උදරයේ දැවිල්ලට ඖෂධ ගැනීමේදී සැලකිය යුතු කරුණු

උදරයේ දැවිල්ලට දෙන ඖෂධ ක‍්‍රියාකරන්නේ කෙසේද?

උදරයේ දැවිල්ලෙ ප‍්‍රධානම සාධකය වන්නේ අමාශයේ සෑදෙන අම්ලයයි (ඇසිඞ්). නමුත් මෙම අම්ලය ආමාශයේ ආහාර ජීර්ණය කරන එන්සයිම වල ක‍්‍රියාකාරිත්වයට හා විෂ බීජ විනාශ කිරීමට විශාල මෙහෙයක් ඉටුකරයි.
මොනයම් හේතුවක් නිසා හෝ ආමාශයේ බිත්තියේ ඇතිවන ව්‍යාකූලතා නිසා සාමාන්‍ය ප‍්‍රමාණයට හැදෙන ඇසිඞ් මඟින් වුවද උදරයේ තද කැක්කුමක් ඇතිවේ. විශේෂයෙන් ආහාර ගන්නා කාල සීමාවේ ඇසිඞ් සෑදීම වැඩිවන අතර, එබැවින් බොහෝ රෝගීන්ට උදරයේ වේදනාව මෙම අවස්ථාවලදී වැඩියෙන් දැනේ.
එබැවින් උදරයේ දැවිල්ලට (බඬේ දැවිල්ලට) දෙන ඖෂධ වල ප‍්‍රධාන කාර්‍ය්‍යය වන්නේ ඇසිඞ් සෑදෙන ප‍්‍රමාණය අඩුකිරීම හෝ සෑදුන ඇසිඞ් උදාසීන කිරීම වන අතර සමහර ඖෂධ වර්ග ආමාශයේ බිත්තියේ ව්‍යාකූලතාව යථා තත්වයට පත්කිරීමටත් උදව් කරයි.

උදරයේ දැවිල්ලට බෙහෙත් ගත යුත්තේ කුමන වේලාවට ද?

ඉඳහිට සෑදෙන උදරයේ දැවිල්ල සඳහා ඖෂධ ගැනීම අවශ්‍ය නොවේ. නමුත් දෛනිකව හෝ ඉවසිය නොහැකි තරමේ වේදනාවක් ඇතිවෙන්නේ නම් ඖෂධ ගැනීම සුදුසු වේ. ඖෂධ ගැනීමට පෙර දැවිල්ල ඇතිවන වේලාව ගැන අවබෝධයක් තිබිය යුතුය. එය ආහාර ගෙන විනාඩි 30ත් පැයක් අතර කාලයකදී වන්නේ ද රාත‍්‍රියේ ඇතිවන්නේද යන්න පිළිබඳව දැන සිටීම ඉතා වැදගත්ය.
ආහාර ගැනීමෙන් විනාඩි 20-30 කට පසු ඖෂධ ගැනීමෙන් ඇතිවන උදරයේ දැවිල්ල සාර්ථක ලෙස අඩුකල හැකි අතර රාත‍්‍රියේ දී ඇතිවන උදරයේ දැවිල්ල සඳහා ඖෂධ රාත‍්‍රි ආහාර සමඟ නොගත යුතුය. එය නිදාගැනීමට පෙර ගැනීම වඩා යෝග්‍ය වේ.
ආහාර ගන්නා අවස්ථාවේ ඇතිවන දැවිල්ල සමනය සඳහා ඇසිඞ් ගතිය උදාසීන කරන ඖෂධ ආහාර ගැනීමට පෙර ගැනීම වඩා යෝග්‍යය වේ. උදා: මිල්ක් ඔෆ් මැග්නීසියා

වෛද්‍ය වරයෙකුගේ උපදෙස් පැතිය යුත්තේ කුමන අවස්ථාවලදී ද?

සමහර අවස්ථාවලදී උදරයේ දැවිල්ල ආමාශයේ ප‍්‍රශ්ණයක් නොමැතිව වෙනත් රෝගී තත්ව නිසාද මතුවිය හැක.
උදා: පිත්තාශයේ ගල්, හෘදයේ ව්‍යාකූලතා
එවැනි අවස්ථා වලදී උදරයේ දැවිල්ලට ගන්නා ඖෂධ වලින් රෝගී තත්වය සමනය නොවන අතර වහාම වෛද්‍යවරයෙකු හමුවිය යුතුය.

එසේම ආමාශයේ තුවාලයක් සෑදී ඇත්නම් සාමාන්‍ය උදරයේ දැවිල්ල සඳහා ගන්නා ඖෂධ මඟින් සුව නොවන අතර අධික‍්‍රියාකාරිත්වයෙන් යුතු ඖෂධ වෛද්‍යවරයෙකුගේ නියමයෙන් ලබාගත යුතුය.

උදරයේ සිදුවන පිපීම, වැසිකිලි යාමේ දී මලපහ තාර වැනි කළු පැහැයක් ගැනීම, ඔක්කාරය හා වමනය නිතර ඇතිවීම ආදී ලක්‍ෂණ මතුවූ විට වහාම වෛද්‍යවරයෙකුගේ උපදෙස් අවශ්‍ය වේ.

උදරයේ දැවිල්ල සඳහා ගන්නා ඖෂධ වලින් ශරීරයට හානිකර තත්ව ඇතිවේද?

සාමාන්‍යයෙන් භයානක හානිකර තත්ව ඇති නොවේ. නමුත් සමහර රෝගීන්ට සුළු ප‍්‍රශ්ණ පැන නැගිය හැක.
වෛද්‍යවරයෙකුගේ නියමයෙන් තොරව ෆාමසියෙන් කෙලින්ම ගන්නා ඖෂධ ප‍්‍රධාන වර්ග 3කින් සමන්විත වේ. මැග්නීසියම්, ඇළුමිනියම් හා කැල්සියම් යන සංයෝග මිශ‍්‍රණයන්ය.

1. ඇළුමිනියම් සහිත ඖෂධ වර්ග (Aludrox) මඟින්
-
සමහර රෝගීන්ට මලබද්ධය ඇතිකරයි.
-
අස්ථි දිරා යාමේ ප‍්‍රවනතාවයක් ඇත. (දීර්ඝ කාලයක් භාවිතාකිරීම මඟින්)

2. කැල්සියම් සහිත ඖෂධ වර්ග මඟින් දීර්ඝ කාලයක් ගතහොත්
-
මල බද්ධය
-
වකුගඩු ආශ‍්‍රිත ගල් සෑදීමට ඉතා කලාතුරකින් ප‍්‍රවණතාවයක් තිබිය හැක.

3. මැග්නීසියම් සහිත ඖෂධ වර්ග මඟින් කලාතුරකින් අතීසාර ගතියක් ඇතිවිය හැක.

4. මෙම මූලද්‍රව්‍ය නිසා අනෙකුත් ඖෂධ වර්ග ආහාර මාර්ගයේදී ශරීරයට උරාගැනීමට බාධා ඇතිවිය හැකි බැවින් උදරයේ දැවිල්ලට ගන්නා ඖෂධ ගෙන පැය 2-3කට පසු අදාල ඖෂධ ගැනීම කල යුතුය.

ලිපිය පළකල දිනය Article uploaded on: 25/04/2024
මෙම දැනුම ඔබේ යහළුවන් අතරේත් බෙදාගන්න

ඔබ ලෙඩරෝග පිළිබඳ දැනුවත්ද?

එන්න, දැනුම මැනල බලමු සියලුම ගැටළු