පසු බැලුම අදාල ස්ථානයේදී පිම්බීම කරනු ලබයි

එවිට කුඩාවී ඇති තැන සිදුර විශාල වීම සිදුවේ.

ඊට පසු බොහෝ විට නැවත හැකිලීම වැලක්වීමට කුඩා බටයක් එම ස්ථානයේ රඳවනු ලබයි මෙය ස්ටෙන්ට් (Stent) එකක් යනුවෙන් හැදින්වේ.

මෙවැනි ප‍්‍රථිකාරයකට පසු කාලය කෙසේ විය යුතුද?

මෙම ප‍්‍රථිිකාරයට පසු දිනක් පමණ විශේෂිත ප‍්‍රථිකාරක ඒකකයක ඔබව තබනු ඇත.
දිනකින් පමණ බොහෝ විට නිවස බලා යා හැක.
වෛද්‍යවරයා නියම කරනු ලබන ඖෂධ නියමාකාරයෙන් ගත යුතුය.
රුධිරවාහිනී වලට බට ඇතුලූකල ස්ථානයේ යම් කැක්කුමක් තිබිය හැක. යම් හෙයකින් එම ස්ථානය රතුවී ඉදිමීමක් ඇත්නම් වහාම වෛද්‍යවරයා වෙත යොමු විය යුතුය.

එසේම පපුවේ කැක්කුම, හති ගතිය, උණ ගැනීම යන තත්ව ඇතිවන්නේ නම් නැවත වෛද්‍යවරයා වෙත වහාම යොමුවිය යුතුය.

සාමාන්‍යයෙන් සතියකින් පමණ එදිනෙදා දෛනික වැඩකටයුතු වල නිරතවිය හැක.

මීට අමතරව ක‍්‍රමයෙන් ව්‍යායාම සිදුකිරීම, මේදය අඩු ආහාර ගැනීම, මධ්‍යසාර හා දුම් බීමෙන් වැලකීම, මානසික ආතතිය අවම කර ගැනීම සිදුකල යුතුවේ.

නොකඩවා සායන වලට සහභාගී වීම.

ලිපිය පළකල දිනය Article uploaded on: 30/12/2014
මෙම දැනුම ඔබේ යහළුවන් අතරේත් බෙදාගන්න

ඔබ ලෙඩරෝග පිළිබඳ දැනුවත්ද?

එන්න, දැනුම මැනල බලමු සියලුම ගැටළු