ගලනාලයේ නහර ගැටගැසීම හා ඒවායින් ලේ ගැලීම (Oesophageal Varices) )

මෙම තත්වය මඟින් කුමක් අදහස් කෙරේද?

මෙහිදී සිදුවන්නේ අර්ශස් වල ආකාරයටම ගලනාලය හා ආමාශය සම්භන්ධ වන ස්ථාන වලදී නොයෙකුත් හේතු නිසා නහර ගැටගැසීම සිදුවේ. යම් අවස්ථාවලදී එසේ ගැටගැසුන නහර වල බිත්ති බිදී ලේ ගැලීම සිදුවිය හැක.

මේ තත්වයට හේතු මොනවාද?

සිරොසිස් (Cirrosis) නිසා මෙය බහුලව සිදුවේ. සිරොසිස් මඟින් අක්මාවේ ඇති බොහොමයක් රුධිරවාහිනී අවහිර කරයි. එම නිසා ගලනාලයේ හා ආමාශයේ සිට එන යම් ප‍්‍රමාණයක රුධිර ප‍්‍රමාණයක් අක්මාව හරහා හෘදය වෙත ගැලීමට බාධා ඇති කරයි.
එහිදී ඇතිවන පීඩනය නිසා රුධිරවාහිනී විශාල වීමක් හා ගැටගැසීමක් සිදුව ඒවා පුපුරායාමක් විය හැකිය.

මෙහිදී එන රෝගී ලක්‍ෂණ මොනවාද?

- ලේ වමනය යාම. (සුළු ප‍්‍රමාණයක් හෝ විශාල වශයෙන්)
- මලපහ තාර පැහැයක් ගැනීම. (ගැලූ රුධිරය මලපහ සමඟ එකතු වීම නිසා)
- රක්තහීනතාව (සුළු වශයෙන් දීර්ඝ කාලයක් රුධිර වහනය නිසා)
- ක්ලාන්තය, කරකැවිල්ල
- අක්මාව දුර්වල වීම නිසා එන රෝගී ලක්‍ෂණ
⋆ ඉදිමීම
⋆ ශරීරය කහවීම / කැසීම
⋆ උදරයේ වතුර එකතු වීම

වෛද්‍යවරයෙකුගේ උපදෙස් පැතිය යුත්තේ කුමන අවස්ථා වලදීද?

ඉතා ස්වල්ප වශයෙන් හෝ ලේ වමනය ගියහොත් වහාම රෝහල්ගත විය යුතුය.

මේ සඳහා ඇති පරීක්‍ෂණ මොනවාද?

එන්ඩොස් කොපි පරීක්‍ෂණයක් මඟින් මෙය හඳුනාගත හැක. මීට අමතරව අක්මාවේ ක‍්‍රියාකාරිත්වය ගැන නිගමනය කිරීමට රුධිර පරීක්‍ෂාවක් හා ස්කෑන් පරීක්‍ෂණයක් කල යුතුවේ.

රෝහල් ගතකල අවස්ථාවකදී සිදුකරන පරීක්‍ෂණ මොනවාද?

1. රුධිර වහනය සැලකිය යුතුලෙස සිදුවේනම් හා රක්තහීනතාවයෙන් පෙලේ නම් රුධිර පාරවිලනය සිදුකරයි.

2. රුධිර වහනය වීම නැවැත්වීමට ඖෂධ ලබාදීම. එමඟින් නවතින්නේ නැතිනම් එන්ඩොස්කොපි මාර්ගයෙන් රුධිරය වහනය වීම නතර කිරීමට උත්සහ කිරීම.

3. ශල්‍යකර්මයක් මඟින් රුධිර වහනය නතරකිරීමට උත්සහ කිරීම. (ලේ වහනය වීමක් නොවන අවස්ථාවකදී)

4. ඖෂධ මඟින් ගලනාලය හා ආමාශය අතර ඇති නහර වල ඇති පීඩනය අඩුකිරීම.

5. එන්ඩොස්කොපි මාර්ගයෙන්
-
ගැටගැසුනු නහර හැකිලීමට ප‍්‍රතිකාර දීම. (sclerotherapy)
-
ගැටගැසුනු නහරවල කරමුලට රබර් බෑන්ඞ් දැමීම. එමඟින් එම ගැටගැසුනු නහර කෙළවර ප‍්‍රදේශ විනාශ වී යන අතර ලේ ගැලීම නතර වේ.
-
තවද ශල්‍යකර්මයක් මඟින් හෝ X-ray පහසුකම් යටතේ ලේ ගැලීම හරියාකාරව සිදුවීමට අළුතින් රුධිර මාර්ග සැකසීම. (Bypass)TIPS

6.
අක්මාවක් බද්ධ කිරීම.

⋆ එක්වරක් ලේ වමනය වූයේ නම් නැවත ලේ වමනය යාමට ඇති හැකියාව ඉතාමත් වැඩිය.

මෙම තත්වය ඇතිවීම හා ඇතිවූ තත්වය පාලනය කරන්නේ කෙසේද?

- සිරොසිස් තත්වයන් ඇතිවීමට තුඩුදෙන සෑම දෙයකින්ම වැලකිය යුතුය.
උදා: මධ්‍යසාර
- මෙම තත්වය ඇතිවු පුද්ගලයින් නොකඩවා නියම කරනු ලබන ඖෂධ ලබාගත යුතුය. කුමන අවස්ථාවක දී හෝ රුධිර වහනයක් වූයේ නම් (වමනය ලෙස හෝ මලපහ සමඟ) වහාම වෛද්‍ය උපදෙස් ලබාගත යුතුය.

ලිපිය පළකල දිනය Article uploaded on: 19/04/2024
මෙම දැනුම ඔබේ යහළුවන් අතරේත් බෙදාගන්න

ඔබ ලෙඩරෝග පිළිබඳ දැනුවත්ද?

එන්න, දැනුම මැනල බලමු සියලුම ගැටළු