අර්ශස් අමාරුව (Hemorrhoids)

අර්ශස් අමාරුව යනු කුමක්ද?

ගුද මාර්ගයේ හෝ ගුදයේ පහළම කොටසේ ඇති ශිරා වල ඉදිමීමක් ලෙස මෙය සරළව හැදින්විය හැක. මෙය කැක්කුම් සහිතව හෝ රහිතව මතුවිය හැකිය.

මේ සඳහා හේතු මොනවාද?

ගුදය හා ගුද මාර්ගය ආශි‍්‍රතව ඇති රුධිර වාහිනි වල ඇතිවන අධික පීඩනය මේ සඳහා බලපායි. මෙම පීඩනය හේතුවෙන් රුධිර වාහිනි ඉදිමීම, කැක්කුමක් සහිතව හෝ රහිතව සිදුවේ. යම් අවස්ථා වල පුපුරායාමෙන් ලේ වහනය වීමද සුලභව සිදුවේ.

මෙසේ පීඩනය වැඩිවීමට ප‍්‍රධානම හේතුව වන්නේ වැසිකිලි යාමේදී (මලපහ කිරීමේදී) අධික ලෙස තැටමීමයි.
ඒ සඳහා හේතු ලෙස
-
මලබද්ධය
-
වැසිකිලියේ වැඩිවේලාවක් ඉඳගෙන සිටීම ප‍්‍රධාන වශයෙන් දැක්විය හැක.
දරුවන් ලැබීමට ඉන්න මව්වරුන්ගේ හා දරුවන් ලැබීමෙන් පසුවද අර්ශස් අමාරු මතු වීමේ වැඩි ප‍්‍රවණතාවයක් තිබේ.
මෙම හේතු වලට අමතරව ගුද මාර්ගය ආශි‍්‍රත විෂබීජ හා සිරොසිස් (cirrhosis) ඇති අයටද වැඩි අවධානමක් ඇත.
මේ ආකාර වලට ඇතිවන අර්ශස් (Hemorrhoids) එළියට මතුවී හෝ නොවී තිබිය හැකිය. ගුද මාර්ගය ඇතුලත පමනක් ඇති ඒවා බොහෝ විට ගුදය පටන් ගන්නා තැන ඇතිවේ.
ගුද මාර්ගයෙන් පිටතට පැමිණෙන ඒවා ගුද මාර්ගයේ පහළම කොටසෙන් පටන් ගන්නා අතර එළියට නෙරා ඒම වගේම කැක්කුමක්ද ඇතිකරයි.

මෙහිදී ඇතිවන අනෙකුත් රෝග ලක්‍ෂණ මොනවාද?

1. ගුද මාර්ගය අවට කැසීම
2. ගුද මාර්ගය අවට හෝ ඇතුළත ඇතිවන කැක්කුම.
3. මලපහ කරන විට තද රතුපාට ලේ යාම.
4. මලපහ යන විට කැක්කුම වැඩිවීම.
5. ගුදය අවට කැක්කුම සහිත ගෙඩි එකේ සිට කිහිපයක් දක්වා ඇතිවීම.

මේ සඳහා පරීක්‍ෂණ කිරීමක් අවශ්‍යද?

බොහෝ අවස්ථා වලදී වෛද්‍ය වරයෙකුට ගුද මාර්ගය පරීක්‍ෂාකර බලා තිබෙන රෝගී තත්වය ගැන නිගමනයකට පැමිණිය හැකිය.
”සිග්මොයිඩොස්කොපි” පරීක්‍ෂණයක් කරගැනීමෙන් පිලිකාමය තත්වයක්ද යන්න පරීක්‍ෂා කරගත හැක.

මේ සඳහා ඇති ප‍්‍රතිකාර ක‍්‍රම මොනවාද?

- විවිධ ආලේපන වර්ග (cream වර්ග)
-
මෙම ආලේපන වර්ග "කෝර්ටිකොස්ටිරොයිඞ්" (Corticosteroids) සහ "ලිග්නොකේන්" (Lidocain)වලින් සමන්විතය. මෙමඟින් ඉදිමීම හා කැක්කුම යම්දුරකට සමනය කරයි.

- මලපහ කිරීමේදී තද ගතිය(Stool softeners) අඩුකිරීම සඳහා වූ විවිධ පානීය වර්ග හා පෙති වර්ග ඇත.
මේවා මගින් අධික තැටමීම අවශ්‍යතාව අඩුකරන අතර තද ගතියෙන් යුත් මලපහ මගින් ඉදිමුණු රුධිර වාහිනී වලට තුවාල සිදුවීම ද අඩුකරයි. එම නිසා ලේ යාමේ ප‍්‍රවනතාවය අඩුකරයි.

