ගැබ් ගෙල පිලිකා ( Cervical Cancer)

ගැබ් ගෙල යනුවෙන් හැදින්වෙන්නේ ගර්භාෂයේ කුමන ස්ථානයද?

ගර්භාෂය යෝනි මාර්ගය හා සම්භන්ධ වන ස්ථානයේ යෝනි මාර්ගය තුලට නෙරාවිත් ඇති කොටස ගැබ් ගෙල ලෙස හැදින්වේ.

එය මතුපිට සෛල බිත්තියකින් ආවරනය වී ඇති අතර මෙම සෛල ස්ථරය නොයෙකුත් වෙනස් වීම් වලට භාජනය වේ.

මෙම සමහර තත්ව පිලිකා කාරක ලෙස ක‍්‍රියාකරයි.

ගැබ්ගෙලෙහි පිලිකා ඇතිවීමට හේතුකාරක මොනවාද?

ප‍්‍රධානතම හේතුව වන්නේ පැපිලෝමා වෛරස් ආසාදන තත්වයයි.

මෙය ලිංගිකව එකතුවීමකදී කෙනෙකුගෙන් තව කෙනෙකුට පැතිරීම සිදුවේ.

එම වෛරස් ආසාදිත තත්වය දීර්ඝ කාලීනව ගැබ්ගෙලෙහි වූ සෛල බිත්තිය මත කරන බලපෑම මත පිලිකාජනක සෛල ඇතිවීමට ඇති හැකියාව ඉතාමත් වැඩිය.

මීට අමතරව
1 එක්කෙනෙකුට වඩා වැඩිදෙනෙකු සමග ලිංගිකව එකතු වීම මෙම තත්වය ඇති වීමේ අවධානම වැඩිකරයි.

2 ඉතා අඩු වයසේදී ලිංගිකව එකතු වීම.

3 ශරීරයේ ප‍්‍රථිශක්ති ක‍්‍රියාවලියේ ඇති දුර්වලතා.

4 පවුලේ අයට ගැබ්ලෙ පිලිකා ඇතිවී තිබීම

ආදී කරුනු මෙහි අවධානම වැඩිකිරීමට හේතුකාරක වේ.

මෙහිදී ඇතිවන රෝග ලක්ෂණ මොනවාද?

මෙහි මූලිකම අවස්ථාවේ රෝග ලක්ෂණ වැඩිපුර ඇති නොවේ.

නමුත් සමහර අවස්ථාවලදී

- යෝනි මාර්ගයෙන් රුධිරය වහනය වීම.
(
මෙය මාස්ශුද්ධි අතර මැදකදී , ලිංගිකව එකතුවීමකට පසු හෝ වයසට යාමත් සමග මාස් ශුද්ධීය නතර වී නැවත ඇතිවීමක් ලෙස විය හැක.)

-
යෝනි මාර්ගයෙන් එකදිගට ඇතිවන ස‍්‍රාවීය තත්වයන්
(දියරමය ලෙස දුඹුරු හෝ රෝස පැහැයකින් අප‍්‍රසන්න ගන්දයකින් යුක්තව විය හැක.)



මෙම පිලිකා තත්වය පැතිරුනු අවස්ථාවලදී

-
කොනදේ කැක්කුමක් ලෙස

-
කකුල් වලට පැතිරෙන ආකාරයේ කැක්කුමක් ලෙස

- ආහාර අරුචිය සමග ශරීරය කෙට්ටු වීමක් ලෙස

-
යටිබඩේ ඇතිවන කැක්කුමක් ලෙස

- මූත‍්‍රා නොදැනීමම යාමක් ලෙස

ඇති විය හැක

මේ සදහා කරනු ලබන පරීක්ෂණ මොනවාද?

ගැබ්ගෙල මතුපිට ඇති සෛල පරීක්ෂාවට ලක් කිරීම.(පැප්ස්මියර් පරීක්ෂාව- pap smear test)

මෙම පරීක්ෂණයේ ව්‍යාකූල තත්වයක් හෝ ගෙඩියක් ඇතිව ඇති අවස්ථාවලදී තවදුරටත් තත්වය සනාථකර ගැනීමට කැබැල්ලක් ගෙන පරීක්ෂාකිරීම.

එය පිලිකාවක් බව සනාථවුවහොත් පැතිරී ඇති ප‍්‍රමාණය සොයා ගැනීමට ස්කෑන් පරීක්ෂණ, සීටී පරීක්ෂණ ආදිය කරනු ඇත.

මේ සදහා ඇති ප‍්‍රථිකාර ක‍්‍රම මොනවාද?

ප‍්‍රථිකාර ක‍්‍රමය පිලිකාවේ ස්වභාවය හා පැතිරී ඇති ප‍්‍රමාණය මත තීරණය වේ.

එතරම් පැතිරී නැති අවස්ථාවලදී එම කොටස පමණක් ඉවත් කිරීම කරන අතර එය වෛද්‍යවරයා විසින් අනෙකුත් බොහෝ කරනු සැලකිල්ලට ගෙන කරනු ලබයි.

දියුනු රටවල මූලික අවස්ථාවලදී ප‍්‍රථිකාර කිරීමට ලේසර් ක‍්‍රම භාවිතාකරන අවස්ථා ඇත.

ගර්භාෂය සම්පූර්නයෙන් ඉවත් කිරීම

හොදටම පැතිරී ඇති අවස්ථා වලදී
විකිරණ ප‍්‍රථිකාරය හා කීමොතෙරපි ප‍්‍රථිකාරය දෙනු ලැබේ.

වෛද්‍යවරයෙකු වෙත යොමුවිය යුත්තේ කවර අවස්ථාවලදීද?

ඉහත සදහන් කල රෝගී ලක්ෂණ මතු වූ වහාම වෛද්‍යවරයෙකු වෙත යොමු විය යුතුය.

මීට අමතරව වයස 35 ට වැඩි කාන්තාවන් පැප්ස්මිය පරීක්ෂණය කරගත යුතු අතර සහකරුවන් කිහිප දෙනෙකු ඇසුරුකරන්නේ නම් මීට කලින් සිට මෙම පරීක්ෂණය කර ගැනීම වඩා යෝගයවේ

පැපිලෝමා වෛරස් ආසාදනය පාලනය කිරීමට අනෙක් දියුනු රටවල ප‍්‍රථිශක්තිකරන එන්නතක් භාවිතා කරන මුත් එහි අධික වියදම හා අනෙකුත් කරුනු හේතුවෙන් ලංකාවේ එය එතරම් ප‍්‍රචලිත නැත

Article updated on 29/01/2014

ලිපිය පළකල දිනය Article uploaded on: 29/01/2014
මෙම දැනුම ඔබේ යහළුවන් අතරේත් බෙදාගන්න

ඔබ ලෙඩරෝග පිළිබඳ දැනුවත්ද?

එන්න, දැනුම මැනල බලමු සියලුම ගැටළු