දියවැඩියාව (Diabetes)

දියවැඩියාව යනුවෙන් අදහස් වෙන්නේ කුමක්ද?

රුධිරයේ ඇති සීනි ප‍්‍රමාණය සාමාන්‍ය ප‍්‍රමාණයට වඩා වැඩිවීමයි.

දියවැඩියාව ඇතිවීමට හේතු මොනවාද?

අප ගන්නා ආහාර ජීර්ණය වීමෙන් (විශේෂයෙන් කාබෝහයිඞ්ඩ්‍රේට් සහිත ආහාර) ග්ලූකෝස් නැමැති සීනි වර්ගයක් සෑදේ. මෙම ග්ලූකෝස් ශරීරයේ ශක්ති ජනන ක‍්‍රියාවලියට යොදා ගන්නා අතර වැඩිපුර සෑදෙන ග්ලූකෝස් ගලයිකොජන් ලෙස අක්මාවේ තැන්පත් වේ.
ආහාර ජීර්ණ පද්ධතියේ සිට අදාල ස්ථාන කරා ග්ලූකෝස් රැගෙන යනුයේ රුධිරය මගිනි. මාංශ පේශී, මේද පටක හා අක්මාව මෙසේ රුධිරයෙන් ග්ලූකෝස් ලබාගන්නා ප‍්‍රධාන ස්ථාන වන අතර එම හුවමාරුව සිදුවීමට ඉන්සියුලීන් නැමැති අග්න්‍යාශයේ නිපදවෙන හෝමෝනයක් අත්‍යාවශ්‍ය වේ.
නමුත් නිපදවෙන ඉන්සියුලීන් ප‍්‍රමාණයේ අඩුවීම හෝ නිපදවෙන ඉන්සියුලීන් වල ක‍්‍රියාකාරීත්වයේ වෙනසක් හෝ මේ කාරණා දෙකම නිසා හෝ රුධිරයේ ඇති ග්ලූකෝස් ශක්ති ජනනය සඳහා හා අක්මාවේ තැන්පත් වීම සඳහා ඉවත් නොවී තිබිය හැක.
එබැවින් රුධිරයේ ඇති ග්ලූකෝස් ප‍්‍රමාණය සාමාන්‍ය ප‍්‍රමාණයට වඩා වැඩිවන අතර එය දිය වැඩියා තත්වයක් ලෙස හැඳින්වේ.

දියවැඩියේ රෝගයේ විවිධ ප‍්‍රභේද තිබේද?

ප‍්‍රාථමික දියවැඩියා තත්වය (Type I Diabetes mellitus) සහ ද්විතීක දියවැඩියා තත්වය (Type II Diabetes mellitus) යනුවෙන් ප‍්‍රභේද ඇත.

⋆ ප‍්‍රාථමික දියවැඩියා තත්වය (Type I Diabetes mellitus)
මෙම තත්වය ඕනෑම පුද්ගලයෙකුගේ ඇතිවිය හැකි අතර වැඩි වශයෙන් දැකිය හැක්කේ කුඩා දරුවන්ගේ වේ. මෙම තත්වය සඳහා පිටතින් ඉන්සියුලීන් හෝමෝනය එන්නත් ආකාරයෙන් දීමටද සිදුවේ.

⋆ ද්විතීක දියවැඩියා තත්වය (Type II Diabetes mellitus)
මෙම තත්වය සාමාන්‍යයෙන් වැඩිහිටියන්ගේ දැකිය හැක. ශරීරයේ නිපදවෙන ඉන්සියුලීන් ප‍්‍රමාණය සාමාන්‍ය වුවත් අධික තාබාරුකම හා ව්‍යායාම අඩුකම නිසා එහි ක‍්‍රියාකාරිත්වය හරියාකාරව සිදුනොවීමෙන් මෙම තත්වය ඇතිවේ.

ගර්භනී මව්වරුන්ගේ ඇතිවන දියවැඩියා තත්වය (Gestational Diabetes)

ගර්භනී තත්වයට පෙර දියවැඩියාව නොතිබූ මව්වරුන්ගේ ගර්භනී අවස්ථාවේ ඇතිවන දියවැඩියා තත්වයක් මෙසේ හැඳින්වේ.

දියවැඩියා තත්වයකදී එන මූලික රෝග ලක්‍ෂණ මොනවාද?

- අධික වතුර තිබහ.
- අධික බඩගින්න.
- නිතර නිතර විශාල ප‍්‍රමාණ වලින් මුත‍්‍රා පිටවීම.
- ශරීරයේ බර සැලකිය යුතු ලෙස කෙටිකලකින් අඩුවීම.
- ඇගට පණ නැති ගතිය.
-
ඇසේ පෙනීමේ ඇතිවන බොදවූ ස්වභාවය
මේවා සාමාන්‍යයෙන් පුද්ගලයෙකුට තේරෙන ප‍්‍රමාණ වලින් සිදුවන විට රුධිරයේ සීනි ප‍්‍රමාණය සැලකිය යුතු ලෙස වැඩි අගයක පවතී.

