දරුවන්ගේ ඇතිවන හර්නියා තත්වයන්

කුඩා දරුවන්ගේ දැකිය හැකි හර්නියා තත්වයන් මොනවාද?

කුඩා දරුවන්ගේ වැඩිපුරම දැකිය හැකි හර්නියා තත්වයක් වනුයේ පෙකනිය ආශ‍්‍රිතව ඇතිවන ඒවා වේ. මීට අමතර ඉන හා ඉකිලි ආශ‍්‍රිතව ඇතිවන හර්නියා තත්වයන්ද කලාතුරකින් දැකිය හැක. නමුත් මේවා මඟින් ජීවිතයට තර්ජනයක් ඇති නොවේ.
නමුත් ඉතාම කලාතුරකින් ජීවිත තර්ජන ඇතිවිය හැකි තත්වයක් වනුයේ උදරයේ ඇති බඩවැල් උරස් ප‍්‍රදේශයට ගමන් කිරීමයි. මෙය සිදුවන්නේ උරස් කුහරය හා උදරය වෙන්කරමින් තිබෙන මහා ප‍්‍රාචීරය යනුවෙන් හඳුන්වන කොටස හරියාකාරව වර්ධනය නොවීමයි.
මේ හේතුව නිසා දරුවා කුසේ සිටින අවධියේදී පෙනහළු වර්ධනයට බාධා ඇතිකරන අතර ඉපදුනාට පසු හුස්ම ගැනීමත් සමඟ පෙනහළු වල දිගහැරීමට බාධා ඇතිවේ. මෙය Diaphragmatic Hernia ලෙස හැඳින්වේ.

පෙකනිය ආශ‍්‍රිතව ඇතිවන හර්නියා.

දරුවා කුසේ සිටින විට මව හා දරුවා අතර සම්භන්ධතාව තිබෙන්නේ පෙකනිවැල හරහා වේ. පෙකනිවැල දරුවාගේ ශරීරයට ඇතුළුවන ස්ථානය පෙකනිය වන අතර එය උදරයේ බිත්තයේ මාංශපේශී අතර වූ හිඩැසක් වේ.
ඉපදුනාට පසු පෙකනිවැල ඉවත්කිරීමත් සමඟ මෙම හිඩැස තවදුරටත් තිබෙන අතර උදර බිත්තියේ වර්ධනයත් සමඟ එය වැසීයාම සාමාන්‍යයෙන් සිදුවන ක‍්‍රියාවලියයි. මෙහිදී දරුවා අඬන විට උදරයේ ඇතිවන පීඩනයත් සමඟ පෙකනිය ආශ‍්‍රිතව පිම්බී එන ආකාරයක් තිබිය හැක.
විවිධ හේතු මත මෙම හිඩැස වැසීයාම පමා වීම හෝ සම්පූර්ණ නොවී තිබිය හැක.
ඒ සඳහා වැඩි අවධානමක් ඇති දරුවන් වන්නේ,
- නෙමේරූ දරු උපත්
- පවුලේ අනෙකුත් දරුවන්ගේ එවැනි තත්ව තිබුනේ නම්
- පෙකනිය ආශ‍්‍රිතව ඇතිවන විෂබීජ තත්වයන්
මූලික වශයෙන් දැකිවිය හැකිය.

පෙකනිය ආශ‍්‍රිතව ඇතිවන හර්නියා තත්ව වලට ප‍්‍රථිකාර කල යුත්තේ කුමන අවස්ථාවලදීද?

සාමාන්‍යයෙන් වසර 1- 1 1/2 කින් පමණ මෙය සම්පූර්ණයෙන් යථා තත්වයට පත්වේ. නමුත් කලාතුරකින් එය වසර 5ක් දක්වා කාලයක් වුවද ගතවිය හැක.

නමුත්
- හර්නියා තත්වය දරුවාගේ වැඞීමත් සමඟ ප‍්‍රමාණයෙන් විශාල වන්නේ නම් හෝ ඇඬීම, කැස්ස හෝ තැටමීමත් සමඟ විශාල වූ හර්නියාව නැවත යථා තත්වයට නොගොස් හිරවී තිබීම
- වසර 3කට පමණ පසුත් එය ඒ ආකාරයෙන්ම තිබීම.
යන අවස්ථා වලදී වෛද්‍යවරයා විසින් ශල්‍යකර්මයක් කිරීමට යෝජනාකරනු ඇත.
මෙම ශල්‍යකර්මයේදී දරුවාව සිහිනැති කිරීම අවශ්‍ය වේ. පෙකනිය ආශ‍්‍රිතව කරනු ලබන කුඩා කැපුමක් මඟින් ආදාල හිඩැස මැහුම් දැමීම මඟින් වසා දැමීම කරනු ලබයි.
මෙය සාමාන්‍යයෙන් සරළවූ ශල්‍යකර්මයක් වන අතර ව්‍යාකූලතා ඇති නොවුනහොත් බොහෝ විට දින 1-2ත් පමණ කාලයකින් රෝහලින් පිටකරනු ලැබේ.

