ශරීරයේ ඇතිවන පිලිකා (Cancer)

ශරීරයේ සෛල සාමාන්‍ය ලෙස වර්ධනය වන්නේ කෙසේද?

උත්පත්තියේ සිට ශරීරයේ වර්ධනය වීමත් සමග ශරීරය තැනී ඇති සෛල සංඛ්‍යාව මෙන්ම සෛලවල ප‍්‍රමානයද ක‍්‍රමයෙන් වැඩිවේ. නමුත් ස්නායු සෛල, හෘදයේ සෛල හා මාංශ පේෂී සෑදී ඇති සෛල ප‍්‍රමානයෙන් විශාල වුවද සංඛ්‍යාවෙන් වැඩි නොවේ. එබැවින් හෘදයට ,මොලයට හා මාංශපේශී වලට හානියක් සිදුවුවහොත් හා එම සෛල යම් කොටසක් විනාශ වුවහොත් එම කොටස නැවත වර්ධනයක් සිදූ නොවේ.
අනෙකුත් ශරීරයේ කොටස් වල සෛල සංඛ්‍යාවෙන් වර්ධනයක් සිදුවීමේදී ඒ සෑම සෛලයක්ම මව් සෛලයට නැතහොත් මුලින් වු සෛලයට සෑම අතකින්ම සමානවේ.
මෙම කි‍්‍රයාවලිය සිදුවීමේදී සෛල වැඩිවන වේගය පාලනය කිරීමට, මව් සෛලයට ඉතා අල්පමාත‍්‍රවූ හො වෙනසක් ඇති සෛල ඉවත් කිරීමට මෙන්ම අදාල ශරීර කොටසේ හැඩය පවත්වාගැනීමට ඉවහල්වන කි‍්‍රයාවලි පාලනයට සෛල තුල වු ජාන මහගු කාර්යක් ඉටු කරයි.

ශරීරයේ වූ සෛල අසාමාන්‍ය වර්ධනයක් වන්නේ කෙසේද?

ඉහත සදහන් කරන ලද සෛල වර්ධනයේ කි‍්‍රයාවලියන් පාලනය කරන ජානවල යම් වෙනසක් සිදු වූවහොත් සෛල අසාමාන්‍ය වර්ධනයක් විය හැක. එහිදී පාලනයකින් තොරව සෛල වර්ධනය වී එම ස්ථානයේ ගෙඩියක් ඇතිවීය හැක.

ජානයක් යනු කුමක්ද?

සෛල තුල DNA නැමති ඉලිප්සාකාර ලෙස සැකසුනු රසායනික අනු වර්ගයක් පිහිටා ඇත. එහි වු එක් එක් කොටස් මගින් ජානයන් නිරූපනය කරයි මෙම ජාන මගින් සෛල වල සම්පූර්න කි‍්‍රයාවලියන් පාලනය කරයි.

මෙම ජානයන්ට හානි සිදුවුවහොත් කුමක් සිදුවේද?

සෛල විනාශ වී යාම, එහි කි‍්‍රයාකාරීත්වයන් වෙනස් වීම හෝ අසාමාන්‍ය ලෙස වර්ධනය විම විය හැක. අසාමාන්‍ය ලෙස වර්ධනය වී ගෙඩි හට ගැනීමට හැකියාව ඇත.
ඒවාගෙන් සමහරක් පිලිකා වන අතර අනෙක්වා පිලිකා නොවන ගෙඩි වේ.

මෙවැනි ජාන ව්‍යාකූලතා ඇතිවිය හැකි ආකාර මොනවාද?

