දත් ගැලවීම

දත් ගැලවීම සිදුකරන්නේ කුමන අවස්ථාවලදීද?

දතක් කැඩී යාම, බුරුල් වීම හෝ දිරායාම නිසා හානි වූ විට එය පිරවීම හෝ අනෙකුත් ක‍්‍රම මගින් යථා තත්වයට ගැනීමට නොහැකි අවස්ථාවලදී දත ගැලවීම බොහෝවිට සිදුකරයි.

මීට අමතරව
නල දත් හට ගැනීම, හකුවල දත් අක‍්‍රමවත් ලෙස හට ගැනීම හා අවශ්‍යවිටදී හිස හා ගෙල ප‍්‍රදේශවල හට ගත් පිලිකා තත්ව සදහා විකිරණ ප‍්‍රථිකාර වලදී දත් ගැලවීම සිදුකරයි.

දත් ගැලවීම සිදුකරන්නේ කෙසේද?

අවශ්‍ය වූ විට දත්වල එක්ස් රේ එකක් ගැනීම සිදුකරයි.

එසේම විවිධ රෝගී තත්ව විශේෂයෙන් වැඩිපුර රුධිරය ගැලීමේ රෝගී තත්ව, දීර්ඝ කාලීනව ගන්නාවූ ඖෂධ ගැන වෛද්‍යවරයා විසින් විමසීමක් කරනු ලැබේ.

ගැලවීමට නියමිත දත ආශ‍්‍රිතව විෂබීජ තත්ව ඇතිනම් ඒ සදහා දින කිහිපයක් ප‍්‍රථිජීවක ඖෂධ ලබා දීම සිදුකරයි.

ඉන් පසු දත ගැලවීම සිදුකරයි.

දත් ගැලවීමේදී දත ඇති ස්ථානය හිරිවැට්ටීම සිදුකරයි.

නමුත් සමහර අවස්ථාවලදී අදාල දත ගැලවීමට සිහිනැතිකිරීමට සිදුවන අවස්ථා ඇත.

හිරිවැට්ටවීම මගින් දත ගැලවීමේදී දත තදකරන ආකාරයට දැනීම් තිබිය හැකි මුත් කැක්කුමක් ඇති නොවේ.

කැක්කුම ඇතිවේ නම් ඒ බව දන්වා සිටීමෙන් අවශ්‍ය ප‍්‍රමාණයට හිරිවැට්ටවීමට වෛද්‍යවරයාට තවදුරටත් එන්නත් ලබා දිය හැක.

දත ගලවන අවස්ථාවේ පිටවන රුධිරය නිසා කටට ලේ රස දැනිය හැක.

දත ගලවා පැය කිහිපයක් යන තුරු හිරිගතිය පවතිනු ඇත.

දත ගැලවු ස්ථානයේ තදවන ආකාරයට ටිකවේලාවක් දත් අතර හිරකරගෙන සිටීමට පුලුන් කැබැල්ලක් ලබා දේ.

මෙමගින් රුධිරවහනය අවම කරයි.

දත් ගැලවූ පසු කල යුතු දේ මොනවාද?

දත් අතර හිරකරගැනීමට දුන් පුලුන් කැබැල්ල විනාඩි 30ක් පමණ තබා ගත යුතුය.

දිනයක් පමණ කාලයකදී මදවශයෙන් රුධිරවහනයක් විය හැක.

ඊට වඩා කාලයක් රුධිරය ගැලීමක් වන්නේ නම් වෛද්‍යවරයාට දන්වා සිටිය යුතුවේ.

දත ගැලවු ස්ථායේ ඇතිවන රුධිර කැටිය දිවෙන් තල්ලු කිරීම නොකල යුතුය.

සිසිල් බවකින් යුත් මෙලෙක් ආහාර ගැනීම කල යුතු අතර දත ගැලවු පැත්තෙන් ආහාර සැපීම නොකල යුතුය.

උණු ආහාර ගැනීමෙන් රුධිර වහන අවධානම වැඩිවේ.

පැය 24කට පමණ පසු මද උණු ජලය සමග ලුනු දිය කර කට සෝදා දැමිය හැක.

කැක්කුමට හා විෂබීජ තත්ව ඇති වීම වැලැක්වීමට දෙනු ලබන ඖෂධ නියමිත පරිදිී පාවිච්චි කල යුතුය.

අඩුම තරමේ දින කිහිපයක් දුම් පානයෙන් වැලකී සිටිය යුතුය.

දත් ගැලවීමේදී ඇතවිය හැකි අතුරු ආබාධ මොනවාද?

දත ගැලවූ ස්ථානය ආශ‍්‍රිතව ඇතිවිය හැකි විෂබීජ තත්ව

එම ස්ථානය හා යාබදව ඇති දත්වලට හානිසිදුවීම

ඉදිමීම

ඉතාම කලාතුරකින් ස්නායු හානි සිදුවීම.

මෙහිදී යටි තොල ප‍්‍රදේශය දිගටම හිරිවැටී තිබිය හැක.

වෛද්‍යවරයා ලගට නැවත යොමුවියුත්තේ කවර අවස්ථා වලදීද?

ඉදිමීම ක‍්‍රමයෙන් වැඩිවන්නේ නම්

උණ ගැනීමක් සිදුවන්නේ නම්

දිගටම රුධිර වහනයක් සිදුවේ නම්

දත ගැලවූ ස්ථානයේ දිගටම තද කැක්කුමක් ඇතිවේ නම්

ලිපිය පළකල දිනය Article uploaded on: 01/08/2014
මෙම දැනුම ඔබේ යහළුවන් අතරේත් බෙදාගන්න

ඔබ ලෙඩරෝග පිළිබඳ දැනුවත්ද?

එන්න, දැනුම මැනල බලමු සියලුම ගැටළු