අක්මාව ආශ‍්‍රිතව ඇතිවන හෙපටයිටිස් B වෛරස් ආසාදිත තත්වය (Hepatitis)

අක්මාවට හානි කරන ප‍්‍රධාන වෛරස් රෝග කාරක මොනවාද?

හෙපටයිටිස් A,B,C,D සහ E මේ අතරින් ප‍්‍රධාන වේ

මේ අතරින් හෙපටයිටිස් B සහ C දීර්ඝ කාලීන ව්‍යාකූලතා ඇතිකිරීමට හේතුකාරක වේ.

මෙම හෙපටයිටිස් B වෛරසය ශරීරයට ඇතුලු වන්නේ කෙසේද?

හෙපටයිටිස් වෛරසය ආසාදිත පුද්ගලයෙකුගේ රුධිරය ඇතුලු සෑම ශරීර පටක තරලයකම මෙම වෛරසය ඇත.

එබැවින් යම් ආකාරයකට මෙම තරලයන් ශරීර ගතවූවහොත් වෛරසය ආසාදනය විය හැක.


එසේ ශරීර ගතවිය හැකි ආකාර ලෙස

අනාරක්ෂිත ලිංගික ක‍්‍රියාකාරකම්.

විශාල ප‍්‍රමාණ වලින් කිරීමට සිදුවන රුධිර පාරවිලනයන් නිසා.

මත්ද‍්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් එකම එන්නත් කටුව කිහිප දෙනෙකු අතරේ භාවිතා කිරීම.

රේසර් ,දත්බුරුසු වැනි දෑ හවුලේ භාවිතය.

වකුගඩු අකර්මන්‍ය තත්ව වලදී දීර්ඝ කාලීනව කාන්දු පෙරනයන් සිදුකිරීම (Dialysis)

වෛරස් ආසාදිත මවකගෙන් ඉපදෙන දරුවකුට කෙලින්ම බෝවිය හැක.

චීන කටු වැනි ප‍්‍රථිකාර ක‍්‍රම වලදී හා පච්ච කෙටීමේදී එකම කටු නැවත නැවත හරියාකාරව ජීවානුහරණය කරන්නේ නැතිව භාවිතා කිරීම.

හෙපටයිටිස් B වෛරස් ආසාදනයකදී ඇතිවිය හැකි රෝග ලක්ෂණ මොනවාද?

මුලින්ම කිසිම රෝග ලක්ෂණයක් ඇති නොවී තිබිය හැක.

නමුත් සමහර අවස්ථා වලදී මද උණ ගතියක් දින කිහිපයක සිට සති දෙක තුනක් දක්වා තිබිය හැක.

සාමාන්‍යයෙන් වෛරසය ශරීර ගත වී මාස හයක් පමණ ගිය විට යම් යම් රෝග ලක්ෂණ මතුවිය හැක.

කෑම පිරිය අඩු වීම

මාංශ පේශී මෙන්ම හන්දිවල කැක්කුම ඇති වීම

ඇගට පණ නැති ගතිය

මද වශයෙන් ඇතිවන උණ

ශරීරය ක‍්‍රමයෙන් කහ වීම


මෙසේ ඇතිවන රෝග ලක්ෂණ සති හෝ මාස කිහිපයකදී සම්පූර්ණයෙන් නැතිව යා හැක.

එය ශරීරයේ ඇති ප‍්‍රථිශක්තිය මත රදා පවතී.

සමහර රෝගීන්ගේ මෙම වෛරසය ශරීරයෙන් ඉවත් වීම සිදුවන්නේ නැත.

එසේම ඔවුන්ගේ රෝග ලක්ෂණද සමහර විට මතු නොවී තිබිය හැක.

කෙසේ නමුත් මෙම රෝගීන්ගෙන් තව කෙනෙකුට බෝවිය හැක.

ඉතාම කලාතුරකින් අවස්ථාවක ආසාදිත වෛරස් ප‍්‍රමාණය වැඩිනම් අක්මාව එකවර අකර්මන්‍ය තත්වයකට පත්වී ව්‍යාකූලතා ඇතිකල හැක.

මෙම වෛරසය ආසාදනය වී ඇති තත්වයකදී ඒ සදහා කරනු ලබන පරීක්ෂණ මොනවාද?

රුධිර පරීක්ෂණ මගින් හෙපටයිටිස් B වෛරසයහි අඩංගු කොටස් මෙන්ම ඊට එරෙහිව ශරීරය මගින් ප‍්‍රථිදේහ සාදා ඇත්දැයි පරීක්ෂා කරනු ලැබේ.

එමගින් අදාල ආසාදිත රෝගියාගේ ශරීරයට ඇතුලු වී ඇති වෛරසය විනාශවීමක් සිදුවී ඇතිද මෙම රෝගියාගෙන් තව කෙනෙකුට බෝවීමක් විය හැකිද ආදී දත්ත ලබා ගත හැක.

