ලියුකීමියා (Leukemia)

ලියුකීමියාව ලෙස හැදින්වෙන්නේ කවර තත්වයක්ද?

මෙය රුධිරයේ ඇතිවන පිලිකා තත්වයක් වේ. කුඩා දරුවන් ඇතුලුව ඕනෑම කෙනෙකුගේ ඇතිවිය හැකි තත්වයකි

ශරීරය තුල සාමාන්‍ය රුධිර සෛල නිපදවෙන්නේ කෙසේද?

බොහොමයක් රුධිර සෛල නිපදවෙන්නේ අස්ථි මධ්‍යයේ ඇති ඇටමිදුලු තුලවේ.

මෙම ඇටමිදුලු තුල ඇති මූලික සෛල විශේෂයක් විවිධ ආකාරවලට විකාශනය වීමෙන් රුධිරයේ ඇති විවිධ සෛල නිපදවීම සිදුවේ.

එසේ නිපදවෙන සෛල ප‍්‍රධාන ඛාන්ඩ 3 කි
සුදු රුධිරාණු

රතුරුධිරාණු

රුධිර පට්ටිකා

සුදු රුධිරාණු වර්ග කිහිපයක් ඇති අතර ඒවායේ ප‍්‍රධාන කාර්ය වන්නේ ශරීරයට ඇතුලුවන විෂ බීජ විනාශ කිරීමයි.

රතුරුධිරාණු මගින් ශරීරයේ පටක වලට අවශ්‍ය ඔක්සිජන් පෙනහලුවල සිට ප‍්‍රවාහනය කරයි.

රුධිර පට්ටිකා රුධිරය කැට ගැසීමට උපකාරීවේ.

ශරීරයේ අවශ්‍යතාවය අනුව අවශ්‍ය ප‍්‍රමාණයට මෙම සෛල නිපදවෙන අතර යම්කාලයකදී ඒවා විනාශවීම සිදුවේ.

ලියුකීමියා තත්වයකදී කුමක් සිදුවේද?

මෙහිදී සිදුවන්නේ ඇටමිදුලු තුල අසාමාන්‍ය සුදු රුධිරාණු නිපදවීමයි.

ඒවා සාමාන්‍ය සෛල මෙන් ක‍්‍රියා නොකරන අතර වැඩි වේගයකින් නිපදවීමත්, විනාශවීම වීම සදහා වැඩිකාලයක් ගැනීමත් සිදුවේ.

එසේම මේ හේතුව නිසා සාමාන්‍ය සෛල නිපදවීමට බාධා ඇතිවන අතර එහි ක‍්‍රියාකාරීත්වයටද බාධා ඇතිවේ.

ලියුකීමියා වර්ග තිබේද?

සුදුරුධිරාණු තවදුරටත් වර්ග ඇති අතර ඒවා ඇටමිදුලුවල ආරම්භය ඇතිවන ආකාරය අනුව ප‍්‍රධාන වර්ග දෙකකි

ලිම්ෆොයිඩ් සෛල (Lymphoid cells)

මයිලොයිඩ් සෛල (Myeloid cells)

ලිම්ෆොයිඩ් සෛල(Lymphoid cells) අශ‍්‍රීතව ඇතිවන ලියුකීමියා තත්වයක් ලිම්ෆොයිඩ් ලියුකීමියා (Lymphoid leukemia) ලෙසද

මයිලොයිඩ් සෛල (Myeloid leukemia) ආශ‍්‍රිතව ඇතිවන ලියුකීමියා තත්වයක් මයිලොයිඩ් ලියුකීමියා ලෙසද හැදින්වේ.

මීට අමතරව මෙම ලියුකීමියා තත්වය ඇතිවී එහි රෝග ලක්ෂණ ඇතිවීමට ගන්නා කාලය අනුවද මෙය තවදුරටත් වර්ග කෙරේ.

කෙටි කාලයකදී රෝග ලක්ෂණ ඇතකරන ලියුකීමියා තත්වයක් ඇකියුට් ලියුකීමියා (Acute leukemia)තත්වයක් ලෙසත්

රෝග ලක්ෂණ ඇතිකිරීමට දීර්ඝ කාලයක් ගන්නා ලියුකීමියා තත්වයක් ක්‍රොනික් ලියුකීමියා (Chronic leukemia) තත්වයක් ලෙසද හැදින්වේ.

ඒ අනුව ලියුකීමියා ප‍්‍රධාන වර්ග හතරකි

ඇකියුට් ලිමෆොසිටික් ලියුකීමියා (Acute lymphocytic leukemia)

ක්‍රොනික් ලිම්ෆොසිටික් ලියුකීමියා (Chronic lymphocytic leukemia)

ඇකියුට් මයිලොයිඩ් ලියුකීමියා (Acute myeloid leukemia)

ක්‍රොනික් මයිලොයිඩ් ලියුකීමියා (Chronic myeloid leukemia)

මීට අමතරව ඉතාම කලාතුරකින් ඇතිවන ලියුකීමියා තත්ව ඇත

ලියුකීමියා තත්වයක් ඇතිවීමට හේතු මොනවාද?

මේ සදහා විශේෂිත හේතුවක් නිෂ්චිත වශයෙන් කිව නොහැක.

