දියවැඩියාව හා ඇසට සිදුවන බලපෑම්

දියවැඩියාව නිසා ඇසට බලපෑම් සිදුවන්නේ කෙසේද?

රුධිරයේ ඇති සීනි ප‍්‍රමාණය ඉහළ ගිය විට ඇසේ පිටුපසම කොටසේ එක් තට්ටුවක් ලෙස ඇති දෘෂ්ඨි විතානය (Retina) නැමති ආලෝකයට සංවේදී කොටස විනාශ වීම ආරම්භ වේ. එය සිදුවන්නේ ක‍්‍රම ක‍්‍රමයෙන් වන අතර එහි ඇති ඉතාම කුඩා රුධිර වාහිනී විනාශ වීමට පටන් ගැනීමෙන් මෙය ආරම්භ වේ. මුල් අවස්ථාවේ කිසිම රෝග ලක්‍ෂණයක් ඇති නොවේ.

මෙසේ හානිවීම දිගින් දිගටම පැවතුනහොත් කුමක් සිදුවේද?

විනාශ වූ රුධිර වාහිනී වෙනුවට අළුතින් රුධිර වාහිනී ඇතිවන අතර ඒවා ඉතා දුර්වල වේ. එබැවින් ඒවා පුපුරායාම රුධිරය එළියට ඒම, ලේ කැටිගැසීම වැනි නොයෙකුත් ව්‍යාකූලතා ඇතිවේ. මෙහි අවසන් ප‍්‍රතිඵලය ලෙස සිදුවන්නේ ආලෝකයට සංවේදී එම රෙටිනා එක නැමැති කොටස ක‍්‍රමයෙන් විනාශ වීමත්, රුධිරය ඇසේ තරලමය කොටසට එකතුවීමෙන් ආලෝකය ගමනට බාධා වීමත් වේ.

මෙවැනි හානියක් ඇතිවූ විට ඇතිවිය හැකි මූලික ලක්‍ෂණ මොනවාද?

- බොදවී පෙනීම , එක වස්තුවක් 2ක් ලෙස පෙනීම
- ඇස ඉදිරියේ සබන් බෝල ලෙස දිස්වීම, දිලිසෙන ආලෝක ලෙස පෙනීම. ඇසේ නොපෙනෙන ප‍්‍රදේශ ඇතිවීම.
- ඇස ඇතුලේ යම් යම් දේවල් පාවෙනවා සේ දැනීම.
- ඇස ඇතුලේ කැක්කුම ඇතිවීම.

දියවැඩියා රෝගියෙක් දියවැඩියාව නිසා මෙවැනි ඇසට හානියක් වීම වලක්වා ගන්නේ කෙසේද?

- රුධිරයේ සීනි ප‍්‍රමාණය සාමාන්‍ය තත්වයේ තබා ගැනීම.
- අවුරුද්දකට වරක්වත් ඇස් පරීක්‍ෂාකරවා ගැනීම. මෙය ඇසේ පෙනීම හොඳ තත්වයේ තිබුනද කල යුතුය.
- දුම්පානය නැවැත්වීම.

දියවැඩියාව නිසා ඇසේ ඇතිවිය හැකි අනෙකුත් ව්‍යාකූලතා මොනවාද?

- ඇසේ සුද ඒම
- ඇසේ ඇතුළත පීඩනය (ප්‍රෙෂර්) වැඩිවීම.

දියවැඩියාව නිසා මෙසේ හානි වීමෙන් පසු ප‍්‍රතිකාර කල හැකිද?

වෛද්‍යවරයා පරීක්‍ෂාකර බලා එහි ස්වභාවය අනුව ප‍්‍රතිකාර ක‍්‍රමය නිගමනය කරනු ඇත.
- ලේසර් ප‍්‍රතිකාර ක‍්‍රමය
ලේසර් කිරණ කෙළින්ම අදාල වෙනස් වීම් වලට බඳුන්වූ රුධිර වාහිනී වලට යොමු කිරීම මඟින් රුධිරය පිටතට ඒම වලක්වයි.

- ශල්‍ය කර්මයක් සිදුකිරීම.
එමඟින් රුධිරය මිශ‍්‍රිත ඇසේ තරලය ඉවත්කර කෘතිමව පිරිසිදු තරලයක් පුරවනු ලැබේ. එබැවින් ආලෝකය ගමන් කිරීම පහසුවීම නිසා පෙනීමේ හැකියාව වැඩිකිරීමක් කරනු ඇත.

ලිපිය පළකල දිනය Article uploaded on: 29/03/2024
මෙම දැනුම ඔබේ යහළුවන් අතරේත් බෙදාගන්න

ඔබ ලෙඩරෝග පිළිබඳ දැනුවත්ද?

එන්න, දැනුම මැනල බලමු සියලුම ගැටළු