දිවෙහි ඇතිවන දැවිල්ල (Glossitis)

දිවෙහි දැවිල්ල ඇතිවීම යනුවෙන් කුමක් අදහස් කෙරේද?

දිව ඉදිමීම හා එහි සාමාන්‍ය පැහැය වෙනස්වීම මෙහිදී දැකිය හැකි අතර බොහෝවිට එය රතු පැහැයක් ගන්නා අතර කැක්කුම ඇතිවේ.

මීට අමතරව ආහාර සැපීමේදී මෙන්ම කථාකරන විටදී පවා කැක්කුම වැඩිවිය හැක.

(කලාතුරකින් විටමින් B12 ඌනතාවයකදී දිව මතුපිට සාමාන්‍යය ප‍්‍රමාණයට වඩා සුමට බවකින් යුක්ත අතර කැක්කුමක්ද ඇති නොවී තිබිය හැක)

මෙසේ දිවෙහි දැවිල්ල ඇතිවීමට හේතු මොනවාද?

ශරීරයේ යකඩ ඌනතාවය නිසා

දන්තාලේප ,සමහර ටොෆි වර්ග, මුඛය සේදීමට ගන්නා සමහර දේවල් දිවෙහි අසාත්මිකතා ඇතිකලහැක. එවිට දිවෙහි මෙවැනි දැවිලිලක් ඇතිවේ.

සමහර ඖෂධ වර්ග (උදා අධික රුධිර පීඩනයට දෙනු ලබන ACE Inhibitors ඛාන්ඩයට අයත් ඖෂධ)

කෘත‍්‍රිම දත්

ඛෙට ස‍්‍රාවය කරන ග‍්‍රන්ථි අකර්මන්‍ය වීම හා එහිදී මුඛයේ ඇතිවන වියලි ස්වභාවය නිසා

මධ්‍යසාර හා දුම් පානය

විෂබීජ තත්වයන් ( උදා හර්පීස් වෛරස් අසාදිත තත්වයන්)

අධික ලෙස වඩා උනුසුම් ආහාර අනුභව කිරීම

සමහර සමේ ඇතිවන රෝගී තත්වයන් සමග මෙවැනි දැවිල්ල ඇතිකරන ස්වභාවයක් දිවෙහි ඇතිවිය හැක ( උදා Lichen planus , Erythema multiform)

දිලීර රෝගී තත්වයන්

මේ සදහා ගතහැකි ක‍්‍රියාමාර්ග මොනවාද?

මුඛයේ පිරිසිදු බව ඉතාම වැදගත් වේ.

නමුත් දත් මැදීමේදී වෙනත් දන්තාලේප වර්ගයක් භාවිතාකිරීම යෝග්‍ය වේ. ඊට හේතුව වන්නේ භාවිතාකරන ලද දන්තාලේප වර්ගයට ඇති වූ අසාත්මිකතාවයක් විය හැකි බැවිනි.

අධික උනුසුමෙන් යුත් ආහාර ගැනීමෙන් වැලකීම.

දිවට හානිකර තත්වයන් ඇතිකල හැකි දේවල් වලින් ඈත් වීම ( උදා මධ්‍යසාර දුම්පානය අධික ලෙස මිරිස් හා තුනපහ යෙදූ ආහාර )

කෘත‍්‍රීම දත් දමා ඇත්නම් එහි පිරිසිදු බව ගැන සැලකිලිමත් වීම හා එය මුඛයේ හරියාකාරව රදාපවතින්නේ නැත්නම් නැවත් සකසා ගැනීම

මෙවැනි තත්වයක් දින කිහිපයකින් යතා තත්වයට පත් වූයේ නැත්නම් වෛද්‍යවරයෙකුගේ උපදෙස් ලබා ගැනීම ඉතාම යෝග්‍ය වේ.

වෛද්‍යවරයා විසින් පරීක්ෂාකිරීමෙන් පසුව

අවශ්‍ය නම් රුධිර පරීක්ෂණ (යකඩ ඌණතා හා විටමින් ඌණතා සැකකරන අවස්ථාවලදී)

මීට අමතරව විෂබීජ තත්වයන් ඇත්නම් ඊට අවශ්‍ය විෂබීජනාශක ඖෂධ, වේදනා නාශක ඖෂධ හා අසාත්මිකතාව අඩුකිරීමට ඉවහල්වන ඖෂධ ලබා දෙනු ඇත.

සමහර විශේෂිත රෝගී තත්වයන් සදහා (උදා හර්පීස් ) අදාල ප‍්‍රථිකාර ලබා ගැනීමට යොමුකරනු ඇත

යකඩ ඌණතාවයක් ඇතිනම් කිසියම්වූ ආකාරයක රුධිර වහනයක් ඇතිවී තිබිය හැකි බැවින් ඒ සදහා තවදුරටත් පරීක්ෂණ කිරීමට යොමුකරන අතර යකඩ ඌණතාවය සදහා ප‍්‍රථිකාර දෙනු ඇත.

විටමින් ඌණතා සැකකල හැකි අවස්ථාවලදී විටම්න් වර්ග ලබා දීම කරනු ලැබේ.


Article uploaded on 13/11/2013

ලිපිය පළකල දිනය Article uploaded on: 13/11/2013
මෙම දැනුම ඔබේ යහළුවන් අතරේත් බෙදාගන්න

ඔබ ලෙඩරෝග පිළිබඳ දැනුවත්ද?

එන්න, දැනුම මැනල බලමු සියලුම ගැටළු