උත්පත්තියේ සිට ඇතිවන ජාන විකෘතිතා
මෙවැනි තත්වවලදී කුඩාකලදීම පිලිකා මෙන්ම පිලිකා නොවන තත්ව ඇතිවිය හැක
උදා :
-
වකුගඩු ආශි‍්‍රතව ඇතිවන ගෙඩි
- ලියුකීමියා තත්ව
- මොලයේ ඇතිවන ගෙඩි
- ඇස තුල ඇතිවන ගෙඩි

දීර්ඝ කාලීනව සිදුවන පිලිකා කාරක වලට නිරාවරනය වීම
උදාඃ
- රසායනික ද‍්‍රව්‍ය
- දුම්වැටිවල ඇති තාර හා නිකොටින්
-
මධ්‍යසාර
- කෘමි සතුන් මර්දනය සදහා භාවිතා කරන රසායන ද්‍රව්‍ය
- පිරිසිදු කිරීම් සදහා භාවිතා කරන නොයෙකුත් රසායනික ද්‍රව්‍ය උදාඃ රෙදි පිරිසිදු කිරීම හා පිගන් කෝප්ප පිරිසිදු කිරීමට ගන්නා නොයෙකු දේවල් ( මේවා භාවිතා කරන්නේ නම් ඉතා පරිස්සමින් භාවිතාකල යුතු අතර හොදින් සෝදා හැරීම කල යුතුය. නැතහොත් ඒවා කෑම වලට මිශ‍්‍රවීමට ඇති හැකියාව වැඩිය)
- දුම භාවිතාකර පිසින ආහාර ( උදා මස් වගී චීස්වල බහා මෙසේ දුම උපයෝගීකරගෙන පිසිනු ලැබේ. මේවා රසින් වැඩි වුවද මෙහි අන්තර්ගත පිලිකාකාරක ඉතා විශාල ප‍්‍රමාණවලින් ඇත. එය බොහොමයක් බඩවැල් හා ආමාශය ආශ‍්‍රිත පිලිකා ඇතිකරයි)
- ඇස්බැස්ටෝස් කුඩු ශරීරගත වීම
- ආසනික් සහිත රසායනික ද්‍රව්‍ය
- ටින්කල ආහාර දීරඝ කාලීනව ගැනීම
- පරණ වු ධාන්‍යවල ඇතිවන දිලීරයක් නිසා හටගන්නා විෂ සහිත රසායනික (Afla toxin)
-
භෞතික දේවල්
උදාඃ - UV කිරන
- අනෙකුත් විකිරන

-
විෂබීජ තත්ව
උදාඃ - හෙපටයිටිස්
- HIV
-
පැපිලෝමා වයිරස්
- ආමාශයේ ඇතිවෙන හෙලිකොබැක්ටර් පයිලොරස් බැක්ටීරියාව

පිලිකාවක් හා පිලිකාවක් නොවන ගෙඩියක ඇති වෙනස්කම් මොනවාද?

පිලිකාවක් නොවන ගෙඩි
- වර්ධනය සෙමින් සිදුවේ.
- අසල ඇති අනෙකුත් පටකවලට කාවැදීමක් සිදු නොවේ.
- එහි සෛල ගැලවී ශරීරයේ අනෙකුත් තැන් වලට පැතිරීයාමක් සිදු නොවේ.
- ඉතාම කලාතුරකින් පිලිකාවක් බවට පත්විය හැක.
- ශල්‍යකර්මයකින් ඉවත්කල පසු නැවත ඇතිවීමේ අවධානමක් නැත.


පිලිකාමය ගෙඩි
- ඉතා වේගයෙන් වර්ධනය වේ.
- අවට ඇති අනෙකුත් පටක වලට කාවදී.
- කැක්කුම ඇතිකරයි.
- සෛල ගැලවී රුධිරවාහිනී පද්ධතිය,වසාපද්ධතිය හරහා ශරීරයේ වෙනත් තැන්වලට ගමන්කර ඒ තැන්වල ගෙඩි ඇතිකරයි.
- එහි කි‍්‍රයාකාරීත්වය වැඩි නිසා නව රුධිරවාහිනී ඇතිවීමත් එමගින් ශරීරයේ බොහොමයක් පෝෂණ ගුණයන් එහි වර්ධනයට යොදා ගනී. එබැවින් ශරීරය දුර්වල වීම හා කෙට්ටුවීම විය හැක.

ලිපිය පළකල දිනය Article uploaded on: 21/06/2013
මෙම දැනුම ඔබේ යහළුවන් අතරේත් බෙදාගන්න

ඔබ ලෙඩරෝග පිළිබඳ දැනුවත්ද?

එන්න, දැනුම මැනල බලමු සියලුම ගැටළු