හර්පිස්

මෙම සමාජ රෝගය බෝවන්නේ කෙසේද?

මෙම සමාජ රෝගය ඇතිකරනු ලබන්නේ වෛරසයක් මඟිනි (Herpes simplex virus). මෙය බෝවන්නේ ලිංගික ක‍්‍රියාකාරකම් වලදී වේ. ලිංගික අවයව වලින් හා මුඛයෙන් එන ස‍්‍රාවයන්හි මෙම වෛරසය ආසාදිත රෝගින්ගේ තිබිය හැක. එවැනි ස‍්‍රාවයන් තැවරීමෙන් මෙම රෝගය ඇතිවීමේ හැකියාව ඇත. එය සම, පිරිමි ලිංගික අවයව, යෝනිමාර්ගය, මුඛය යන ඕනෑම තැනක් විය හැක.

මෙය ආසාදිත රෝගියෙකුගේ ඇතිවිය හැකි රෝග ලක්‍ෂණ මොනවාද?

බොහොමයක් ආසාදනය වූවන්ගේ රෝග ලක්‍ෂණ ඇති නොවේ. සමහර විට එය ඉතා සුළු වශයෙන් විය හැක. සමහර රෝගීන් මෙය කුහුඹුවෙක් දෂ්ඨ කිරීමක් සේ සලකපු අවස්ථාද ඇත.
රෝග ලක්‍ෂණ ඇතිවේ නම් එය ජීවිත කාලය පුරාවට වරින් වර මතුවන අතර පළමු අවස්ථාවේදී එහි බලපෑම වැඩිපුරම දැකිය හැක. සාමාන්‍යයෙන් වෛරසය ආසාදනය වී දින 2 සිට සති 2ක කාලය තුල මුලින්ම රෝග ලක්‍ෂණ ඇතිවිය හැක. එම ලක්‍ෂණ නම්
- උණ ගැනීම.
- ඇගට පණ නැති ගතිය.
- කෑම ප‍්‍රියතාව අඩුවීම.
- හන්දි අමාරුව, මාංශ පේශී වල වේදනාව
- ඉකිලි ප‍්‍රදේශයේ කුද්දැටි ඉදිමීම.

ලිංගික අවයව ආශ‍්‍රිතව
⋆ කුඩා දියර පිරුණු ගෙඩි ඇතිවීම. (මෙම දියර පැහැදිලි හෝ බොර පැහැයක් ගත හැක.) මේවා වෘෂණ කෝෂ වල, පිරිමි ලිගුව, ගුද මාර්ගය, කලවා ප‍්‍රදේශයේ හෝ තට්ටමේද ස්ත‍්‍රීන්ගේ යෝනි මාර්ගයේද, යෝනි තොල් වලද ඇතිවේ.
⋆ මීට අමතරව මුඛය, අත්, ඇස්, තොල් යන සෑම තැනකම ඇතිවිය හැක.

මෙම දියරමය ගෙඩි ඇතිවීමට ප‍්‍රථම එම ප‍්‍රදේශයේ නලියන ස්වභාවයත් දැවිල්ල, කැසීම හා කැක්කුමද ඇතිවේ. ඉන්පසු ඇතිවන දියරමය ගෙඩි පුපුරා යන අතර ඉන් හටගන්නා තුවාල ඉතාමත් වේදනාකාරී වේ.
මේවා සති 2ක් පමණ යන විට සුවවේ. මේ සමඟ මුත‍්‍රා දැවිල්ලද, ස්ත‍්‍රීන්ගේ යෝනි මාර්ගයෙන් වැඩිපුර ස‍්‍රාවයන් ගැලීමද සිදුවේ.