ඉන හා ඉකිලි ආශ‍්‍රිතව ඇතිවන හර්නියා (Inguinal Hernia)

පිරිමි දරුවන්ගේ කළල අවස්ථාව එසේත් නැතිනම් මව් කුසේ වර්ධනයේදී වෘෂණ මුලින්ම සෑදීම සිදුවන්නේ දරුවාගේ උදරය තුල පිටුපස බිත්තියේ වේ. ඒවා වර්ධනයත් සමඟ පහළට ගමන් කිරීම සිදුවේ. මෙසේ පහළට ගමන් ගන්නා වෘෂණ ඉන ප‍්‍රදේශයේ සාදාගන්නා නලයක් මාර්ගයෙන් උදරයෙන් එළියට විත් වෘෂණ කෝෂ වලට ගමන් කිරීම සිදුවේ. ඉපදීමත් සමඟ එම නලය වැසීයාම නිසා වෘෂණ උදරයට නැවත ගමන් කිරීම වැලකී යයි.
නමුත් මේ ආශ‍්‍රිතව ඇතිවිය හැකි ව්‍යාකූලතා හේතුවෙන් මෙම සංසිද්ධිය හරියාකාරව නොවිය හැක. වෘෂණ ගමන් ගත් මාර්ගයේ වූ එම හිඩැස (නලය) හරියාකාරව වැසී නොයාම නිසා බඩවැල් ඒ තුළින් එළියට ඒම සිදුවේ. වෘෂණ නැවත උදරය දෙසට ගමන් කිරීම වැනි ප‍්‍රශ්ණ වැඩි වශයෙන් ඇතිවේ.
ගැහැණු දරුවන්ගේ මෙසේ වෘෂණ සෑදීමක් නොවුනද ඉතා කලාතුරකින් මෙවැනි හර්නියා තත්වයක් මතුවිය හැක.
මෙම හර්නියා තත්වයට පමා නොවී ශල්‍යකර්මයක් කිරීම මඟින් යථා තත්වයට පත්කිරීම අත්‍යාවශ්‍ය වේ. ඊට හේතුව බඩවැල් හිරවී ව්‍යාකූලතා තත්ව ඇති කිරීමට ඇති හැකියාව වැඩි බැවිනි.
එසේම වෘෂණ ආපසු උදරය දෙසට ගමන් කර ඇත්නම් ශල්‍යකර්මයක් මඟින් ඒවා පහළට ගෙන ආපසුයාම වැළැක්වීම කරනු ලබයි.
මෙම ශල්‍යකර්මය ද සිහිනැතිකර කරණු ලබන අතර ඒ ආශ‍්‍රිතව යොදනු ලබන කුඩා කැපුමකින් බඩවැල් උදරයට නැවත තල්ලූකර අදාල හිඩැස මැහුම් මාර්ගයෙන් වසා දැමීම කරනු ලැබේ. සාමාන්‍යයෙන් දින 1-2 දක්වා කාලයකදී රෝහලින් පිටත්කර හරිනු ලැබේ.

Diaphragmatic Hernia
තත්ව වලදී දරුවාට දැඩි සත්කාර ඒකකයේ ප‍්‍රථිකාර අවශ්‍ය වන අතර ශල්‍ය කර්මයක් මඟින් ප‍්‍රථිකාර කිරීම නොපමාව කල යුතුවේ.

හර්නියාවක් ඇති දරුවෙක් වහාම වෛද්‍යවරයෙකු වෙත යොමුකල යුතු අවස්ථා මොනවාද?

- උදරය පිම්බී පිපී තිබීම.
- වමනය යාම.
- එක දිගට ඇඞීම.
- හර්නියාව ආශ‍්‍රිතව රතුවී තිබීම, පාට වෙනස් වී තිබීම.
- උණ ගැනීම.
යන රෝග ලක්‍ෂණ ඇත්නම් බඩවැල් හිර වී තිබීමට වැඩි අවධානමක් ඇත.

ලිපිය පළකල දිනය Article uploaded on: 11/12/2018
මෙම දැනුම ඔබේ යහළුවන් අතරේත් බෙදාගන්න

ඔබ ලෙඩරෝග පිළිබඳ දැනුවත්ද?

එන්න, දැනුම මැනල බලමු සියලුම ගැටළු