ළමා වියේදී ඇතිවන පිළිකා

ළමා වියේදී ඇතිවන පිළිකා වල වෙනසක් තිබේද?

වැඩිහිටියන්ගේ මෙන්ම කුඩා ළමුන්ගේ ද ඇතිවන පිලිකාවල පිලිකා සෛල ක‍්‍රියාකාරිත්වයේ වෙනසක් නැත. ඉතා වේගයෙන් පිලිකා සෛල සංඛ්‍යාවන් වර්ධනය වන අතර මේ සඳහා ශරීරයේ ශක්තිය මෙන්ම සියළුම පෝෂ්‍ය පදාර්ථ උපයෝගී කරගනී. එබැවින් දරුවාගේ වර්ධනය බාලවීම හා පිලිකාව නිසා ඇතිවන ව්‍යාකූලතාද එකට ඇතිවේ.

කුඩා ළමුන්ගේ වැඩිපුර ඇතිවන පිලිකා මොනවාද?

- රුධිරය ආශ‍්‍රිත පිලිකා (උදා: ලියුකේමියාව)
- මොළය හා වකුගඩු ආශ‍්‍රිත පිලිකා
වැඩිපුර දැකිය හැකි අතර වයසින් වැඩෙත්ම අස්ථි ආශ‍්‍රිත පිලිකා ඇතිවීමේ සම්භාවිතාව වැඩිවේ. (Osteosooicoma )

මෙසේ ළමයින්ගේ පිලිකා ඇතිවීමට හේතු මොනවාද?

වැඩිහිටියන්ගේ මෙන් නොව ළමයින්ගේ පිලිකා ඇතිවීමට බලපාන සාධක වෙනස් ස්වරූපයක් ගනී. සෛල වර්ධනය වීමේදී සිදුවන ජාන වල විකෘතිතා නිසා බොහොමයක් පිලිකා ඇතිවේ. මෙය ආරෙට යන තත්වයක් නොවේ. නමුත් සමහර පිලිකා එසේ ආරෙට යන අවස්ථාද ඇත. මීට අමතරව මුලින් හඳුනාගන්නා ලද පිලිකාමය තත්වයකට දෙනු ලබන විකිරණ ප‍්‍රථිකාර හේතුකොට ගෙන අවුරුදු කිහිපයකින් නැවත පිලිකාවක් ඇතිවීමටද කලාතුරකින් හැකියාවක් ඇත.
ඉහත හේතු නිසා ළමුන්ගේ පිලිකා ඇතිවීම වැලැක්වීමට ගතහැකි පියවර ඉතාම අල්ප වේ.

මෙහිදී ඇතිවිය හැකි රෝග ලක්‍ෂණ මොනවාද?

- කුද්දැටි විශාල වීම (ගෙල, කිහිලි, ඉකිලි ප‍්‍රදේශයෙ)
- නිතර නිතර විෂබීජ තත්ව ඇතිවීම.
- උණ ගැනීම.
- දරුවා සුදුමැලි වීම. (රක්තහීනතාව නිසා)
- සමේ රතුපැහැති ලප ඇතිවීම.
- අස්වාභාවික ලෙස උදරය විශාල වීම.
- උදරයේ වෙනස් ලෙස ගෙඩියක් වැනි දෙයක් අතට දැනීම.
- වෘෂණ කෝෂ ඉදිමීම, විශාල වීම.
ප‍්‍රධාන වශයෙන් දැක්විය හැක. මීට අමතරව විවිධ රෝග ලක්‍ෂණ මතුවිය හැකිමුත් වැඩිහිටියන්ගේ මෙන් නොව දරුවන්ගේ ඒවා හදුනාගැනීම අපහසුවේ.

මෙම තත්ව මුලින් හඳුනාගැනීමට කල යුතු දේවල් මොනවාද?

දෙමව්පියන් ඉහත කී රෝග ලක්‍ෂණ ගැන අවධානයෙන් සිටීමත්, යම් කාල පරාසවලදී දරුවා වෛද්‍යවරයෙකු විසින් පරීක්‍ෂාකර ගැනීමත් කල යුතුවේ.

දරුවන්ගේ මෙසේ ඇතිවන පිලිකා තත්ව වලට ප‍්‍රථිකාර කරන්නේ කෙසේද?

රුධිරය ආශ‍්‍රිතව ඇතිවන පිලිකා තත්ව වලට කිමෝතෙරපි ප‍්‍රථිකාර ක‍්‍රමය ප‍්‍රධාන වශයෙන් භාවිතා කරන අතර බොහෝ විට සාර්ථක ප‍්‍රථිඵල ගෙනදෙයි.
මොළය, වකුගඩු, අස්ථි, ඇස් ආශ‍්‍රිතව ඇතිවන පිලිකා බොහෝවිට ශල්‍යකර්මයක් මඟින් සම්පූර්ණයෙන් අයින්කර දමනු ලබන අතර කිමොතෙරපි හා විකිරණ ප‍්‍රථිකාර ද ඒ සමඟ සමහර අවස්ථාවල යොදාගනී.

ලිපිය පළකල දිනය Article uploaded on: 19/04/2024
මෙම දැනුම ඔබේ යහළුවන් අතරේත් බෙදාගන්න

ඔබ ලෙඩරෝග පිළිබඳ දැනුවත්ද?

එන්න, දැනුම මැනල බලමු සියලුම ගැටළු