ගොනෝරියා (Gonorrhea)

ගොනෝරියා යනුවෙන් අදහස් කරන්නේ කුමක්ද?

මෙය වඩාත් බහුලව ඇති සමාජ රෝගයකි. මීට හේතුකාරක වනුයේ බැක්ටීරියාවකි. (Neisseria gonorrhoeae) සියළුම ආකාරයේ ලිංගික ක‍්‍රියාකාරකම් වලදී මෙය ආසාදනය විය හැක.
මෙම බැක්ටීරියා වර්ධනයට තෙතමනය හා උෂ්ණත්වය ඇති පරිසරයක් හිතකරවන අතර මුත‍්‍රා මාර්ගය හා ස්ත‍්‍රීන්ගේ යෝනි මාර්ගය, ගැබ්ගෙල, ගර්භාෂය හා පැලෝපීය නාලය යන ස්ථානවල බහුලව වර්ධනය වීමක් දැකිය හැක.

මෙහිදී එන රෝග ලක්‍ෂණ මොනාවාද?

මෙම බැක්ටීරියා ආසාදනය වී දින 2-5 දක්වා කාලයකදී සාමාන්‍යයෙන් රෝග ලක්‍ෂණ මතුවේ. ඉතා කලාතුරකින් ඊට වැඩිකාලයක් ගතවේ.

රෝග ලක්‍ෂණ
- මුත‍්‍රා දැවිල්ල
- නිතර නිතර මුත‍්‍රායාම
- මුත‍්‍රා මාර්ගයෙන් සැරව පිටවීම. (සුදු, කහ හෝ කොළ පැහැයට විය හැක.)
- පිරිමි ලිගුවේ මුත‍්‍රා මාර්ගයේ කෙලවර රතුවී ඉඳිමී තිබීම.
- වෘෂණ වල ඇතිවන කැක්කුම හා ඒවා ඉඳිමී තිබීම.
- උගුරෙහි සෙම පැටලෙන ගතිය හා දැවිල්ල ඇතිවීම (මුඛ ලිංගික ක‍්‍රියාකාරකම් හේතු කොටගෙන)
- ස්ත‍්‍රීන්ගේ යෝනි මාර්ගයේ සැරව මෙන් ස‍්‍රාවයක් පිටවීම.
- යටි බඬේ ඇතිවන කැක්කුම
- ලිංගිකව එකතු වීමේදී දැඩි වේදනාවක් දැනීම.
- උණ ගැනීම.
- මෙම විෂබීජ ලේවලට එකතු වුවහොත්
උණ ගැනීම.
ඇගේ පළු දැමීම.
හන්දි ඉදිමීම හා කැක්කුම ඇතිවීම
උදා: දනිස් හන්දි

මේ සඳහා පරීක්‍ෂණ කරන්නේ කෙසේද?

මේ සඳහා විෂබීජ ඇතැයි සැක කරන ස්ථාන වලින් සාම්පල් ලබාගෙන වර්ණ ගන්වා අන්වීක්‍ෂ වලින් හඳුනාගත හැක. එසේ නොමැති විට ඒවා වගාකොට ඇති බැක්ටීරියා සංඛ්‍යාව වැඩිකිරීමෙන් හඳුනාගත හැක.
සාම්පල් ලබාගන්නා ස්ථාන
- මුත‍්‍රා මාර්ගයෙන් පිටවන සැරව
- යෝනි මාර්ගය
- ගුද මාර්ගය
- උගුර
⋆ මුත‍්‍රා පරීක්‍ෂණ, ලේ පරීක්‍ෂණ ද කරනු ලැබේ.

මෙම රෝගයට ප‍්‍රථිකාර කල හැකිද?

මෙහිදී ඉතාම වැදගත් වනුයේ සුදුසුකම්ලත් වෛද්‍යවරයෙකුගෙන් නියමිත ප‍්‍රතිකාර ගැනීමයි. එසේ නොවුනහොත් පසුකාලීන නොයෙකුත් ව්‍යාකූල තත්ව වලට මුහුණ දීමට සිදුවනු ඇත.
- දැනට ඇති ඖෂධ මඟින් නිට්ටාවට සුවකල හැක.
- සහකරු හෝ සහකාරියට ප‍්‍රථිකාර කිරීමද කල යුතුවේ.
- ගොනෝරියා ආසාදිත කාන්තාවන්ගේ බොහොමයක් වෙලාවට තවත් සමාජ රෝගයකට තුඩුදෙන කැලැමීඩියා නැමති විෂබීජයද ඇති බැවින් එයටද ඒ සමඟම ප‍්‍රතිකාර කරනු ලැබේ.
⋆ අනෙකුත් සමාජ රෝග සඳහා ඒ සමඟම පරීක්‍ෂා කිරීමට වෛද්‍යවරයා විසින් නිගමනය කරනු ලබන අතර එම පරීක්‍ෂණද සිදුකර ගැනීම අත්‍යාවශ්‍ය වේ.

ගොනෝරියා නිසා ඇතිවිය හැකි ව්‍යාකූලතා මොනවාද?

- මුත‍්‍රා මාර්ගය ආශ‍්‍රිතව සැරව ගෙඩි ඇති වීම.
- මුත‍්‍රා මාර්ගය කුඩාවී මුත‍්‍රා කිරීමට අපහසු වීම.
- හන්දි අමාරුව
- හෘදයේ කපාට ආශ‍්‍රිතව ඇතිවන විෂබීජ තත්වයන්
- ස්ත‍්‍රීන්ගේ යටි බඬේ ඇතිවන දීර්ඝ කාලීන කැක්කුම්
- පැලෝපීය නාලයට විෂබීජ ගියහොත් දරුවන් පිලිසිද ගැනීමට ඇති බාධාවන්
- ගැබ්ගත් කාන්තාවක්නම් විෂබීජ දරුවාට යාමට ඇති අවධානම.

ලිපිය පළකල දිනය Article uploaded on: 28/03/2024
මෙම දැනුම ඔබේ යහළුවන් අතරේත් බෙදාගන්න

ඔබ ලෙඩරෝග පිළිබඳ දැනුවත්ද?

එන්න, දැනුම මැනල බලමු සියලුම ගැටළු