⋆ මේ ආකාරයට සති හෝ මාස ගණනකට පසු නැවත ඇති වන අතර නමුත් මෙහිදී එන ලක්‍ෂණ මුලදී තරම් දරුණු නොවනු ඇත.
⋆ මෙහිදී ඇති භයානකම තත්වය වනුයේ මෙම වෛරසය ස්නායු ඇතුලට ගොස් ජීවිත කාලය පුරාවටම එහි තිබීමයි. එම ස්නායු තුළ ඇති හර්පිස් වෛරසය විවිධ අවස්ථාවලදී රෝග ලක්‍ෂණ ඇති කරයි.
- ශරීරයේ යම් දුර්වලතා
- ලිංගික ප‍්‍රදේශයේ ඇතිවන තුවාල
- මානසික ආතතිය
- ස්ත‍්‍රීන්ගේ මාස් ශුද්ධිය සිදුවීම හා ගැබ්ගැනීම වැනි අවස්ථාවලදී නැවත රෝගය මතුවීමේ සම්භාවිතාව වැඩිය.

හර්පිස් රෝගය ඇත්දැයි පරීක්‍ෂාකර හදුනාගත හැකිද?

රුධිර පරීක්‍ෂණ හා දියරමය බිබිලි තිබේනම් එහි ඇති දියරයෙන්ද හර්පිස් ඇත්දැයි හදුනාගත හැක.

හර්පිස් රෝගය සඳහා ප‍්‍රතිකාර තිබේද?

⋆ මෙහි ඇති භයානක කම වනුයේ මෙය නිට්ටාවට සුවකල නොහැකි වීමයි.

- වෛරස් රෝග සඳහා ඇති ඖෂධ මඟින් මෙහිදී ඇතිවන රෝග ලක්‍ෂණ යම් දුරකට යටපත් කල හැක. උදා: කැක්කුම හා ඇතිවන තුවාල පවතින කාලසීමාව අඩුකල හැක.
- නැවත නැවත මෙම රෝගී තත්වය ඇතිවීමත් සමඟ රෝගියා අවධානයෙන් සිටියහොත් රෝගය මතුවීගෙන එන අවස්ථාව හඳුනාගත හැක. එහිදී ඇතිවන නලියන ස්වභාවය, කැක්කුම, කැසීම, මීට නිදසුන්ය. එම අවස්ථාවේම වෛද්‍ය උපදෙස් අනුව අදාල ඖෂධ ලබාගැනීමෙන් තත්වය යම් දුරකට සමනය කල හැක. මෙමඟින් තව කෙනෙකුට බෝවීමේ හැකියාව යම් දුරකට අඩුකරයි.

⋆ මෙම බිබිලි ඇතිවුවහොත් ලිහිල් කපු රෙද්දෙන් නිමකරන ලද යට ඇඳුම් භාවිතා කල යුතුය.
⋆ ජලය හා සබන් මඟින් අදාල ප‍්‍රදේශය පිරිසිදු කිරීම කලහැක.
⋆ උණුවතුර නෑම මඟින් කැක්කුම අඩුකරයි.

හර්පිස් රෝගය නිසා පසුකාලීනව ඇතිවිය හැකි ප‍්‍රශ්ණ මොනවාද?

මෙම වෛරස් එක ඇගේ අනෙකුත් තැන්වලට පැතිරිය හැක. උදා : ඇස, මොළය
එහිදී සමහර අවස්ථාවල භයානක ප‍්‍රථිඵල ගෙනදේ.
දරුවෙකු බිහිකරන කාල වකවානුව ආශ‍්‍රිතව රෝගී තත්වය මතුවුවහොත් නෙමේරූ ළදරු උපත් මෙන්ම දරුවාගේ ශරීරයේ එම වෛරස් තැවරීම සිදුවන නිසා ඒවා මොළයට යාමට වැඩි අවධානමක් ඇත. එබැවින් කලින් හඳුනාගැනීමක් කලහොත් බොහෝවිට සීසර් සැත්කමකින් දරුවා බිහිකිරීම කරනු ලැබේ.

ලිපිය පළකල දිනය Article uploaded on: 29/03/2024
මෙම දැනුම ඔබේ යහළුවන් අතරේත් බෙදාගන්න

ඔබ ලෙඩරෝග පිළිබඳ දැනුවත්ද?

එන්න, දැනුම මැනල බලමු සියලුම ගැටළු