ගුද මාර්ගය අවට ඇතිවන සැරව ගෙඩි (Anorectal abscess)

ගුද මාර්ගය අවට ඇතිවන සැරව ගෙඩි යනුවෙන් අදහස් කරන්නේ මොනවාද?

නොයෙකුත් හේතුන් මත ඇතිවන විෂබීජ ක‍්‍රියාකාරිත්වය නිසා සැරව එකතුවීමකි.

මේ සඳහා හේතුවන කාරණා මොනවාද?

ප‍්‍රධානතම හේතු ලෙස
1. ගුද මාර්ගය අවට ඇති ස‍්‍රාවීය ග්‍රන්ථි වල ඇතිවන සිරවීම.

2. ගුදයෙහි පහළම ප‍්‍රදේශයේ ඇතිවන ඉරීම් ආශ‍්‍රිතව ඇතිවන විෂබීජ (තද ගතියෙන් යුත් මල පහ පිටකිරීමේදී ඇතිවන)

3. නොයෙකුත් සමාජ රෝග

මීට අමතරව කලාතුරකින් දැකිය හැකි Crohn's නැමති බඩවැල ආශ‍්‍රිතව ඇතිවන රෝගී තත්ව වලදීද විසරගෙඩි ඇතිවීමේ වැඩි සම්භාවිතාවක් ඇත.

මීට අමතරව අනෙකුත් හේතු කාරක
- දියවැඩියාව
- ගුද මාර්ගය ආශ‍්‍රිතව ඇතිවන පිළිකාමය තත්වයන් හා ඒවාට ලබාදෙන Chemotherapy or radiotheropy වැනි ප‍්‍රතිකාර ක‍්‍රම නිසා.
- දීර්ඝ කාලීනව ගන්නා සමහර ප‍්‍රතිකාර නිසා (උදා :steroids)
-
බඩවැල් ආශ‍්‍රිතව ඇතිවන සමහර ප‍්‍රදාහමය තත්වයන් නිසා (උදා: crohn's disease ulcerative colitis)
-
ගුද මාර්ගය ආශ‍්‍රිතව කෙරෙන විවිධ ලිංගික කි‍්‍රයාකාරකම් නිසා.
-
සිරුරේ ප‍්‍රතිශක්තිය හීනවීම. (HIV/AIDS)
-
පැම්පස් නිතරම පාවිච්චි කිරීමේදී කුඩා දරුවන්ගේද ඇතිවිය හැකිය.

මෙම තත්වයන් හදුනාගත හැක්කේ කෙසේද?

ගුද මාර්ගය ආශ‍්‍රිතව එන දැඩි වේදනාව හා ඉදිමීම ප‍්‍රධානම හදුනාගත හැකි ලක්‍ෂණය වේ.

මීට අමතරව
1. මල බද්ධය.
2. ගුද මාර්ගයෙන් සැරව ගැලීම.
3. ඇගම පණ නැතිගතිය.
4. වෙව්ලා උණ ගැනීම.
5. ගුද මාර්ගයෙහි පහළම කොටසේ සමහර විට ගෙඩියක් ලෙස මතුවීමට ද පුළුවන.

මේ සඳහා කරනු ලබන පරීක්‍ෂණ මොනවාද ?

මෙම තත්වයන් හිදී වෛද්‍ය වරයෙකුට පරීක්‍ෂාකර බලා නිගමනයකට බොහෝ විට එළබිය හැකිය. නමුත් අධික වේදනාව හේතුවෙන් සිහිනැති කර පරීක්‍ෂා කිරීම සමහර විට අවශ්‍ය වේ.(Examination under Anaesthesia )

මේ සඳහා ඇති ප‍්‍රතිකාර ක‍්‍රම මොනවා ද?

ශල්‍ය කර්මයක් මඟින් සැරව ගෙඩියේ පිරී ඇති සැරව අයින් කළ යුතුය.
⋆ මෙය බොහෝ විට සිහිනැති කර කරනු ලබයි. ඊට හේතුව වනුයේ එහි ඇති අධික වේදනාවයි.

