පිත්තාශයේ ඇතිවන ගල් (Gallstone Disease)

පිත්තාශයේ කාර්යය කුමක්ද?

පෙයාස් ගෙඩියක හැඩය ගන්නා ග්‍රන්ථියක් වන මෙය අක්මාව ආශ‍්‍රිතව එයට පිත්නාල වලින් සම්භන්ධ වී පවතී. අක්මාවේ නිපදවෙන විවිධ ජීර්ණ කාරක හා බහිස‍්‍රාවීය ද්‍රව්‍ය පිත්නාල වලින් පිත්තාශයට පැමිණ ගබඩාවේ.
ආහාර ආමාශයේ සිට කුඩා බැඩවැල කරා ගමන් කිරීමේදී ඇතිවන උත්තේජනය හේතු කොටගෙන පිත්තාශයේ ගබඩා වූ පිත්යුෂ ආහාර මාර්ගයට එකතු කිරීම කරනු ලබයි.

පිත්තාශයේ ගල් ඇති වන්නේ කෙසේද?

ආක්මාවෙන් ස‍්‍රාවය වී පිත්තාශයේ එකතුවන පිත්යුෂ වල මංඩි ආකාරයට තැන්පත් වන ඒවා මඟින් දීර්ඝ කාලීනව ගල් සෑදීම සිදුවේ. මුලදී ඉතා කුඩාවට සෑදෙන නමුත් කාලයක් ගතවෙත්ම ඒවා විශාල ගල් බවට පත්වේ.

මෙසේ පිත්යුෂ වල මන්ඩි ආකාරයට තැන්පත් වීම වැඩිකරන සාධක තිබේද?

මන්ඩි ආකාරයට තැන්පත් වීම වැඩිකරන සාධක තිබෙන අතර එසේ සිදුවීමට වැඩි අවස්ථාවක් ඇති ප‍්‍රධාන සාධක පහත ආකාරයට දැක්විය හැක.

- රුධිරයේ අධික ලෙස කොලෙස්ටරෝල් තිබීම.
- තරබාරුකම හා ව්‍යායාම අඩුකම.
- දියවැඩියා රෝගී තත්වයන්
- සමහර ඖෂධ වර්ග (උදා: සමහර කොලෙස්ටරෝල් අඩුකරන ඖෂධ වර්ග)
- අක්මාව ආශ‍්‍රිතව ඇති රෝගී තත්වයන්
- පවුලේ අයට මෙම රෝගී තත්වය තිබීම.

⋆ වයස අවුරුදු 40ට වැඩි කාන්තාවන් අතර පිත්තාශයේ ගල් ඇතිවීමේ ප‍්‍රවනතාවය පිරිමින්ට වඩා වැඩිය.

පිත්තාශයේ ගල් ඇතිවීමෙන් පැන නඟින ප‍්‍රශ්ණ මොනවාද?

පිත්තාශයේ ඇතිවන ගල් පිත්නාල අවහිර කිරීම කල හැකි අතර එහිදී දිගින් දිගටම පිත පිත්තාශයේ එකතුවීම සිදුවේ. මෙහිදී තද කැක්කුමක් ඇතිවන අතර ආහාර ගත්තායින් පසුව පිත්තාශය මිරිකී පිත එළියට එවීමට උත්සහ කරන ප‍්‍රමාණය වැඩිවන නිසා කැක්කුමද වැඩිවේ.
මීට අමතරව පිත්තාශය තුල ඇතිවන අධික පීඩනය නිසා එහි බිත්ති වලට හානිවී පුපුරායාම පවා සිදුවිය හැක. විෂබීජ ගතිය ඇතිවීමට ඇති අවස්ථාව ද වැඩිවේ.

මෙහිදී එන රෝග ලක්‍ෂණ මොනවාද?

සමහර පුද්ගලයින්ගේ පිත්තාශයේ ගල් තිබුන ද කැක්කුම ඇති නොවී තිබිය හැක. කැක්කුම ඇති වන්නේ නම් එය උදරයේ ඉහළ ප‍්‍රදේශයේ ඇතිවන අතර කුක්කුම උරහිස දක්වා පැතිර යා හැක.
එසේ ඇතිවන කැක්කුම සාමාන්‍යයෙන් පැයක් පමණ එක දිගට තිබෙන අතර වමනය යාම, දහඩිය දැමීම ආදියද සිදුවිය හැක.
මෙවැනි අවස්ථා සතියකට, මාසයකට හෝ අවුරුද්දකට වරක් ඇතිවිය හැක. බොහෝ වේලාවට මෙවැනි අවස්ථාවලදී ආමාශයේ ඇතිවන අසාත්මිකතාවයක් එසේත් නැතිනම් ගැස්ට‍්‍රයිටිස් ලෙස වරදවා වටහා ගත හැකිය. ඊට හේතුව වනුයේ මෙහිදී එන රෝග ලක්‍ෂණ සමහර අවස්ථාවලදී එක සමාන වීමයි.

