සයිනුසයිටිස් (Sinusitis)

සයිනුසයිටිස් යනුවෙන් අදහස් කෙරෙන්නේ කුමන තත්වයක්ද?

නාසය වටා කුහර පද්ධතියක් පිහිටා ඇති අතර ඒවා පිහිටා ඇත්තේ මුහුණ සෑදී ඇති අස්ථි තුල වේ. මෙම කුහර ඇතුලත බිත්තිය සෛල තට්ටුවකින් ආවරනය වී ඇති අතර එමගින් ශ්ලේෂ්මලය සහිත තරලයක් ස‍්‍රාවය කරයි. නාසය හා ඒ වටා ඇති කුහර කුඩා නාල මගින් සම්භන්ධ වී ඇති අතර කුහර තුල සෑදෙන තරල මෙම නාල දිගේ නාසය වෙත ගමන් කිරීම සාමාන්‍ය සිදුවීමයි.
නමුත් යම් හෙයකින් එම කුඩා නාල අවහිර වීමක් වූවහොත් ශ්ලේෂ්මලය සහිත තරලය කුහර තුල එකතුවීම වන අතර සමහර අවස්ථාවලදී විෂබීජ තත්ව ඇතිවිය හැක.
මෙවැනි අවස්ථා සයිනුසයිටිස් යනුවෙන් හැදින්වේ.

මෙම නාස් කුහරය හා සම්භන්ද කරන කුඩා නාල අවහිර වීමට හේතු මොනවාද?

1 දුහුවිලි නාස්කුහරය තුල එකතුවීම
2 විෂබීජ තත්වයන් (වෛරස් හා බැක්ටීරියා) හා සෙම්ප‍්‍රතිෂ්‍යාවකට පසු සයිනුසයිටිස් තත්ව ඇති වීමට ඇති හැකියාව ඉතා ඉහල වේ.
3 මල්වල පරාග, සමහර දුම්වර්ග, (උදා පෙට්‍රෝලියම්) මගින් නාස් කුහරය තුල අසාත්මිකතා ඇතිකිරීම හා එහිදි සෙල බිත්තියේ ඇතිවන ඉදිමීම නිසා එම නාල අවහිර වීම සිදූවේ.
4 නාස් කුහරය තුල ඇතිවන ගෙඩි (polyps)
5
ඉතාම කලාතුරකින් නාසය වටා ඇති කුහර තුල ඇතිවන පිලිකාමය හෝ පිලිකාමය නොවන ගෙඩි මගින් සිදුවන අවහිර වීම්

මෙහිදී ඇතිවන රෝග ලක්ෂණ මොනවාද?

හිසෙහි ඇතිවන තද කැක්කුම හා බරගතිය
හිස සෙලවීමේදී මෙන්ම ඇවිදින විටදී පවා කැක්කුම වැඩිවීම
ඇස්වලට යටින් ඇතිවන තද කැක්කුම හා එලිය බැලීමට ඇතිවන අපහසුගතිය
හනුවල හා දත්වල ඇතිවන කැක්කුම
තද නිදිමතගතිය
කන් අගුල් වැටීම
මූඛයෙන් දුගද වහනය වීම
රස නොදැනීම
කටහඩේ ඇතිවන වෙනස්වීම්
ගෙලෙහි පිටුපසහි ඇතිවන කැක්කුම හා හිරකරනවා සේ දැනීම
යාන්තමට ඇතිවන උණ ගතිය හා ඇගට පණ නැති ගතිය
උගුර ප‍්‍රදේශය සෙම බැදී තිබීම හා දැවිල්ල සමග ඇතිවන කැක්කුම

සයිනුසයිටිස් ඇතිබවට නිගමනය කරන්නේ කෙසේද?

වෛද්‍යවරයා විසින් රෝග ඉතිහාසය හා ලක්ෂණ පරීක්ෂාකර බැලීමකින් නිගමනයකට එනු ලැබේ. සමහර අවස්ථාවලදී මුහුණ ප‍්‍රදේශයේ එක්ස්-රේ පරීක්ෂණයක් සිදුකරනු ලැබේ

මේ සදහා ප‍්‍රථිකාර නොකර සිටියහොත් කුමක් සිදුවේද?

