දුම් බොන තරුණයන්ට ඇතිවිය හැකි ඇගිලි කුණූ වීමේ තත්වය (Buerger's Disease)

Buerger's Disease ලෙස හැදින්වෙන්නේ කවර තත්වයක්ද?

මෙහිදී සිදුවන්නේ කකුල්වල හා අත්වල ඇගිලිවලට රුධිර සපයන ඉතා කුඩා රුධිරවාහිනී සිහින්වී රුධිර සැපයුම අඩාල වීමකි.

එම හේතුව නිසා අගිලි කෙලවරවල් කලු පැහැ ගැන්වී කුණුවී යාම සිදුවේ.

මේ සදහා හේතු මොනවාද?

මෙහි ඇති විශේෂත්වය වනුයේ දුම්බීම සිදුකරන තරුණ (අවුරුදු 20ත් 40ත් අතර) පිරිමින්ගේ වැඩිපුර ඇතිවීමයි.

ස්ත‍්‍රීන්ගේ මෙන්ම මහලු වයසේදීද දුම්බීම නිසා මෙම තත්වය ඇතිවිය හැකි මුත් එය සාපේක්ෂව අඩු සම්භාවිතාවයකි.

මීට අමතරව බුලත්විට කෑම නිසාද මෙම තත්වය ඇතිවීමේ අවධානමක් ඇත.

කලාතුරකින් තම ශරීරයේ කොටස් වලට එරෙහිව ශරීරයෙන්ම ප‍්‍රථිදේහ සෑදෙන රෝගී තත්ව නිසාද මෙය ඇතිවිය හැක (Autoimmune diseases)

මෙහිදී ඇතිවන රෝග ලක්ෂණ මොනවාද?

ඇගිලි කෙලවරවල් ශරීරයේ අනෙක් ප‍්‍රදේශවලට වඩා සිසිල් බවකින් යුක්ත වීම හා දැරිය නොහැකි තරමේ තද කැක්කුමක් ඇති වීම.

මුල් අවස්ථාවලදී ඇගිලි කෙලවරවල් හිරිවැටුනු ස්වභාවයකින් යුක්තවීම.

උදේ කාලයේදී ඇගිලි සීතලවීමත් , නිල් පැහැයට හුරු දම් පැහැයක් ගැනීමත්, කැක්කුම ඇතිවීමත් බහුලව දැකිය හැක.

ඇගිලි කෙලවරවල්වල කැක්කුමකින් යුත් කුඩා තුවාල ඇතිවීම.

ඇගිලි මුලින් රතුවී පසුව නිල් පැහැ ගැන්වී, නරක්වීමත් සමග කලු පැහැ ගැන්වීම. (විශේෂයෙන් ඇගිලි කෙලවරවල්)

මෙම තත්වය බොහෝවිට එක් පැත්තක නොව කකුල් හෝ අත් දෙපැත්තේම එකම ආකාරයට ඇතිවීම විශේෂ ලක්ෂණයකි.

අඩිය තබන විට කකුල්වල යටි පතුලේ මැද හරියේ දැඩි වේදනාවක් ඇති වීම.

මේ සදහා කරනු ලබන පරීක්ෂණ මොනවාද?

අදාල ප‍්‍රදේශයේ රුධිරවාහිනී තුල ඇතිවී ඇති සිරවීම් හදුනා ගැනීමට සිදුකරන ස්කෑන් පරීක්ෂණය.

කලාතුරකින් ඇගිලි කෙලවරවල්වලින් පරීක්ෂණය සදහා කොටසක් ලබා ගැනීම.

දියවැඩියාව වැනි අනෙකුත් රෝගී තත්ව ඇත්දැයි බැලීමට කරනු ලබන රුධිර පරීක්ෂණ.

මෙවැනි තත්ව සදහා කරනු ලබන ප‍්‍රථීකාර මොනවාද?

මෙම තත්වය ඇති වූ විට එය නිට්ටාවට සුව කිරීමක් කල නොහැක.

කරනු ලබන ප‍්‍රථිකාර මගින් කැක්කුම අඩු කිරීමත්, ඇගිලි නරක්වීමේ වේගය අඩුකිරීමත් සිදුවනු ඇත.

ඹෟෂධ මගින් කැක්කුම අඩුවන්නේ නැතිනම් එම ප‍්‍රදේශ වලට සැපයෙන විශේෂ ස්නායු කපා දැමීමක් කිරීමට සිදුවන අතර යම් හෙයකින් විෂ බීජ තත්ව ඇතිවී ඇත්නම් ඇගිලි කපා දැමීමට සිදුවේ.

අත් හා කකුල් ප‍්‍රදේශ මද රස්නය ඇති දෙයකින් තැවීමත් ඇගිලිවලට ව්‍යායාම කිරීමත් මගින් රුධිර සැපයීම වැඩිකර ගැනීම කල හැක.

දුම්බීම නැවැත්වීම අනිවාර්යයෙන් කල යුතු අතර එසේ නොවුනහොත් අත්පා කැපීමට සිදුවීම අනිවාර්යයෙන් වනු ඇත.


Article uploaded on 08/05/2014

ලිපිය පළකල දිනය Article uploaded on: 08/05/2014
මෙම දැනුම ඔබේ යහළුවන් අතරේත් බෙදාගන්න

ඔබ ලෙඩරෝග පිළිබඳ දැනුවත්ද?

එන්න, දැනුම මැනල බලමු සියලුම ගැටළු