ඇසේ සුද (Cataract)

ඇසේ සුද ඇතිවීම යනු කුමක්ද?

ඇසෙහි ඇති කාචය බොඳව වී යාමක්, සුදුපැහැති වලාකුළු ස්වභාවයක් ගැනීම ඇසෙහි සුද ඒමක් ලෙස හැඳින්වේ. ඇසේ ඇති කාචය, කැමරාවක ඇති කාචයක් මෙන් ක‍්‍රියාකරයි. කැමරාවේ කාචයේ යමක් බැදුන විට සිදුවන දේට සමාන දෙයක් ඇසේ කාචයේ යම් යම් දේවල් තැන්පත් වීමෙන් සිදුවේ. මීට අමතරව වයසට යාමත් සමඟ ඇසේ කාචය තැනී ඇති ද්‍රව්‍ය වල වන වෙනස් වීම් නිසා එහි පැහැදිලි භාවය නැතිව යයි. අවසාන ප‍්‍රතිඵලය වන්නේ පෙනෙන දෙය බොඳවී පෙනීමයි.

ඇසේ සුද ඒමට බලපාන සාධක මොනවාද?

- දිය වැඩියාව
- ඇසේ ඇතිවන විෂබීජ තත්වයන් හා ආසාත්මිකතා
- ඇසට තුවාල සිදුවීම.
- දුම්බීම
- විකිරණ වලට නිරාවරණය වීම.(උදා:දීර්ඝ කාලීනව අව් රශ්මිය සමඟ එන UV කිරණ)
- කලින් සිදුකරන ලද ඇසේ වෙනත් ශල්‍යකර්ම
- පවුලේ අයට ඇසේ සුද ඒමේ රෝග තිබීම.

මෙහිදී එන අනෙකුත් ලක්‍ෂණ මොනවාද?

ඇසේ සුද ඇතිවීම බොහෝ විට සිදුවන්නේ ඉතාම සෙමින් වේ. එබැවින් පෙනීමේ දුර්වලතාව ක‍්‍රම ක‍්‍රමයෙන් ඇතිවන නිසා රෝගියාට ඒ පිළිබඳව අවබෝධයක් ලැබෙන්නේ නැත.
- ඇසේ දැලක් දම්මා සේ පෙනීම.
- රූප බොඳවී පෙනීම.
- දිලිසෙන දේවල් දෙස බැලීම ඉතාම අපහසු වීම.
- රාත‍්‍රිකාලයේදී මෙන්ම එළිය අඩු ස්ථාන වලදී වෙනදා මෙන් නොපෙනීම.
- එක් වස්තුවක් දෙකක් ලෙස පෙනීම.
- වර්ණයන් ඉතාපැහැදිලිව වෙන්කර ගත නොහැකිවීම.

මේ සඳහා ඇති ප‍්‍රථිකාර මොනවාද?

ඇසේ සුද ඇතිවූවත් එමඟින් පෙනීමට බාධාවක් නොවන්නේ නම් එය ඉවත්කිරීම අනිවාර්යය නොවේ.
සුද ඇතිවීම එහි මූලික අවස්ථාවේ නම් පෙනීම වැඩිකර ගැනීම සඳහා පහත ක‍්‍රියාමාර්ග අනුගමනය කල හැක.
- හොඳ උපැස් යුවලක් (කන්නාඩියක්) පාවිච්චි කිරීම.
- තමා අවට වැඩි ආලෝකය තිබීම.
- විශාල කර බලන කන්නාඩි පාවිච්චි කිරීම.
- අව් කන්නාඩි පැළඳීම.

ඇසේ සුද ඒම නිසා පෙනීම අඩුවී එය එදිනෙදා ජීවන කටයුතුවලට බාධා ගෙන දේ නම් හෝ කන්නාඩි පැළඳුවත් පෙනීම එතරම් වර්ධනයක් නොවූයේ නම් යන ආකාරයේ තත්ව ඇතිවූ විට ඇති එකම ප‍්‍රථිකාර ක‍්‍රමය වනුයේ ශල්‍යකර්මයක් මඟින් ඇසේ සුද ඉවත් කිරීමය.

ඇසේ සුද ඒම වලක්වාගන්නේ කෙසේද?

- දියවැඩියාව හොඳින් පාලනය කරගැනීම.
- දුම්බීම නතර කිරීම.
- අව්වේ යන විට අව් කන්නාඩි පැළදීම මඟින් දීර්ඝ කාලීනව ඇසට වනහානි අඩුකරගත හැක.

ලිපිය පළකල දිනය Article uploaded on: 29/03/2024
මෙම දැනුම ඔබේ යහළුවන් අතරේත් බෙදාගන්න

ඔබ ලෙඩරෝග පිළිබඳ දැනුවත්ද?

එන්න, දැනුම මැනල බලමු සියලුම ගැටළු