බඩදැවිල්ල හා උගුරට ඒම (Gastroesophageal reflux disease)

කෙනෙකු කෑම උගුරට එනවා යැයි කීමෙන් අදහස් කරන්නේ කුමක්ද?

මෙහිදී සිදුවන්නේ ආමාශයේ පිරී ඇති ගන්නා ලද ඝන ආහාර මෙන්ම පානීය ආහාර වර්ග නැවත ආමාශයේ සිට මූඛය දෙසට ගලනාලය දිගේ ආපසු ඒමයි. මෙම ආහාර සමග ආමාශයේ සෑදෙන ඇසිඞ් ද ගලනාලය දෙසට යොමුවේ. ගලනාලයේ බිත්තිය ඇසිඞ් වලට ඔරොත්තු නොදෙන නිසා ඒ අවස්ථාවේ දැවිල්ල ඇතිවේ.

මෙසේ ආහාර ආපසු ඒමට හේතු මොනවාද?

ආමාශයේ පිරී ඇති ආහාර ආපසු ඒම වැලැක්වීමට ගලනාලය කෙළවර විශේෂිත වූ කපාටයක් ඇති අතර එම කපාටයේ ක‍්‍රියාකාරිත්වය හරියාකාරීව සිදු නොවන විට ආහාර ආපසු ඒම සිදුවේ.
එම කපාටයේ ක‍්‍රියාකාරිත්වය අඩපනවීමට බලපාන සාධක වනුයේ
- මධ්‍යසාර
- දුම්බීම
- තරබාරුකම
- උපතේ සිට ඇතිවන කපාටය ආශ‍්‍රිත ව්‍යාකූලතා (උදා:Hiatal hernia)
- දරුවන් ලැබීමට සිටින මවුවරුන්ගේ ද එම කපාටයේ ක‍්‍රියාකාරිත්වය අඩපන විය හැක.
- සමහර ඖෂධ වර්ග
උදා:
- ⋆ අධික රුධිර පීඩනයට භාවිතා කරන සමහර බෙහෙත් වර්ග (Nifidipin)
-
⋆ ඇදුම රෝගයට භාවිතා කරන සමහර බෙහෙත් වර්ග (Salbutamol)
-
⋆ සමහර මානසික රෝග වලට භාවිතා කරන සමහර බෙහෙත් වර්ග (Tricyclic Antidepresents)

(
විශේෂයෙන් සැළකිය යුතුයි - බඩ දැවිල්ල ඒම හේතු කොටගෙන කිසිම අවස්ථාවක තමන් දීර්ඝ කාලීනව නොකඩවා ගන්නා බෙහෙත් වර්ග වෛද්‍ය වරයෙකුගේ උපදෙස් නොමැතිව නතර කිරීම නොකළ යුතුයි.)

මෙහිදී ඇතිවන රෝග ලක්‍ෂණ මොනවාද?

- පපුවේ ඇතිවන දැවිල්ල ගතිය.
- පපුව හිරවෙනවා සේ දැනීම හා ඒ සමග ඇතිවන හුස්ම ගැනීමේ අපහසුව.
- පපුවේ ඇතිවන දැවිල්ල ඉදිරියට නැමෙන විටදීද ඇඳේ වැතිර සිටින විටදී ද ආහාර ගන්නා විටදී ද වැඩිවේ.
- කෑමට පසු ඔක්කාරයට ඒම.
- නොකඩවා ඉක්කා වැටීම.
- උගුරේ ඇතිවන දැවිල්ල ගතිය.
- සෙම පැටලෙනවා සේ දැනීම සහ නිතර නිතර ඇතිවන කැස්ස.
- උගුර බැරැන්ඩි වීම හා කඩහඬ වෙනස් වීම.
- දත් දිරායාම.

මෙවැනි රෝග ලක්‍ෂණ ඇතිවිට කරනු ලබන පරීක්‍ෂණ මොනවාද ?

