ගලනාලය ආශ‍්‍රිතව ඇතිවන පිලිකා (Esophageal cancer)

ගලනාලය යනු කුමක්ද?

මුඛය, උගුර ප‍්‍රදේශය හා ආමාශය යා කරන බටයක ආකාරයේ ව්‍යූහයකි.

ගලනාලයේ පිලිකා ලංකාවේ බහුලව තිබේද?

වැඩිපුර දක්නට ලැබෙන පිලිකා අතුරෙන් හතරවෙනි ස්ථානයේ ඇත්තේ ගලනාලයේ ඇතිවන පිලිකාවේ.

ගලනාලයේ පිලිකා ඇතිවීමට හේතු මොනවාද?

ගලනාලයේ පිළිකා වැඩිපුර දක්නට ලැබෙන්නේ වැඩිහිටි හා මහළු වයසේදී වේ. මධ්‍යසාර හා දුම්පානය ගලනාලයේ පිලිකා ඇතිවීමට හේතුකාරක වන ප‍්‍රධාන සාධක වේ. මීට අමතරව ආමාශයේ ආම්ලික යුෂ විවිධ හේතු මත ආපසු ගලනාලය වෙත නිතර නිතර පැමිණීම ((GORD) - උගුරට ඒම), ගලනාලයේ පහළම කෙලවර ඇතිවන ව්‍යාකූල තත්වයන්, දීර්ඝ කාලීනව පිලිකා සඳහා වැඩි අවධානමක් ඇත.

ගලනාලයේ පිලිකා නිසා ඇතිවන රෝග ලක්‍ෂණ මොනවාද?

පිලිකාව නිසා ගලනාලයේ මාර්ගය අවහිර වීම නිසා රෝග ලක්‍ෂණ බොහොමයක් මතුවේ.
- ආහාර ගිලීමේ අපහසුතාව
- ගිලින ලද ආහාර නැවත උගුරට ඒම.
- මුඛයෙන් ඇතිවන දැඩි දුඟද (ගිලින ලද ආහාර මඟ රැදීම නිසා)
- ආහාර ගිලින විට දැනෙන පපුවේ දැඩි වේදනාව
- කලාතුරකින් ලේ වමනය යාම.
- කෑම රුචිය ඇතත් බර සැලකිය යුතු ලෙස අඩුවීම.

වෛද්‍යවරයෙකුගේ උපදෙස් පැතිය යුත්තේ කුමන අවස්ථාවේද?

කිසියම් ගිලීමේ අපහසුතාවයක් ඇතිනම් වෛද්‍යවරයෙකුගේ උපදෙස් පැතීම ඉතාම යෝග්‍ය වේ. ගිලීමේ අපහසුතාවය දින කිහිපයකින් යථා තත්වයට නොපැමිණේ නම් හෝ එය ක‍්‍රමයෙන් වැඞ්වේ නම් විශේෂයෙන් සැලකිය යුතුවේ.
සාමාන්‍යයෙන් පිලිකාවක් නිසා ගිලීමේ අපහසුතාවයක් පැන නගින්නේ එම මාර්ගයෙන් 50%ක් පමණ අවහිර වූ විට වීම, මුලින් රෝගය හඳුනාගැනීමට ඇති ප‍්‍රධාන බාධකයයි.

මේ සඳහා කරනු ලබන පරීක්‍ෂණ මොනවාද?

එන්ඩොස් කොපි පරීක්‍ෂණයක් මඟින් මෙම තත්වය හඳුනාගත හැක.
මීට අමතරව පිලිකාවක් හඳුනා ගත්තේ නම් ප‍්‍රතිකාර ක‍්‍රමයට පෙර පිලිකාව කොතෙක් දුරට පැතිරී ඇත්දැයි දැනගැනීමට CT පරීක්‍ෂණ, MRI පරීක්‍ෂණ ආදිය කරනු ලැබේ.

මේ සඳහා ඇති ප‍්‍රතිකාර ක‍්‍රම මොනවාද?

මෙම පිලිකාව පැතිරී නැත්නම් ශල්‍යකර්මයක් මඟින් ගලනාලය ඉවත්කිරීම ඇති හොඳම ප‍්‍රතිකාර ක‍්‍රමයයි.
මීට අමතරව පැතිරී ඇති ප‍්‍රමාණය අනුව ශල්‍යකර්මයට පෙර හා පසුව විකිරණ ප‍්‍රතිකාරය හා කීමෝතෙරපි ප‍්‍රතිකාරය දීමද සිදුකෙරේ. පිලිකාව පැතිරීමේ උපරිම අවස්ථාවේ ඇත්නම් බොහෝ අවස්ථාවේදී ශල්‍යකර්මයක් සිදුකිරීම අපහසුවන අතර විකිරණ ප‍්‍රතිකාරය හා කීමෝතෙරපි ප‍්‍රථිකාරය පමණක් ලබාදේ.

මීට අමතරව එම රෝගීන්ගේ ගිලීම පහසුකිරීම සඳහා ගලනාලයේ මාර්ගය විශාල කිරීම එන්ඩොස්කොපි මාර්ගයෙන් කිරීමද කල හැක. මෙම ප‍්‍රතිකාර ක‍්‍රම හුදෙක් රෝගය සුවකිරීමේ අදහසින් නොව රෝගියාගේ අවසාන භාගය පහසුවෙන් ගතකිරීමට සැලැස්වීම සඳහා කරනු ලැබේ.

ගලනාලයේ පිලිකාවකට ප‍්‍රතිකාර කිරීමෙන් පසු පසුකාලීනව ඇතිවන ප‍්‍රශ්ණ මොනවාද?

පිලිකාවක් මුලින් හඳුනාගත්තේ නම් පිලිකාව සම්පූර්ණයෙන් ඉවත්කිරීමෙන් සාමාන්‍ය ආයුකාලයක් ජීවත් විය හැක. නමුත් පිලිකාවක් පැතිරී තිබුනේනම් ප‍්‍රතිකාරයෙන් පසුව වුවද කෙටිකලකින් ( අවු. 2කින් පමණ) එය නැවත මතුවීමට වැඩි ඉඩකඩ ඇත.

ගලනාලයේ පිලිකා වලක්වා ගැනීමට ගතහැකි ක‍්‍රියාමාර්ග මොනවාද?

⋆ දුම්පානයෙන් ඈත්වීම.
⋆ මධ්‍යසාර භාවිතය නැවැත්වීම හෝ අවම කිරීම.
⋆ නිතර නිතර කෑම උගුරට ඒම/ උදරයේ දැවිල්ල ඇතිනම් එයට නිසි ප‍්‍රතිකාර ගැනීම.

ලිපිය පළකල දිනය Article uploaded on: 24/04/2024
මෙම දැනුම ඔබේ යහළුවන් අතරේත් බෙදාගන්න

ඔබ ලෙඩරෝග පිළිබඳ දැනුවත්ද?

එන්න, දැනුම මැනල බලමු සියලුම ගැටළු