මුත‍්‍රා මාර්ගයේ ඇතිවන විෂබීජ (Urinary tract infection)

මුත‍්‍රා මාර්ගයේ විෂ බීජ ඇතිවීමට හේතු මොනවාද?

වකුගඩු වලින් පිටකරන මුත‍්‍රා මුත‍්‍රා මාර්ගය දිගේ ගමන් කර එළියට ඒම සිදුවේ. මුත‍්‍රා මාර්ගයට විෂබීජ ඇතුළු වුවහොත් එම විෂබීජ වකුගඩු දක්වාම ගමන්කල හැක.

- විශේෂයෙන් මුත‍්‍රාශයේ මුත‍්‍රා සම්පූර්ණයෙන් පිටකල නොහැකි වීම. උදාහරණයක් ලෙස පුරස්ථ ග්‍රන්ථිය (Prostate) විශාල වීම.
- මුත‍්‍රා මාර්ගයේ ගල් ඇතිවීම.
- සමාජ රෝග තත්වයන් හා සමහර ලිංගික ක‍්‍රියාකාරකම්
- අපිරිසිදුකම (ඉකිලි ප‍්‍රදේශය, ලිංගික අවයව හා ගුදය අවට අපිරිසිදුකම හා යට ඇඳුම් වල ඇති අපිරිසිදු බව)
- මුත‍්‍රා බට දමා තිබීම.
- මුත‍්‍රා පිටකිරීමේ ක‍්‍රියාවලියට දායකවන ස්නායුවලට හානිවී තිබීම. එබැවින් මුත‍්‍රාශයේ මුත‍්‍රා රැදී තිබීම සිදුවේ.
- ගර්භනී තත්ව වලදීද මුත‍්‍රා මාර්ගයට විෂබීජ එකතුවීමට වැඩි සම්භාවිතාවක් ඇත.
- උත්පත්තියේ සිට මුත‍්‍රා මාර්ගයේ ඇති යම් යම් අසාමාන්‍යතා

මුත‍්‍රාවලට විෂබීජ ඇතුළු වීම නිසා ඇතිවන රෝග ලක්‍ෂණ මොනවාද?

⋆ මුත‍්‍රා දැවිල්ල
⋆ නිතර නිතර මුත‍්‍රාකල යුතු වීම.
⋆ නොදැනීම මුත‍්‍රා පිටවීම.
⋆ මෙහිදී එක්වරකට ඉතා ස්වල්ප ප‍්‍රමාණයක් පිටවේ.
⋆ මුත‍්‍රාවල පැහැයේ ඇතිවන වෙනස් කම්
⋆ යටි බඬේ කැක්කුම හෝ කොන්දේ කැක්කුම ඇතිවීම.
⋆ වෙව්ලා උණ ගැනීම.
⋆ ඇගපත වේදනාව, කෑම අරුචිය, වමනය යාම
මෙම ලක්‍ෂණ වැඩිපුර දැකිය හැක.

මුත‍්‍රාවල විෂබීජ ඇත්දැයි පරීක්‍ෂා කරන්නේ කෙසේද?

- මුත‍්‍රා සාම්පලයක් පරීක්‍ෂා කිරීම මඟින් බොහෝවිට මුත‍්‍රා වල විෂබීජ තත්වයක් ඇත්දැයි කිව හැක.
- මීට අමතරව වකුගඩු වලට විෂබීජ ගොස් ඇතැයි අනුමාන කරන අවස්ථාවලදී ස්කෑන් පරීක්‍ෂණයක් කිරීම මඟින් නිගමනයකට එළබිය හැක.
- අනෙකුත් පරීක්‍ෂණ විශේෂයෙන් CT පරීක්‍ෂණ, MRI පරීක්‍ෂණ ආදිය විශේෂ අවස්ථාවලදී පමණක් කරනු ලැබේ.

මෙවැනි තත්වයකදී ප‍්‍රථිකාර කරනු ලබන්නේ කෙසේද ?

මුත‍්‍රා පරීක්‍ෂණ මඟින් අදාල විෂබීජය හරියාකාරව හඳුනාගෙන ඊට සරිලන ප‍්‍රතිජීවක (Antibiotics) දීම සිදුකරයි.

මුත‍්‍රා වලට විෂබීජ ඇතුළුවීම නිසා ශල්‍යකර්ම කරන අවස්ථා තිබේද?

- වකුගඩු දක්වාම විෂබීජ ගමන්කර ඇති අවස්ථාවලදී එහි සැරව පිරුණු ගෙඩි ඇතිවිය හැක. එවැනි අවස්ථාවලදී ශල්‍යකර්මයකින් සැරව අයින් කිරීම අවශ්‍යවිය හැක.
- නිතර නිතර මුත‍්‍රාවල විෂබීජ ඇතිවන්නේ මුත‍්‍රා මාර්ගයේ ඇති අවහිරතාවයක් හෝ ගල් නිසා වේ නම් ශල්‍යකර්ම මඟින් එම අවස්ථා යථා තත්වයට පත්කල යුතුය.

මුත‍්‍රා මාර්ගයේ විෂබීජ තත්ව ඇතිවීම වලක්වා ගන්නේ කෙසේද?

- හොඳින් පිරිසිදු ජලය පානය කිරීම.
- මුත‍්‍රා කිරීමට අවශ්‍ය වූ විට බොහෝ වේලාවක් එය පාලනය කරගෙන සිටීමෙන් වලකින්න.
- ලිංගික ක‍්‍රියාකාරකම් වලට පසු මුත‍්‍රා කරන්න. එවිට මුත‍්‍රා මාර්ගයට එකතු වූ විවිධ ලිංගික ස‍්‍රාවයන් සේදී යාමක් සිදුවේ.
- කපුවලින් සැකසූ හිරගතියක් නැති යට ඇඳුම් භාවිතා කරන්න.
- පිරිසිදු යට ඇඳුම් සෑම විටම පාවිච්චි කරන්න.
- ඉකිලි ප‍්‍රදේශය, ලිංගික අවයව ප‍්‍රදේශය හා ගුදය අවට පිරිසිදුව තබාගන්න. තෙත් ගතිය තිබේනම් තෙත මාත්තු කරන්න.
- සමහර පවුල් සැලසුම් ක‍්‍රම උදා: ස්ත‍්‍රීන්ගේ කොන්ඩම් ආදිය මඟින් විෂබීජ තත්වයන් ඇතිවීමේ අවධානමක් තිබිය හැක. එවැනි අවස්ථාවල නිතර නිතර මුත‍්‍රා මාර්ගයේ විෂබීජ ඇතිවේ නම් වෙනත් පවුල් සැලසුම් ක‍්‍රමයකට යොමුවිය යුතුය.
- සමාජ රෝග ඇත්නම් නියමිත ප‍්‍රථිකාර ලබාගන්න.

ලිපිය පළකල දිනය Article uploaded on: 24/03/2013
මෙම දැනුම ඔබේ යහළුවන් අතරේත් බෙදාගන්න

ඔබ ලෙඩරෝග පිළිබඳ දැනුවත්ද?

එන්න, දැනුම මැනල බලමු සියලුම ගැටළු