ඉහත සඳහන් කල රෝග ලක්‍ෂණ දීර්ඝ කාලයක් තිස්සේ නිතර නිතර ඇති වන්නේ නම් පරීක්‍ෂණ කල යුතුයි.

- එන්ඩොස් කොපි පරීක්‍ෂණය
- x-ray පරීක්‍ෂණය (Barium swallow)
-
ගලනාලය කෙලවර PH අගය මැනීම.( මෙමගින් ගලනාලය කෙලවර ඇසිඞ්වලට නිරාවරණය වන ප‍්‍රමාණය ගැන අදහසක් ගත හැක.)
-
ගලනාලය කෙලවර ඇති කපාටයේ ක‍්‍රියාකාරිත්වය පරීක්‍ෂා කිරීම.(Esophageal manometry)

මේ සඳහා ඇති ප‍්‍රතිකාර ක‍්‍රම මොනවාද ?

1. ජීවන රටාවේ යම් යම් වෙනස් කම් ඇති කිරීම.
⋆ අධික ලෙස ආහාර ගැනීමෙන් වැලකීම.
⋆ තෙල් අධික ආහාර ගැනීමෙන් වැලකීම.
⋆ මධ්‍යසාර/දුම්බීම අඩුකිරීම හෝ නැවැත්වීම.

2. වෛද්‍යවරයා වෙනයම් රෝගයක් සඳහා බෙහෙත් නියම කරන විටදී බඩ දැවිල්ල හා උගුරට එන ස්වභාවය ඇති බවට දැනුවත් කිරීම.

3. දීර්ඝ කාලීනව බඩ දැවිල්ල / පපුව දැවිල්ල නතර කිරීම සඳහා ඖෂධ ගැනීම.

4. ශල්‍ය කර්මයක් මඟින් ගලනාලය හා ආමාශය අතර ඇති කපාටයේ ක‍්‍රියාකාරිත්වය යථා තත්වයට පත් කිරීම.

මීට අමතරව නිතර නිතර ඇසිඞ් වලට නිරාවරණය වීම නිසා ගලනාලයේ පහල කොටසේ ඇතිවන තුවාල වීම් හෝ වෙනස් වීම් පිලිකාමය තත්වයන්ට තුඩු දෙන්නේ නම් ද ශල්‍යකර්මයක් අවශ්‍ය වේ.

මේ සඳහා ප‍්‍රතිකාර නොගත හොත් කුමක් සිදුවේද?

- ඇදුම රෝගය ඇතිවීමට ඇති අවධානම.
- එක දිගට පවතින කැස්ස, උගුරෙහි ඇතිවන වේදනාව.
- දත් දිරායාම (ඇසිඞ්වලට නිරාවරණය වීම නිසා)
- ගලනාලයේ ඇතිවන තුවාල වීම් හා එමඟින් වෙන ගලනාලයේ කුඩා වීම්.
-
ගලනාලයේ පහළ කොටසේ පිලිකා ඇතිවීමේ අවධානම.

වෛද්‍ය වරයෙකුගෙන් උපදෙස් ගත යුත්තේ කුමන අවස්ථාවලදී ද?

- පපුවේ දැවිල්ල හා බඩ දැවිල්ල සමඟ ගිලීමේ අපහසුතා ඇතිවීම.
- ලේ වමනය යාම.
- ශරීරයේ බර අඩුවීම හා කෑම ප‍්‍රියතාව අඩුවීම.
- හුස්ම ගැනීමේ අපහසුතා ඇතිවීම.
යන අවස්ථා වලදී හැකි ඉක්මනින් වෛද්‍ය වරයෙකුගේ උපදෙස් ගත යුතුය.

ලිපිය පළකල දිනය Article uploaded on: 18/12/2018
මෙම දැනුම ඔබේ යහළුවන් අතරේත් බෙදාගන්න

ඔබ ලෙඩරෝග පිළිබඳ දැනුවත්ද?

එන්න, දැනුම මැනල බලමු සියලුම ගැටළු