වකුගඩු නරක් වීම (Renal Failure)

වකුගඩු වලින් ශරීරයේ කරනු ලබන කාර්යයන් මොනවාද?

ශරීරයේ පරිවෘත්තිය ක‍්‍රියාවලියෙන් නොයෙකුත් අපද්‍රව්‍ය සෑදේ. බොහොමයක් එම අපද්‍රව්‍ය පිටකරනු ලබන්නේ වකුගඩු වලින් පෙරෙන මුත‍්‍රා සමඟ වේ. එබැවින් වකුගඩු වල සිදුවන යම් ක‍්‍රියාකාරිත්වයේ දෝෂයකදී මෙම අපද්‍රව්‍ය ශරීරය තුල එකතුවීම සිදුවේ. එසේ වැඩි වශයෙන් ඒවා එකතුවූ විට ශරීරයට විෂ සහිත වන අතර නොයෙකුත් අතුරු ආබාධ ද ඇති කරයි.
මෙම බහිස‍්‍රාවීය ක‍්‍රියාවලියට අමතරව රතු රුධිරාණු නිපදවීමට අවශ්‍ය හෝමෝන වර්ග ද වකුගඩුවේ නිපදවේ.

වකුගඩු නරක් වීමට හේතු මොනවාද?

- වකුගඩු වලට රුධිර සැපයුමේ වන අවහිරතා
- ශරීරයේ සිදුවන ලේ කැටිගැසීමේ අවස්ථා (රුධිර පාරවිලනයේදී වැනි)
- විෂබීජ තත්වයන්
- විෂ රසායනික ද්‍රව්‍ය නිසා
- මුත‍්‍රා මාර්ගය අවහිර වීම.
- දිය වැඩියාව, අධික රුධිර පීඩනය වැනි රෝගී තත්වයන් ආදී විවිධ හේතූන් වකුගඩු අක‍්‍රිය වීමට හේතු කාරක වේ.

වකුගඩු නරක්වීම නිසා එන රෝග ලක්‍ෂණ මොනවාද?

- මුත‍්‍රා පිටවන ප‍්‍රමාණය අඩුවීම හෝ එහි අවසාන භාගයේදී පිටවන ප‍්‍රමාණය අධික වීමද විය හැක.
- සිරුරේ ඇතිවන අප‍්‍රාණික බව
- ආහාර අප‍්‍රියතාව
- මලපහ සමග රුධිරය පිටවීම.
- ශරීරය ඉදිමීම
ආදිය ප‍්‍රධාන වශයෙන් දැකිය හැකි රෝග ලක්‍ෂණ වේ.

වකුගඩු නරක්වීම හඳුනාගැනීම සඳහා ඇති පරීක්‍ෂණ මොනවාද?

- මුත‍්‍රා පරීක්‍ෂණ
- රුධිර පරීක්‍ෂණ
- ස්කෑන් පරීක්‍ෂණ
මඟින් වකුගඩු නරක් වී ඇති බවට තහවුරු කරගත හැක.

වකුගඩු නරක් වූ විට ඇති ප‍්‍රථිකාර මොනවාද?

මෙය එකවර වූ වකුගඩුවේ අඩපන වීමක් නම් (උදා: අධික රුධිර වහනයකින් පසු, අධික ලෙස වමනය යාම, ශල්‍යකර්මයකට පසු ආදී) බොහෝවිට සාමාන්‍ය ප‍්‍රථිකාර වලින් යථා තත්වයට පත්වේ. එසේ පත් නොවුයේ නම් වකුගඩු වල ක‍්‍රියාකාරිත්වයට හා සමාන ක‍්‍රියාවලියක් කෘතිමව සිදුකල යුතුවේ. එය ඩයලිසිස් (Dialysis) යනුවෙන් හැඳින්වේ.

ඩයලිසිස් (Dialysis) කල හැකි ක‍්‍රම 2ක් ඇත.
1. පෙරිටෝනියල් ඩයලිසිස් (Peritoneal Dialysis)
2. හීමො ඩයලිසිස් (Hemo Dialysis)
මෙම ක‍්‍රියාවලි 2ක අධික වියදම් සහිත වන අතර දීර්ඝ කාලීනව කිරීමේදී යම් යම් ව්‍යාකූලතා ඇතිවේ. සාමාන්‍යයෙන් වකුගඩුවක් යථා තත්වයට පත්වේ යැයි අනුමාන කරන අවස්ථාවකදී මෙම ක‍්‍රම භාවිතා කරයි.
එසේ නොවන අවස්ථාවකදී වකුගඩුවක් බද්ධ කිරීම ඇති අනෙක් ක‍්‍රමයයි. බොහෝවිට වකුගඩුවක් බද්ධකිරීමේ ශල්‍යකර්මයේ පොරොත්තු ලේඛනයේ සිටින රෝගීන් ඉහත කී ක‍්‍රම මඟින් වකුගඩුවේ ක‍්‍රියාකාරිත්වය සිදුකරවා ගැනීම කරනු ලබයි.

ලිපිය පළකල දිනය Article uploaded on: 24/03/2013
මෙම දැනුම ඔබේ යහළුවන් අතරේත් බෙදාගන්න

ඔබ ලෙඩරෝග පිළිබඳ දැනුවත්ද?

එන්න, දැනුම මැනල බලමු සියලුම ගැටළු