විසර ගෙඩි හෙවත් Abscess

විසර ගෙඩියක් යනුවෙන් අදහස් කරන්නේ කුමක්ද?

සැරව පිරුණු ගෙඩියක් විසර ගෙඩියක් යනුවෙන් හැදින්වේ.

මේවා ශරීරයේ සෑම තැනක ඇතිවිය හැකි අතර අදාල ස්ථානය රතු වීමත් කැක්කුම ඇතිවීමත් සිදුවන අතර උණ ගැනීමද දැකිය හැක.

විසර ගෙඩි ඇතිවීමට හේතුව කුමක්ද?

ශරීරයේ මොනයම් ස්ථානයක විෂබීජ තත්වයක් ඇතිවූ විට (විශේෂයෙන් බැක්ටීරියා ආසාදිත තත්ව වලදී) ශරීරයේ ක‍්‍රියාත්මක ප‍්‍රථිශක්තී ක‍්‍රියාවලිය මගින් අදාල විෂබීජය තවදුරටත් ශරීයේ ව්‍යාප්ත වීම වැලැක්වීමට කොටුකිරීමක් කරනු ලැබේ.

ඉන්පසු සුදු රුධිරාණු අදාල ස්ථානයට විශාල වශයෙන් ඇදී ඇවිත් අදාල විෂබීජ විනාශකරනු ලැබේ.

මෙම ක‍්‍රියාවලයේදී හානියට පත් සදු රුධිරාණු මෙන්ම මැරුණු බැක්ටීරියාද එක් තැනක ඒකරාශී විමක් සිදුවේ.

එම ස්ථානය ක‍්‍රමයෙන් වීශාල වීමට පටන් ගන්නා අතර සෑදී ඇති ගෙඩියේ ඇතුලත පීඩනය වැඩිවීමට පටන් ගනී

ප‍්‍රථිකාර නොකලහොත් එය පුපුරා යාමක් සිදුවීම සිදුවිය හැක.

ශරීරයේ අභ්‍යන්තරයේදී මෙවැනි පුපුරා යාමක් ඇතිවූ විට විෂබීජ තත්වය ශරීරය පුරා පැතිරී යාමේ අවධානමක් ඇත.

විසර ගෙඩි නිසා ඇතිවිය හැකි රෝග ලක්ෂණ මොනවාද?

සම මතුපිට නම් සම රතුවීම අදාල ස්ථානයේ කැක්කුම ඇතිවීම හා උණ ගැනීම මෙහිදී ඇතිවන ප‍්‍රධානතම රෝග ලක්ෂණවේ.

ශරීර අභ්‍යන්තරයේ ඇතිවන අවස්ථාවලදී

උදරයේ නම් උදරයේ ඇතිවන දැඩි වේදනාව

උරස් කුහරයේ නම් ස්වසනයේ දී ඇතිවන දැඩි වේදනාව, ස්වසනය කිරීමේ අපහසු බව හා කැස්ස ඇතිවම.

මොලය හා ස්නායු පද්ධතිය ආශ‍්‍රිතව නම් තද හිසේ කැක්කුම, වලිප්පු තත්ව ඇතිවීම

වකුගඩු ආශ‍්‍රිතව නම් මුත‍්‍රා දැවිල්ල හා තුනටිය ප‍්‍රදේශයේ ඇතිවන තද කැක්කුම

අස්ථි තුල නම් අදාල අස්ථිය ඇති තැන තද කැක්කමක් ඇතිවීම ආදී වශයෙන් රෝග ලක්ෂණ ඇතිවිය හැක.

මේ සෑම අවස්ථාවකදීම උණ ගැනීම ප‍්‍රධාන රෝග ලක්ෂණයක් වනු ඇත.

සමහර අවස්ථාවලදී හේතුවක් නොමැතිව උණ පමණක් දීර්ඝ කාලයක් පැවතීම එකම රෝග ලක්ෂණය විය හැක.

මෙවැනි අවස්ථාවලදී කරනු ලබන පරීක්ෂණ මොනවාද?

