තයිරොයිඞ් ග්‍රන්ථියේ අධික‍්‍රියාකාරිත්වය (Hyperthyroidism)

තයිරොයිඞ් ග‍්‍රන්ථියේ අධික‍්‍රියාකාරිත්වය (Hyperthyroidism) යනුවෙන් අදහස් කරන්නේ කුමක්ද ?

තයිරොයිඞ් හෝමෝන ශරීරයට අවශ්‍ය ප‍්‍රමාණයටත් වඩා තයිරොයිඞ් ග්‍රන්ථියේ නිෂ්පාදනය වී රුධිරයට මුදාහැරීම.

මෙහිදී ඇතිවන රෝග ලක්‍ෂණ මොනවාද?

තයිරොයිඞ් හෝමෝනය මඟින් ප‍්‍රධාන වශයෙන් කරනුයේ ශරීරයේ ශක්ති ජනනයේ හා නිපදවූ ශක්තිය භාවිතයේ සමතුලිතතාවයයි. අධික නිෂ්පාදනය නිසා ශරීරයේ ශක්ති ජනනය වැඩිවේ. එම හේතුවෙන් බොහෝ ඉන්ද්‍රයන්ද අධික‍්‍රියාකාරී වේ.

- ශරීරයේ අධික ලෙස තාපය නිපදවන නිසා අධික ලෙස දහඩිය දැමීම. පරිසරයේ සාමාන්‍ය උෂ්ණත්වයද දරාගත නොහැකි වීම.
- ආහාර රුචිය වැඩිවීම. නිතර නිතර කුසගිනි ඇති වීම.
- සිත ඒකාග‍්‍රව තබාගැනීමට නොහැකි වීම. (සිත නොසන්සුන් වීම)
- සිතේ ඇතිවන තිගැස්ම.
- නිතර නිතර වැසිකිලි යාමේ අවශ්‍යතාව.
- ශරීරයේ බර සැලකිය යුතු ලෙස කෙටි කාලයකදී අඩුවීම.
- ශරීරයට ඇතිවන තෙහෙට්ටු ගතිය.
- කාන්තාවන්ගේ සිදුවන මාස්ශුද්ධියේ අසාමාන්‍යතා මතුවීම.
- අත් වෙවිලීම, හෘද ස්පන්දන වේගය වැඩිවීම හා එය දැනීම.
- සමහර අවස්ථාවලදී ඇස් ඉදිරියට නෙරා ඒම.
- තයිරොයිඞ් ග්‍රන්ථියේ විශාල වීම.

අධි ක‍්‍රියාකාරී තයිරොයිඞ් ග‍්‍රන්ථියක් ඇතිවීමට හේතු කවරේද ?

⋆ නොයෙකුත් හේතුන් මත තයිරොයිඞ් ග්‍රන්ථිය උත්තේජනය කරන ප‍්‍රතිදේහ ශරීරය තුල නිෂ්පාදනය වීම. (Graves disease)
⋆ සමහර වෛරස් මඟින් තයිරොයිඞ් ග්‍රන්ථියට හානිවීම නිසා ඉදිමීමක් සමඟ නිෂ්පාදනය කර ගබඩාකර තිබෙන තයිරොක්සීන් හෝමෝන අධික ලෙස එකවර රුධිරයට එකතු වීම. (Viral thyroiditis)
⋆ වැඩිපුර අයඩින් මිශ‍්‍රලූණු ආහාරයට ගැනිම.
⋆ තයිරොක්සීන් පෙති මාත‍්‍රාවට වඩා වැඩිපුර ගැනීම.
⋆ මොලයේ ඇති පිටියුටරි ග්‍රන්ථියේ අධි ක‍්‍රියාකාරි තත්වයන්
⋆ කලාතුරකින් ශරීරයේ වෙනත් ස්ථානවල ඇතිවන ගැටිති හා ගෙඩි ආදිය මඟින් තයිරොයිඞ් ග්‍රන්ථිය උත්තේජනය කරන හෝමෝන නිපදවීම. උදා: වෘෂණ හා ඩිම්භ කෝෂ

මේ සඳහා ඇති පරීක්‍ෂණ මොනවාද ?

තයිරොයිඞ් හෝමෝන් පරීක්‍ෂණ
TSH
T4
T3
ප‍්‍රථිදේහ පරීක්‍ෂණ

මේ සඳහා ඇති ප‍්‍රතිකාර ක‍්‍රම මොනවාද ?

⋆ තයිරොයිඞ් ග්‍රන්ථියේ ක‍්‍රියාකාරිත්වය අඩුකිරීමට බෙහෙත් වර්ග ලබාදීම. උදා: කාබිමසෝල් පෙති (Carbimazol)
⋆ විකිරණ ප‍්‍රතිකාර ක‍්‍රම - මෙමඟින් තයිරොයිඞ් ග්‍රන්ථියේ ක‍්‍රියාකාරී පටක විනාශ කරයි.
⋆ ශල්‍යකර්මයක් මඟින් තයිරොයිඞ් ග්‍රන්ථිය ඉවත් කිරීම.

ප‍්‍රතිකාර නොගතහොත් සිදුවිය හැකි ව්‍යාකූලතා මොනවාද?

⋆ හෘදය දුර්වල වීම. (Heart failure)
⋆ ශරීරයේ දුර්වලවීම.
⋆ අස්ථි දිරායාම (Osteoporosis)

මෙය වලක්වාගත හැකි ක‍්‍රම මොනවාද?

මේ සඳහාම වූ විශේෂිත ක‍්‍රම නොමැත. නමුත්,
තයිරොක්සීන් පෙති නියමිත මාත‍්‍රාවට ගැනීම.
අයඩින් මිශ‍්‍රිත ලුණු ආහාර වලට පමණට වඩා එකතුකිරීමෙන් වැලකීම, වැනි ක‍්‍රම මඟින් යම් දුරකට ආරක්‍ෂා විය හැක.

ලිපිය පළකල දිනය Article uploaded on: 20/04/2024
මෙම දැනුම ඔබේ යහළුවන් අතරේත් බෙදාගන්න

ඔබ ලෙඩරෝග පිළිබඳ දැනුවත්ද?

එන්න, දැනුම මැනල බලමු සියලුම ගැටළු