නමුත් විවිධ තත්ව යටතේ ලියුකීමියා ඇතිවීමට වැඩි අවධානමක් ඇති අවස්ථා හදුනාගෙන ඇත.
විකිරණවලට නිරාවරණය වීම.
(උදා පිලිකාවලට ප‍්‍රථිකාර කිරීමේදී දෙනු ලබන විකිරණ ප‍්‍රථිකාරය ,පිලිකාවලට දෙනුලබන කීමෝතෙරපි ප‍්‍රථිකාරය)

දුම්පානය

ආරෙට යන තත්වයක් ලෙස

බෙන්සීන් වැනි විෂ රසායනික ද‍්‍රව්‍ය ශරීරගත වීම. ( බෙන්සීන් බොහොමයක් රසායනික ද‍්‍රව්‍යවල අඩංගු වන අතර වැඩිපුර ඛනිජ තෙල් ආශ‍්‍රිතව කෙරෙන කටයුතුවලදී හා දුම්බීමෙන් ශරීරගතවීමේ වැඩි අවධානමක් ඇත)

සමහර වෛරස් ආසාධනයන් (Human T-lymphotropic virus Type I (HTLV-1 )

උත්පත්තියේදීම ඇතිවන සමහර ව්‍යාකූලතා
උදා ඩවුන් සින්ඩ්‍රෝම්(Down's syndrome)

මෙහිදී ඇතිවන රෝග ලක්ෂණ මොනවාද?

මෙහිදී ඇතිවන රෝග ලක්ෂණ විවිධාකාර විය හැකි අතර
පොදුවේ වැඩිපුර දැකිය හැකි රෝග ලක්ෂණ ලෙස

නිතර නිතර විෂ බීජ තත්ව ඇති වීම

උණ ගැනීම හා රාත‍්‍රීකාලයේදී අධික ලෙස දහඩිය දැමීම.

ශරීරයයෙහි ඇතිවන පණ නැති ස්වභාවය

බෙල්ල හා කිහිලි ආශ‍්‍රිතව ඇති කුද්දැටි විශාල වීම (බොහොවිට මේවා මගින් කැක්කුම ඇති නොවේ.)

ශරීරයේ බර සැලකිය යුතු ලෙස හේතුවක් නොමැතිව අඩුවීම

අස්ථිවල ඇතිවන කැක්කුම

විදුරුමස්වලින් රුධිරය වහනය වීම හා සමෙහි රතු හෝ නිලට හුරු දම් පැහැයෙන් යුත් ස්ථාන ඇතිවීම දැකිය හැක.

මේ සදහා කරනු ලබන පරීක්ෂණ මොනවා?

වෛද්‍යවරයා විසින් කරනු ලබන මූලික පරීක්ෂණ මගින් පූර්ව නිගමනයකට එලඹෙන අතර ඉන් පසු

රුධිර පරීක්ෂණ

බයොප්සි පරීක්ෂණ ( ඇටමිදුලු ලබා ගැනිමට හෝ කුද්දැටි විශාල වී ඇත්නම් ඒවා මගින් පරීක්ෂණ කිරීමට)

ස්කෑන් පරීක්ෂණ හා එක්ස්-රේ පරීක්ෂණ

අවශ්‍ය විටදී ජාන ආශ‍්‍රිතව කරනු ලබන පරීක්ෂණ

මේ සදහා ප‍්‍රථිකාර කරනුයේ කෙසේද?

ඇකියුට් ලියුකීමියා (Acute leukemia) තත්ව සදහා රෝග නිශ්චයකට එලඹිය වහාම වෛද්‍යවරයා විසින් ප‍්‍රථිකාර කිරීම පටන් ගන්නා අතර ක්‍රොනික් ලියුකීමියා (Chronic leukemia) තත්වයන් සදහා රෝගය නිශ්චය කරන අවස්ථාවේ ඇති ලක්ෂණ පදනම් කරගෙන ප‍්‍රථිකාර කල යුතු අවස්ථාව වෛද්‍යවරයා තීරණය කරනු ඇත.

ඊට හේතුව වන්නේ ක්‍රොනික් ලියුකීමියා තත්වය ඉතාම හෙමින් දීර්ඝකාලයක් ගනිමින් වර්ධනය වන තත්වයක් වීම නිසාවෙනි.

ලියුකීමියා සදහා ප‍්‍රථිකාර කිරීමට විවිධ වූ ක‍්‍රම භාවිතා කෙරේ.

කීමොතෙරපි ප‍්‍රථිකාරය

විකිරණ ප‍්‍රථිකාරය

ජීව විද්‍යාත්මක ප‍්‍රථිකාරය ( මෙහිදී කෘත‍්‍රිමව නිපදවා ගනු ලැබූ ප‍්‍රථිදේහ ශරීරගතකරනු ලබන අතර එමගින් අසාමාන්‍ය රුධිර සෛල විනාශකිරීමට ශරීරයේ ප‍්‍රථිශක්ති ක‍්‍රියාවලියට උපකාර කෙරේ)

ඇටමිදුලු බද්ධ කිරීම

ලියුකීමියාවට ප‍්‍රථිකාර කිරීමෙන් නිට්ටාවටම සුව කල හැකිද?

ඇකියුට් ලියුකීමියා(Acute leukemia) තත්ව සදහා ප‍්‍රථිකාර කිරීමෙන් නිට්ටාවට සුව කිරීමට හැකියාව ඇති අතර කලාතුරකින් නැවත මතුවීමට අවධානමක් ඇත.

ක්‍රොනික් ලියුකීමියා (Chronic leukemia)තත්වයන් නිට්ටාවට සුව කල නොහැකි මුත් පාලනය කිරීම කල හැක.

ඇටමිදුලු බද්ධකිරීම මගින් සමහර අවස්ථාවලදී නිට්ටාවට සුවකල අවස්ථා ඇත.


(Article uploaded on 04/12/2013)

ලිපිය පළකල දිනය Article uploaded on: 03/12/2013
මෙම දැනුම ඔබේ යහළුවන් අතරේත් බෙදාගන්න

ඔබ ලෙඩරෝග පිළිබඳ දැනුවත්ද?

එන්න, දැනුම මැනල බලමු සියලුම ගැටළු