පිත්තාශයේ ගල් නිසා ඇග කහවීම විය හැකිද?

පිත්තාශයේ ගල් පහළට රූටා යාම නිසා පිත කුඩා බැඩවැල් කරා ගමන් කරන ප‍්‍රධාන පිත්නාලය හිරවීමක් විය හැක. එවිට අක්මවේ පිත එකතුවී ඒවා රුධිරයට එක්වීමට ද පටන් ගනී.
පිතෙහි ඇති එක් වර්ණයක් කහ පැහැයෙන් යුක්ත වේ. එබැවින් ශරීරය විශේෂයෙන් ඇසේ සුදු ඉංග‍්‍රිරියාව කහපැහැයක් ගැනීම සිදුවේ.
මෙය යම් භයානක තත්වයකට තුඩුදෙන අතර අක්මාවේ ක‍්‍රියාකාරිත්වයද අඩපන කරන අතර යම් හෙයකින් විෂබීජ තත්වයක් ඇති වුවහොත් ජීවිත තර්ජන පවා ඇතිවිය හැක. එබැවින් ඉක්මන් ප‍්‍රතිකාර අවශ්‍ය වේ.

පිත්තාශයේ ගල් ඇතිදැයි හඳුනාගන්නේ කෙසේද?

උදරයේ කරන ස්කෑන් පරීක්‍ෂණයක් මගින් පිත්තාශයේ ගල් ඇත්දැයි පහසුවෙන් හඳුනාගත හැක.
මේ සඳහා දිනයක් වෙන්කරවාගෙන පැය 6-8ක් දක්වා කාලයක් ආහාර පාන නොගන අදාල පරීක්‍ෂණයට යා යුතුය. එවිට පිත්තාශයෙහි පිත පිරී ඇති බැවින් ගල් තිබේදැයි පහසුවෙන් හඳුනාගත හැක.

පිත්තාශයේ ගල් තිබෙන සෑම අවස්ථාවකදීම ප‍්‍රථිකාර කල යුතුද?

පිත්තාශයේ ගල් විවිධ ආකාරයෙන් පැවතිය හැකිය. කුඩා ගල් විශාල ප‍්‍රමාණයක් හෝ විශාල ගලක් යන ආකාර වලින් තිබිය හැක. මේ සෑම අවස්ථාවකදීම යම් කාලයකදී පිත්තාශය ආශ‍්‍රිත නොයෙකුත් ප‍්‍රශ්ණ වලට තුඩු දෙන බැවින් වෛද්‍යවරයා සමග සාකච්ඡාකර ප‍්‍රතිකාර ක‍්‍රමයකට එලඹීම සුදුසු වේ.
සමහර අවස්ථාලදී රෝගියාගේ වයස හා අනෙකුත් රෝගී තත්වයන් සලකා විශාල ගල් කිහිපයක් හෝ එකක් තිබේනම්, එයින් පිත් නාල අවහිර කිරීමේ සම්භාවිතාවයක් නොමැති නම් ශල්‍යකර්මයකට නොගොස් ඒ ගැන අවධානයෙන් සිටීම කල හැක. මෙය වෛද්‍යවරයා විසින් අනෙකුත් සියළු කරනු සැලකිල්ලට ගෙන ගන්නාවූ තීරණයකි. කුඩා ගල් විශාල ප‍්‍රමාණ වලින් තිබීම හැම විටම පිත්තාශය ආශ‍්‍රිතව ප‍්‍රශ්ණ ඇති කිරීමට තුඩු දෙන බැවින් වෛද්‍යවරයා බොහෝ විට ශල්‍යකර්මයක් යෝජනා කරනු ඇත.

ශල්‍යකර්ම නොමැති වෙන ප‍්‍රථිකාර ක‍්‍රම තිබේද?

පිත්තාශයේ ගල් ඇතිවූ පසු දැනට තිබෙන හොඳම ප‍්‍රථිකාර ක‍්‍රමය වනුයේ ශල්‍යකර්මයක් මඟින් පිත්තාශය ඉවත් කිරීම වේ. අනෙකුත් විවිධ ප‍්‍රථිකාර මඟින් තවමත් සාර්ථක ප‍්‍රථිඵල ලබාදී නැත.

