කකුල දිගේ ඇතිවන වේදනාව හෝ හිරිවැටීම හෙවත් සයටිකා (Sciatica)

සයටිකා (Sciatica) ලෙස හැදින්වෙන්නේ කවර ආකාරයේ තත්වයක්ද?

සුෂුම්නාවෙන් පටන්ගන්නා ස්නායු එකතුවී තැනෙන ස්නායුවක් සයටික් ස්නායුව ලෙස හැදින්වෙන අතර එය ශරීරයේ ඇති විශාලතම ස්නායුවද වෙයි.

මෙම ස්නායුව කකුල් වලට ස්නායු සැපයීම කරනු ලබයි.

මෙම ස්නායුව මත ඇතිවන තෙරපීමක් හෝ හානියක් වූ විට එය කකුල් වල ඇතිවන වේදනාවක් හෝ හිරිවැටීමක් හෝ පණ නැතිව යාමක් ලෙස රෝගියාට දැනෙනු ඇත.

මෙම තත්වය සයටිකා තත්වයක් ලෙස හැදින්වේ.

මෙම ස්නායුව තෙරපීමකට හෝ හානිවීමකට ලක්වන අවස්ථා මොනවාද?

කශේරුව ආශ‍්‍රිතව සිදුවන අස්ථි බිදීම් හෝ කශෙරුව ආශ‍්‍රිතව ඇති කාටිලේජමය කොටස්වල සිදුවන පැනීම් (Slipped disk) නිසා සිදුවන ස්නායු තෙරපීම් හෝ හානිසිදුවීම්.

උකුල් අස්ථි ආශ‍්‍රිතව ඇතිවන අනතුරු

ස්නායුව කකුල් දක්වා ගමන් කරන මාර්ගයේ ඇති මාංශ පේශී මගින් ඇති කරන තෙරපීම්.

කලාතුරකින් ස්නායුව හෝ සුෂුම්නාව ආශ‍්‍රිතව ඇතිවන ගෙඩි.

මෙහිදී ඇතිවන රෝග ලක්ෂණ මොනවාද?

මෙම ස්නායුව මුලිකවම ස්නායු සැපයුම සිදුකරන්නේ කකුලේ පිටුපස කොටසට වේ.

එබැවින් සියලුම ආකාරයේ රෝග ලක්ෂණ බොහෝවිට එම ප‍්‍රදේශ වල දකින්නට ලැබේ.

හිරිවැටීම හෝ නලියන ස්වභාවය

මද කැක්කුමක් හෝ කකුල සෙලවීමට පවා නොහැකි තරමේ තද කැක්කුමක් ඇති වීම

කකුල් පණ නැතිව යාම යන ආකාරවලින් මතුවිය හැක.

කකුල්වල යටි පතුල්වලද මෙම තත්වය ඇතිවිය හැක

කැක්කුම ඇත්නම් එය කිවිසුම් යන විටදී මෙන්ම හයියෙන් සිනහ වන විටදී පවා වැඩිවීමක් දැකිය හැකි අතර ටික දුරක් ඇවිදගෙන යනවිටදී පවා කැක්කුම වැඩිවිය හැක.

සමහරුන්ගේ ටිකවේලාවක් ඉදගෙන සිටින විටදී හෝ හිටගෙන සිටින විටදී කැක්කුම වැඩිවීමක් දැකිය හැක.

මේ සදහා කරනු ලබන පරීක්ෂණ මොනවාද?

වෛද්‍යවරයා කරනු ලබන පරීක්ෂාව මගින් බොහෝවිට නිගමනයකට එලඹිය හැක.

නමුත් කැක්කුම දීර්ඝ කාලීනව පවතින විටදී පරීක්ෂණ සිදුකරනු ඇත.

X -Ray පරීක්ෂණ

රුධිර පරීක්ෂණ

MRI පරීක්ෂණ මේ අතර වේ.

මේ සදහා ප‍්‍රථිකාර කරනුයේ කෙසේද?

බොහොමයක් අවස්ථා වලදී මෙම කැක්කුම ඉබේම සුවවීමක් දැකිය හැක.

ඉවසිය නොහැකි මට්ටමේ කැක්කුමකදී වෛද්‍යවරයා විසින් කැක්කුම අඩුවීමට ඖෂධ ලබාදීම සිදුකරයි.

මීට අමතරව

මුල් දිනවලදී අයිස්වලින්ද පසුව රස්නය ඇති දෙයකින් ද අදාල ස්ථානය තැවීම

ක‍්‍රියාකාරී බව අඩුකිරීම

බර එසවීම හා තුනටිය ප‍්‍රදේශය ඇඹරෙන ආකාරයේ ක‍්‍රියාවලින් අඩුම තරමේ සති දෙක තුනක් ඈත්ව සිටීම

සති කිහිපයකට පසු සුලු වශයෙන් උදරයේ මාංශ පේශී හා කොන්ද ප‍්‍රදේශයේ මාංශ පේශී ශක්තිමත් වීමට ව්‍යායාම ආරම්භ කිරීම

ආදිය සදහා උපදෙස් දෙනු ඇත.

මෙවැනි තත්වයකදී ඇදකට වී දිගටම වැතිර සිටීම සුදුසු නොවේ.

එවිට යථා තත්වයට පැමිණීමට පමා වීමක් සිදුවනු ඇත.

මෙවැනි ක‍්‍රම මගින් සුව වීමක් සිදු නොවුනේ නම් කොන්දේ අදාල ස්ථානවලට එන්නත් ලබාදීම හා අවශ්‍ය නම් ශල්‍යකර්ම වලට යොමු කරවීම කරනු ඇත.

මෙම සයටිකා තත්වය නැවත නැවත මතුවීමක් සිදුවන්නේද?

මෙම තත්වය නැවත නැවත මතුවීමක් සිදුවිය හැක.

එබැවින් බර එසවීම හා ව්‍යායාම වලදී නිසි පිලිවෙලට සිදුකිරීමට වග බලා ගත යුතුය.

ශරීරයේ බර පාලනය කර ගැනීමත් අත්‍යාවශ්‍ය කාරණයකි


Article uploaded on 04/04/2014

ලිපිය පළකල දිනය Article uploaded on: 02/04/2014
මෙම දැනුම ඔබේ යහළුවන් අතරේත් බෙදාගන්න

ඔබ ලෙඩරෝග පිළිබඳ දැනුවත්ද?

එන්න, දැනුම මැනල බලමු සියලුම ගැටළු