දීර්ඝකාලිනව පවතින සයිනුසයිටිස් තත්වයක් දක්වා වර්ධනය වීම මෙවැනි තත්ව වලට ඉතා දීර්ඝ කාලයක් ප‍්‍රථිකාර ගැනීමට අවශ්‍ය වේ.
නාස් කුහර ආශ‍්‍රිතව ඇති අස්ථිවලට විෂබීජ ඇතුලුවීම හා කාලාතුරකින් මෙම කුහර හරහා මොලයට විෂබීජ ඇතුලුවීම

මේ සදහා ප‍්‍රථිකාරකරනුයේ කෙසේද?

වෛද්‍යවරයා විසින් පවතින ස්වභාවය අනුව
විෂබීජනාශක ඖෂධ
වේදනා නාශක
නාසයේ ඇති සිරවීම් ගතිය නැතිකිරීමට නාසයට දමන ඖෂධ නියම කරනු ඇත
මෙහිදී වෛද්‍ය උපදෙස් අනුව පමණක් ඖෂධ පාවිච්චි කලයුතුවේ.

දීර්ඝකාලීනව පවතින තත්ව වලදී ශල්‍යකර්ම මගින් නාලවල අවහිරතා ඉවත් කර කුහරවල පිරී ඇති සෙම ඉවත් කිරීමට සිදුවේ.

සයිනුසයිටිස් ඇති අයෙකු එය නැවත නැවත ඇතිවීම වලක්වා ගන්නේ කෙසේද?

දුම්වැටිවලින් පිටවන දුම්, පෙට්‍රෝලියම්, දුහුවිලි වැනි දේවල් ආඝ‍්‍රානය වීම අවම කිරීම.

විදුලි පංකාවෙන්, වායුසමන යන්ත‍්‍රවලින් එන සුලග කෙලින්ම මුහුණට වැදීමෙන් වැලැක්වීම.

වාහනවල ගමන්කරන විට ජනේලයෙන් එන සුලග මුහුණට කෙලින්ම වැදීමෙන් වැලැක්වීම.

වායුසමනය කරන යන්ත‍්‍රවල දුහුවිලි බැදී ඇත්නම් විශේෂයෙන් වාහනවල ඒවා ඉවත් කිරීම.

ඉතාවියලි(වාතයේ ආර්ද‍්‍රතාව අඩු )තත්ව වලදී සයිනුසයිටිස් තත්ව ඇතිවීමට වැඩි හැකියාවක් ඇත. විශෙෂයෙන් වායු සමනයකරන යන්ත‍්‍ර භාවිතා කිරීමේදී මෙම තත්වය ඇතිවේ. මෙහිදී නාස් කුහරය තුල තෙත්වතබාගැනීමෙන් තත්වය යම්දුරකට පාලනය කල හැක. මේ සදහා සේලයින් ස්පේ‍්‍ර වැනි දේවල් ඇති අතර පහසුම ක‍්‍රමය වනුයේ තෙත් ලේන්සුවකින් වරින් වර නාස් කෙලවර තෙත්කර දැමීමයි.

පිහිනුම් තටාක වල වැඩිකාලයක් සිටීමද යම් බලපෑමක් ඇතිකරයි. ඊට හේතුව වන්නේ ක්ලෝරිනීකෘත ජලය නාස්කුහරය තුල ඇති සෛල බිත්තිය කෙරෙහි ඇතිකරන බලපෑමයි.

සෙම්ප‍්‍රතිශ්‍යාව වැඩිකාලයක් පවතින්නේ නම් ඊට වෛද්‍ය උපදෙස් ලබාගැනීම.

යාන්තමට නාසය හිරවීමක් ඇතිවන්නේ නම් සෝදා හැරීම හා තවදුරටත් පවතින්නේ නම් ජලවාෂ්ප ඇල්ලීමෙන් සංකීර්ණ තත්වයක් දක්වා වර්ධනය වීම වැලැක්විය හැක.

හොදින් දියර වර්ග පානය කිරීම. එමගින් ස‍්‍රාවී තරලයන් ගේ උකුගතිය අඩු වී නාල හරහා ගමන් කිරීම පහසූවේ.

ලිපිය පළකල දිනය Article uploaded on: 24/07/2013
මෙම දැනුම ඔබේ යහළුවන් අතරේත් බෙදාගන්න

ඔබ ලෙඩරෝග පිළිබඳ දැනුවත්ද?

එන්න, දැනුම මැනල බලමු සියලුම ගැටළු