ඉහත සඳහන් රෝගී ලක්‍ෂණ නොමැතිවද දියවැඩියාව සෑදී තිබිය හැකිද?

සෑදී තිබිය හැක. විශේෂයෙන් ද්විතීක දියවැඩියාව ඇති අයෙකුගේ රුධිරයේ සීනි ප‍්‍රමාණය සාමාන්‍ය ප‍්‍රමාණයට වඩා වැඩි අගයක දීර්ඝ කාලයක් තිස්සේ තිබිය හැක. නමුත් මෙහිදී රෝගී ලක්‍ෂණ ඇතිවීම ඉතා සෙමින් සිදුවන නිසා රෝගියාට එතරම් අවබෝධයක් නොවී තිබිය හැක.

දියවැඩියාව නීර්ණය කිරීම සඳහා ඇති පරීක්‍ෂණ මොනවාද?

- මුත‍්‍රා පරීක්‍ෂණය
- රුධිර පරීක්‍ෂණය

මුත‍්‍රා පරීක්‍ෂණයකින් දියවැඩියාව ඇතිබව සනාථ කලහැකිද?

රුධිරයේ ඇති ග්ලූකෝස් ප‍්‍රමාණය ඉතා සැලකිය යුතු වැඩි අගයක ඇති විට වකුගඩු වලින් අවශෝෂණය කරගැනීමට නොහැකි විටදී පමණක් මුත‍්‍රාවල ග්ලූකෝස් තිබිය හැක. එබැවින් දියවැඩියා තත්වය මුලින් හඳුනාගැනීමට මුත‍්‍රා පරීක්‍ෂණය සුදුසු නොවේ.
එසේම දියවැඩියාවට ප‍්‍රථිකාර ගන්නා රෝගියකු මුත‍්‍රා පරීක්‍ෂණය පමනක් කිරීමෙන් රෝගයෙහි පාලන තත්වය නීර්ණය කල නොහැක.
තවද මුත‍්‍රාවල ප්‍රෝටීන් තිබේදැයි පරීක්‍ෂා කිරීම කරනු ලැබේ. එසේ කරනුයේ දියවැඩියාව හා සම්භන්ධව වකුගඩු වල හානිකර තත්වයක් ඇත්නම් මුත‍්‍රාවල ඇල්බියුමින් නැමැති ප්‍රෝටීනය තිබිය හැක. එය දියවැඩියාව සහිත රෝගියෙකුගේ ප‍්‍රථිකාර ක‍්‍රම නීර්ණය සඳහා වැදගත් වේ.

නිරාහාරව සිට දියවැඩියාව නීර්ණය සඳහා කරනු ලබන පරීක්‍ෂණ මොනවාද?

⋆ නිරාහාරව සිට රුධිරයේ සීනි බැලීම (Fasting blood sugar)
මෙහිදී රාත‍්‍රි ආහාරයෙන් පසු අඩුම තරමේ පැය 8-10 කට පසු රුධිරයේ කරනු ලබන සීනි පරීක්‍ෂාවයි. මෙය අදාල පැය ගණනට පසු හෝ පෙර සිදුකිරීමෙන් ලැබෙන අගය නිවැරදි අගයක් නොවේ.

මෙහිදී ලැබෙන අගයන් අනුව
- 70-100 mg/dl -
සාමාන්‍ය වේ.
- 100-126 mg/dl - දියවැඩියාව ඇතිවීමට වැඩි අවධානම් තත්වයකි
- 126 mg/dl වඩා වැඩිනම් එය දියවැඩියා තත්වයකි.

මෙහිදී සැලකිය යුතු වන්නේ අදාල රුධිර පරීක්‍ෂණයට පෙර දිනයේ රාත‍්‍රියේ සාමාන්‍ය ආකාරයට ආහාර ගැනීම කලයුතුය. සමහර රෝගීන් පෙර දිනයේ සිටම ආහාර ගැනීම අඩුකර රුධිර පරීක්‍ෂණයට සූදානම් වන අතර එමගින් අදාල රුධිර පරීක්‍ෂණය මගින් රුධිරයේ සාමාන්‍ය සීනි ප‍්‍රමාණය ගැන නිවැරදි තොරතුරක් ලබා නොදේ.

ලිපිය පළකල දිනය Article uploaded on: 24/03/2013
මෙම දැනුම ඔබේ යහළුවන් අතරේත් බෙදාගන්න

ඔබ ලෙඩරෝග පිළිබඳ දැනුවත්ද?

එන්න, දැනුම මැනල බලමු සියලුම ගැටළු