සම මතුපිට විසර ගෙඩියක් ඇතිවී ඇති අවස්ථාවක එය හදුනා ගැනීම සදහා විශේෂ පරීක්ෂණ අවශ්‍ය නොවන අතර දිය වැඩියා වැනි රෝග තත්ව ඇතිදැයි බැලීමට රුධිර පරීක්ෂණ කරනු ඇත.

ඊට හේතු වන්නේ දියවැඩියා තත්ව වලදී මෙවැනි විසර ගෙඩි සෑදීමේ අවධානම ඉතා වැඩි බැවිනි.

ශරීර අභ්‍යන්තරයේ විසර ගෙඩි ඇති වී ඇතිවිට ඒවා හදුනා ගැනීමට ස්කෑන් පරීක්ෂණ කරනු ඇත.

සමහර අවස්ථා වලදී සීටී පරීක්ෂණ හා විකිරණ භාවිතා කර කරණු ලබන පරීක්ෂණ පවා සිදුකිරීමට සිදුවනු ඇත.

ඊට හේතුවන්නේ ඉතා කුඩා ප‍්‍රමාණයේ විසරගෙඩි ශරීරයේ ඉතාමත් අභ්‍යන්තර ප‍්‍රදේශයේ සෑදී ඇතිවිට එ්වා සාමාන්‍ය ස්කෑන් පරීක්ෂණයකින් සොයාගැනීම අපහසු බැවිනි.

මේ සදහා කරනු ලබන ප‍්‍රථිකාර මොනවාද?

බොහෝවිට ශල්‍යකර්මයක් මගින් සැරව හා සැරව ගෙඩිය වටා වූ පටලමය කොටස ඉවත් කිරීම ඇති හොදම ප‍්‍රථිකාරය වේ.

මෙය බොහොමයක් අවස්ථාවදී සිහි නැතිකර හෝ කලාතුරකින් අවස්ථාවක හිරිවැට්ටවීම මගින් සිදුකරනු ලැබේ.

ශරීර අභ්‍යන්තරයේ ඇති විසර ගෙඩි සදහා සමහර අවස්ථාවලදී ස්කෑන් පරීක්ෂණ අධාර කරගෙන සිරින්ජයක් අධාරයෙන් සැරව ඉවත් කිරීම කරනු ඇත.( උදා අක්මාව ආශ‍්‍රීතව ඇතිවන විසර ගෙඩි)

ඉතා කුඩා ප‍්‍රමාණයේ විසර ගෙඩි රාශියක් ඇතිවිට ප‍්‍රථිජීවක ඖෂධ ලබා දී තත්ව සමනය කිරීමට උත්සාකරනු ඇත.

විසර ගෙඩි වටා සෑදෙන පටලමය කොටස ශරීරයට ලබාදෙන ප‍්‍රථිජීවක ඖෂධ විසර ගෙඩිය තුලට ගමන් කිරීම අවහිර කිරීම නිසා බොහෝවිට ශල්‍යකර්මයක් මගින් ඉවත්කිරීමට සිදුවේ.

සැරව ගෙඩි ඇතිවීම වලක්වා ගත හැක්කේ කෙසේද?

පිරිසිදුකම මගින් සම ආශි‍්‍රතව ඇතිවන බොහොමයක් විසර ගෙඩි ඇතිවීම වලක්වා ගත හැක.

දියවැඩියාව පාලනය

මත්පැන් විශේෂයෙන් රා බීම නැවැත්වීම මගින් අක්මාව ආශ‍්‍රිතව ඇතිවන විසර ගෙඩි අවමකරගත හැක.

මුඛය පිරිසිදුව තබා ගැනීම මගින් මුඛය ආශ‍්‍රිතව ඇතිවන බොහොමයක් විසර ගෙඩි අවමකර ගත හැක

සමහර විසර ගෙඩි ඇතිවීම වලක්වා ගැනීමට විශේෂිතවූ ක‍්‍රම නොමැත


ලිපිය පළකල දිනය Article uploaded on: 19/08/2014
මෙම දැනුම ඔබේ යහළුවන් අතරේත් බෙදාගන්න

ඔබ ලෙඩරෝග පිළිබඳ දැනුවත්ද?

එන්න, දැනුම මැනල බලමු සියලුම ගැටළු