ශල්‍යකර්මයක් මඟින් පිත්තාශය ඉවත් කිරීම නිසා ප‍්‍රශ්ණ ඇති නොවන්නේ ද?

පිතෙහි ඇති ජීර්ණ කාරක, මේදය ජීර්ණයට අවශ්‍ය වේ. ආහාර ආමාශයේ සිට කුඩා බඩ වැලට එන විට පිත වැඩි ප‍්‍රමාණයක් මේදය ආහාර සමඟ ගැටුනු විට ජීර්ණය පහසු කරයි. නමුත් පිත්තාශය ඉවත් කල පසු ගබඩා වූ පිත නොමැති බැවින් එවැනි කාර්යයක් ඉටු නොවේ. අක්මාවෙන් කෙළින්ම ස‍්‍රාවය වන පිතෙහි ප‍්‍රමාණය වරකට ඉතා සුළු ප‍්‍රමාණවලින් බැවින් මේදය ජීර්ණයට බාධා ඇතිවේ.
එබැවින් ශල්‍යකර්මය කර මුල් කාල වකවානුවෙදී තෙල් අධික ආහාර ගතහොත් ජීර්ණය නොවූ මේදය මලපහ සමඟ පිටව යා හැක. මේ සඳහා කල හැකි හොඳම පිළියම වනුයේ වරකට ගන්නා තෙල් ප‍්‍රමාණය අවම කිරීමයි. නමුත් කාලයක් යනවිට අක්මාවෙන් වරකට ස‍්‍රාවය කරන පිත ප‍්‍රමාණය වැඩිකරගෙන තත්වය යම් දුරකට පාලනය කරයි.

පිත්තාශය ඉවත් කිරීමේ ශල්‍යකර්මය කරන්නේ කෙසේද?

මෙය කල හැකි ක‍්‍රම 2කකි.
- සාමාන්‍ය ආකාරයට උදරයේ කැපුමක් දමා කරන ශල්‍යකර්මයක් ලෙස හෝ ලැපරොස්කොපි ක‍්‍රමයට

ලැපරොස්කොපි ක‍්‍රමයට කිරීමට අදාල රෝහලේ එම පහසුකම තිබේද නැද්ද යන වඟ හා පිත්තාශයේ ගල් හිරවී ඇති ස්ථානය යන විවිධාකාර සාධක බලපායි. එබැවින් බොහෝ විට වෛද්‍යවරයා රෝගියා සමඟ සාකච්ඡා කර තීරණයකට එනු ලබයි.

ලැපරොස් කොපි ක‍්‍රමයට කිරීමෙන් රෝගියාට හිතකර තත්වයක් තිබේද?

මෙහිදී එම ශල්‍යකර්මය ව්‍යාකූල තත්වයක් නැතිව සිදු වුනේ නම් බොහෝ වේලාවට පසුදින රෝහලෙන් පිටවී යා හැක.
- ශල්‍යකර්මයට පසු එන කැක්කුම අවම වේ.
- විශාල කැපුම් පාරවල් උදරයේ නැත.
- පසු කාලීන හර්නියා තත්වයන් ඇතිවීම අවම වේ.
ආදී වශයෙන් වාසි මෙම ක‍්‍රමයෙන් බලාපොරොත්තු විය හැක.

පිත්තාශයේ ගල් ඇතිවීම වලක්වාගැනීමට ගතහැකි පියවරවල් මොනවාද?

- තෙල් බහුල ආහාර ගැනීමෙන් වැලකීම.
- රුධිරයේ කොලෙස්ටරෝල් ප‍්‍රමාණය වැඩිනම් ඊට නොපමාව ප‍්‍රථිකාර ගැනීම.
- දියවැඩියාව ඇත්නම් ඊට ප‍්‍රථිකාර ගැනීම.
- හොදින් ව්‍යායාම කිරීම.
මෙම ක‍්‍රම මඟින් පිත්තාශයේ ගල් ඇතිවීම යම් දුරකට අඩුකල හැක.

ලිපිය පළකල දිනය Article uploaded on: 02/07/2022
මෙම දැනුම ඔබේ යහළුවන් අතරේත් බෙදාගන්න

ඔබ ලෙඩරෝග පිළිබඳ දැනුවත්ද?

එන්න, දැනුම මැනල බලමු සියලුම ගැටළු