- Cotton
වලින් සැකසූ යට ඇදුම් භාවිතයෙන් ගුද මාර්ගය ආශ‍්‍රිතව කැසීම් අඩුකරගත හැක. නියපොතු නිසා ඇතිවන තුවාල හේතුවෙන් විසරගෙඩි ඇතිවීමට පුළුවන් බැවින් සැමවිටම ගුද මාර්ගය කැසීමෙන් වැලකී සිටිය යුතුය.

- මද උණු වතුරේ විනාඩි 10 - 15 අතර කාලයක් ඉදගෙන සිටීමෙන් ඔබට පහසු ගතියක් ඇතිවේ.

ඉහත ක‍්‍රම වලින් සහනයක් නොලැබේනම් ශල්‍ය කර්මයක් කිරීම මඟින් අර්ශස් ගෙඩි ඉවත් කිරීම කල යුතුවේ.

වෛද්‍යවරයෙක් වෙත යා යුත්තේ කුමණ අවස්ථා වලදීද ?

ලේ වහණය සිදුවේ නම් හෝ සාමාන්‍ය ක‍්‍රම වලින් පාලනය සිදු නොවේ නම් වෛද්‍ය වරයෙකු හමුවීම යහපත් වේ. ඉතාම කලාතුරකින් ගුද මාර්ගයේ පිලිකාවක් අර්ශස් අමාරුවක් ලෙස මතුවීමට හැකියාවක් ඇත.

අර්ශස් අමාරු ඇතිවීම වලක්වාගත හැක්කේ කෙසේද?

මූලිකවම කල යුත්තේ මල බද්ධය නැතිකර ගැනීමයි. මේ සඳහා
1. වැඩිපුර ජලය පාලනය කිරීම
2. වැඩිපුර තන්තු බහුල ආහාර අනුභවය (පළතුරු, එළවළු, ධාන්‍ය)
3. ව්‍යායාම කිරීම, ශරීරයේ බර අඩුකර ගැනීම.

අර්ශස් අමාරුව ඇති අයෙකු මලපහ කිරීමේදී එම ගෙඩි එළියට ඒමේදී කල යුත්තේ කුමක්ද?

එම අවස්ථාවට පහත ආකාරයේ පිලිවෙතක් අනුගමනය කල හැක.
-
මල පහකිරීමෙන් පසු සේදීම කරන්න.
-
ඉන් පසු වැසිකිලි පෝච්චියෙන් නැගිට තට්ටම් ඈත්වන පරිදි ඉදිරියට මදක් නැමෙන්න.
-
ඉන් පසු ඇඟිලි තුඩු වලින් අර්ශස් ගෙඩි ගුදය ඇතුළට තල්ලූ කරන්න. මෙහිදී නියපොතු වැදීම වලක්වා ගැනීමට වග බලාගත යුතුය.
-
නැවත ගුදය අවට සෝදා හරින්න.
- කිසිම විටක වැසිකිලි පෝච්චියේ ඉදගෙන සිටින විටදීම එය තල්ලූ කිරීමට උත්සාහ නොකරන්න. ඊට හේතුව වන්නේ එම ඉරියව්වේ දී එම ගෙඩි මත පීඩනයක් යෙදී ඇති බැවින් තල්ලූ කිරීමේදී වැඩි තල්ලූවක් දියයුතු වීමත් නැවත එළියට ඒමත් සිදුවන බැවිනි. එවිට එම අර්ශස් ගෙඩි තුවාල වී ලේ වහනයක් වීමට ඇති අවස්ථාව වැඩිය.
-
කල් නොයවා වෛද්‍යවරයෙකුගේ උපදෙස් ලබාගන්න.

මලපහ කිරීමේදී එළියට පැමිණි අර්ශස් ගෙඩිය ඇතුළට ඒ වේලාවේදීම තල්ලූ නොකලහොත් කුමක් සිදුවේද?

මලපහ කිරීමෙන් පසු ගුදයේ ඇති කපාටය තදවීම නිසා එළියට එන ලද අර්ශස් කොටස තව දුරටත් ඉදිමී විශාල වීමත් නැවත ඇතුළට තල්ලූ කල නොහැකි වීමත් සිදුවේ. මීට අමතරව ඒ මත විෂබීජ තත්වයන් ඇති වී කැක්කුමද ඇතිවිය හැක. එවිට ප‍්‍රථිකාර කිරීමේදී විශේෂයෙන් ශල්‍යකර්ම කිරීමේදී ව්‍යාකූලතා ඇතිවීමේ හැකියා වැඩිය.

ලිපිය පළකල දිනය Article uploaded on: 29/03/2013
මෙම දැනුම ඔබේ යහළුවන් අතරේත් බෙදාගන්න

ඔබ ලෙඩරෝග පිළිබඳ දැනුවත්ද?

එන්න, දැනුම මැනල බලමු සියලුම ගැටළු