ශල්‍ය කර්මයෙන් පසුව එදිනම හෝ පසු දින රෝහලින් පිටවිය හැකි නමුත් එසේ රෝහලින් පිටකිරීම නොයෙකුත් සාධක මත රදා පවතී. උදාහරනයක් වශයෙන් මේ සම්බන්ධව ඇති අනෙකුත් රෝගී තත්වයන් (දියවැඩියාව)
ශල්‍ය කර්මයකින් පසුව මද උණුසුම් වතුරේ විනාඩි 10-15 අතර කාලයක් ඉදගෙන සිටීම (sitz bath) මඟින් ඉඳිමීම, කැක්කුම අඩුකරන අතර ඉතිරිව ඇති සැරව පිටතට ඒමද පහසු කරයි. මෙම ශල්‍ය කර්මයේදී කිසිම මැහුම් දැමීමක් නොකරයි. වෛද්‍ය වරයා විසින් කැක්කුම අඩුවීමට හා විෂබීජ විනාශ කිරීම සඳහා ප‍්‍රථිජීවක(Antibiotics) ලබාදේ.

පිට වෙන මල පහ තද ගතියෙන් අඩුකිරීමට (stool softners) ප‍්‍රතිකාර ගත යුතුය.

ගුදය අවට සබන් දා සේදීම, තෙත මාන්තු කිරීම වැනි ක‍්‍රම මඟින් පිරිසිදුව තබාගත යුතුය.
තරමක් දුරට තුවාල හොඳවෙනකම් දියරමය ආහාර ගැනීම වැසිකිලි යාමේදී ඔබට පහසුවක් ඇතිකරයි.

මෙම ප‍්‍රතිකාර ක‍්‍රම මඟින් ඔබට ඉතා ඉක්මනින් සහනයක් ඇතිවේ.
ප‍්‍රතිකාර පරක්කු කිරීම නොයෙක් ප‍්‍රශ්ණ ඇතිකල හැක.
උදාහරණ ලෙස
1. ගුදය ආශ‍්‍රිතව දීර්ඝ කාලීනව දියර හෝ අසූචි පිටවන කුහර ඇතිවීම.(Anal fistula)
2. මුළු ශරීරය පුරාම විෂබීජ පැතිර යාම මඟින් ජීවිතයට ද හානිවනු තත්වයක් ඇතිවීම.
3. එක දිගට කැක්කුම ඇතිවීම.
4. නැවත නැවත මතුවීමට ඇති හැකියාව.

වෛද්‍ය වරයෙකු හමුවිය යුත්තේ කුමන අවස්ථාවේදීද?

ගුද මාර්ගයෙන් සැරව පිටවීම, කැක්කුම හෝ ඉහත විස්තර කල රෝගී තත්වයක් මතුවූ විට එයට ප‍්‍රතිකාර කිරීමෙන් පසුවද වෙව්ලා උණ ගැනීම, කැක්කුම අඩුනොවීම ආදී කරුණු නිසාද නැවත වෛද්‍ය වරයා මුණගැසිය යුතුය. ඊට හේතුව විය හැක්කේ තවදුරටත් සැරව ඉතිරිවී තිබීමයි.

මෙම තත්වයන් ඇතිවීම වලක්වා ගත හැක්කේ කෙසේද ?

- ගුද මාර්ගය අවට ඉතා පිරිසිදුව තබා ගැනීම. (සබන් දමා සේදීම, තෙත මාත්තු කර තිබීම.)
- සමාජ රෝග ඇතිනම් ඒ සඳහා ඉක්මනින් ප‍්‍රතිකාර ගැනීම.
-
අස්වාභාවික ලිංගික ක‍්‍රියාකාරකම් වලින් ඈත්වීම.
-
කුඩා ළමුන් ගේ පැම්පස් නිතර මාරුකිරීම හා පිරිසිදුව තබා ගැනීම.

ලිපිය පළකල දිනය Article uploaded on: 29/03/2013
මෙම දැනුම ඔබේ යහළුවන් අතරේත් බෙදාගන්න

ඔබ ලෙඩරෝග පිළිබඳ දැනුවත්ද?

එන්න, දැනුම මැනල බලමු සියලුම ගැටළු