ආරක්‍ෂිත ලිංගික ක‍්‍රියාකාරකම් ( Safe Sex)

සමාජ රෝග ආසාදනය විය හැකි ක‍්‍රම මොනවාද?

සමාජ රෝග ඇතිකරන විෂබීජ ජීවත් වනුයේ ලිංගය, යෝනි මාර්ගය, ගුදය, මුඛය සහ ඒ ප‍්‍රදේශයේ ඇති සම ආශ‍්‍රිතවය. එබැවින් එම ප‍්‍රදේශ ගැටීමෙන් තව කෙනෙකුට එය පැතිරීමට පුළුවන. එම විෂබීජ නිසා හටගත් ඉදිමීම් හා තුවාල ඇතිනම් එහි විෂබීජ ඇති ඉඩකඩ ඉතා වැඞ්ය.
මීට අමතරව ලිංගික අවයව ආශ‍්‍රිතව ඇතිවන ස‍්‍රාවයන් තැවරීමෙන් ද, ආදාල විෂබීජ සහිත රුධිරය පාරවිලයනයෙන්ද, මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූවන් මත්ද්‍රව්‍ය ශරීරගත කරගැනීමට එකම සිරින්ජ භාවිතා කිරීම ආදි කරුණු මඟින්ද සමාජ රෝග ආසාදනය විය හැක.

සමාජ රෝග වැලදීමේ හැකියාව වැඩි අවස්ථා

- ලිංගික සහකරුවාට හෝ සහකාරියට සමාජ රෝග තිබේදැයි හරියාකාරව නොදැන සිටීම.
- ලිංගික සහකරුවාට හෝ සහකාරියට මීට ප‍්‍රථම සමාජ රෝග වැලදී තිබීම.
- කොන්ඩමයක් භාවිතා නොකර ලිංගිකව එකතුවීම.
- ලිංගිකව එකතුවන අවස්ථාවේ මත් ගතියෙන් සිටීම. (මධ්‍යසාර නිසා හෝ අනෙකුත් මත්ද්‍රව්‍ය නිසා)
- ලිංගික සහකරුවා මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූවකු වීම.
- ගුද මාර්ගය ආශ‍්‍රිතව ලිංගික ක‍්‍රියාකාරකම්

කොන්ඩමයක් පැළදීමෙන් සමාජ රෝග වලින් සම්පූර්ණයෙන් ආරක්‍ෂාව ලැබේද?

කොන්ඩමයෙන් සම්පූර්ණයෙන් ආරක්‍ෂාව ලැබේ යැයි සිතීම මිත්‍යාවකි. ඉන් යම් පමණකට සමාජ රෝග ඇතිවීම පාලනය කරයි. උදාහරණයක් ලෙස නොයෙකුත් වෛරස් රෝග (හර්පිස් වැනි) කොන්ඩමයක් දැමූ පමණින් ආසාදනය වීම වැලක්විය නොහැක.
කෙසේ වෙතත් සමාජ රෝග ඇතිවීමේ අවධානම යම් ප‍්‍රමාණයකට හෝ අඩුකිරීමට ඇති එකම ක‍්‍රමය වනුයේ කොන්ඩමයක් පැලදීම වේ.

කොන්ඩමයක් පැළදීමේ දී සැලකිය යුතු කරුණු මොනවාද?

- ලිංගික ක‍්‍රියාවලිය ආරම්භයේ සිටම පැළදිය යුතු අතර අවසානය දක්වා එය නියම ආකාරයට ස්ථානගත වී ඇත්දැයි අවධානයෙන් සිටිය යුතුය.
- ලිහිසි ද්‍රව්‍යයක් භාවිතා කිරීමෙන් කොන්ඩමය ඉරීයාමේ හැකියාව අඩුකරයි.
- යෝනි මාර්ගය, මුඛය, ගුද මාර්ගය යන ඕනෑම තැනක් ආශ‍්‍රිතව කෙරෙන ලිංගික ක‍්‍රියාකාරකමකදීම රබර් කොන්ඩමයක් පැළදීම.
- කිහිප වාරයක් ලිංගිකව එකතුවේ නම් ඒ සෑම වරකදීම අළුත් කොන්ඩමයක් භාවිතා කරන්න.
- කොන්ඩමය ඉවත් කිරීමේදී ද ඒ හා සැළකිල්ලක් දැක්විය යුතුය.
- සෑම විටම ලිංගික ක‍්‍රියාවලියකදී වගකීමෙන් කටයුතු කලයුතුය. ඔබ සමාජ රෝග ආසාදිතයෙක් නම් සෑම විටම ලිංගික සහකරුවා සමඟ සාකච්ඡා කර එකඟතාවයකට පැමිණීම ඉතා වැදගත්ය. එකඟතාවය අනුව ආසාදනය වීම වැලැක්වීමට ගතහැකි සෑම පියවරක්ම ගන්න.
- සෑම විටම ලිංගික සහකරුවා හෝ සහකාරිය විශ්වාසවන්ත කෙනෙකු වීම.
- සිහිබුද්ධියෙන් සිටීම. (මත් ද්‍රව්‍ය සිහිබුද්ධිය නැතිකරයි.)

ලිපිය පළකල දිනය Article uploaded on: 26/04/2024
මෙම දැනුම ඔබේ යහළුවන් අතරේත් බෙදාගන්න

ඔබ ලෙඩරෝග පිළිබඳ දැනුවත්ද?

එන්න, දැනුම මැනල බලමු සියලුම ගැටළු