මීට අමතරව මෙම වෛරසය නිසා අක්මාවේ ක‍්‍රියාකාරීත්වයට බලපෑම් ඇතිකල හැකි බැවින් එහි ක‍්‍රියාකාරීස්වභාවය අධ්‍යනය කිරීම සදහාද රුධිර පරීක්ෂණ සිදුකරනු ලැබේ.

උදරයේ ස්කෑන් පරීක්ෂණයක් කිරීමේ අරමුණ වන්නේ අක්මාවේ ව්‍යූහය අධ්‍යනය කිරීමයි.

බොහෝවිට මෙම වෛරස් අසාදනය දීර්ඝ කාලීනව පැවතීමෙන් සිරෝසිස් තත්ව මෙන්ම අක්මාව ආශ‍්‍රිතව පිලිකා තත්ව ඇතිවිය හැක.

මේ සදහා ප‍්‍රථිකාර කෙරෙනුයේ කෙසේද?

වෛරසය ආසාදනය වීමත් සමගම ඇතිවන මූලික රෝගී ලක්ෂණ සදහා විශේෂිත ප‍්‍රථිකාර නොමැත.

හොදින් විවේක ගැනීම.

පෝෂ්‍යදායි ආහාර ලබා ගැනීම.

හොදින් වතුර පානය කිරීම කල යුතුවේ.

මෙහිදී නිතර නිතර රුධිර පරීක්ෂණ කිරීම මගින් අක්මාවේ ක‍්‍රියාකාරීත්වයේ වෙනස්කම් පිලිබදව විමසිල්ලෙන් සිටිනු ඇත.

වෛරසය ශරීර ගත වී දීර්ඝකාලීනව ශරීරයෙන් ඉවත් නොවී පවතින රෝගීන් සදහා සමහර ඔෂධ වර්ග නියම කරනු ඇත. (Interferon-ඉන්ටෆෙරෝන් )

නමුත් මෙම ප‍්‍රථිකාර මගින් ද සිදුවනුයේ ශරීරගත වී ඇති වෛරසයේ ප‍්‍රමාණය අඩුකිරීම මෙන්ම අක්මාවට දීර්ඝ කාලීනව වන හානිය හා පිලිකා තත්ව ඇති වීමේ හැකියාව අවම කිරීමත්ය.

නමුත් මෙම ඖෂධය පටන් ගැනීම තීරණය කරනුයේ වෛද්‍යවරයා විසින්වේ.

ඒ එය පටන් ගැනීමට පෙර තව නොයෙකුත් කාරනා සැලකිල්ලට ගත යුතු බැවිනි.

ඉතා ඉක්මනින් අක්මාවේ ක‍්‍රියාකාරීත්වය අකර්මන්‍යවන්නේ නම් අක්මාව බද්ධ කිරීමට ඇති හැකියාවද වෛද්‍යවරු විසින් සලකා බලනු ඇත.

මධ්‍යසාර භාවිතයෙන් ඈත් වීම මෙන්ම පැරසිටමෝල් හා අනෙකුත් ඖෂධ ගැනිමේදී වෛද්‍ය උපදෙස් ලබාගත යුතුය.

ඊට හේතුව වන්නේ සමහර ඖෂධ අක්මාවේ ක‍්‍රියාකාරීත්වයට බලපාන බැවිනි.

මෙම වෛරසය වැලදුන විට නිට්ටාවට සුව වීමක් සිදුවේද?

මවගෙන් දරුවාට බෝවන අවස්ථාවලදී හා කුඩා දරුවන්ට අනෙකුත් හේතුමත රෝගය ආසාදනය වීම් වලදී දීර්ඝ කාලීනව වෛරසය ශරීරයේ පැවතීම දැකිය හැක.

මෙම තත්වය නිට්ටාවට සුවකිරීම අපහසුවේ.

වැඩිහිටියන්ට වෛරසය ආසාදනය වීමෙන් එසේ දීර්ඝකාලීන තත්වයකට ලක්වන්නන්ගේ ප‍්‍රමාණය සාමාන්‍යයෙන් අඩු ප‍්‍රතිශතයකි.

සිරෝසිස් තත්වය හා අක්මාවේ පිලිකා තත්වය ඇති වීමේ හැකියාව දීර්ඝකාලීනව වෛරස් ආසාදනය වී ඇති අයගේ වැඩිපුර දැකිය හැක.

මෙම හෙපටයිටිස් ආසාදනය වීමේ හැකියාව අවම කරගත හැක්කේ කෙසේද?

අනාරක්ෂිත ලිංගික ක‍්‍රියාකාරීන් වලින් ඈත්වීම.

හෙපටයිටිස් B එන්නත් (ප‍්‍රථිශක්තීකරණ) ලබා ගැනීම.

Article uploaded on 17/01/2014

ලිපිය පළකල දිනය Article uploaded on: 17/01/2014
මෙම දැනුම ඔබේ යහළුවන් අතරේත් බෙදාගන්න

ඔබ ලෙඩරෝග පිළිබඳ දැනුවත්ද?

එන්න, දැනුම මැනල බලමු සියලුම ගැටළු