සමේ ඇතිවන සුදු පැහැති ලප (Vitiligo)

සමේ ඇතිවන සුදු පැහැති ලප ලෙස හැදින්වෙන්නේ කවර තත්වයක්ද?

මෙය සමේ තැනින් තැන සාමාන්‍ය පැහැය නැතිව ගොස් සුදු පැහැයට ලප ඇති වීමකි.

සමේ පැහැයට හේතුවන්නේ මෙලනින් නැමැති වර්ණකයවේ.

මෙම මෙලනින් සෑදීම කරනුයේ මෙලනොසයිට් ලෙස හදුන්වන සමේ ඇති සෛල විශේෂයකින් වේ.

මෙම මෙලනොසයිට් සෛලවලට වන බලපෑම් නිසා මෙම රෝගී තත්වය ඇතිවේ.


මෙය ඕනෑම වයසක අයෙකුට ඇතිවිය හැකි අතර සමහර පවුල්වල ආරෙට යන අවස්ථා දැකිය හැක

මෙයට හේතු මොනවාද?

මේ සදහා විශේෂිත වූ හේතුවක් සොයාගෙන නැති අතර යම් යම් හේතු නිසා තම ශරීරයෙන්ම මෙලනොසයිට විනාශ කල හැකි ප‍්‍රතිදේහ නිපදවීමක් නිසා සිදුවන අවස්ථා බහුලව දැකිය හැකිවේ.

මෙහිදී ඇතිවන රෝග ලක්ෂණ මොනවාද?

මෙවැනි ලප බොහෝවිට මුහුනේ හා බාහුවල ඇතිවන අතර සමහර පුද්ගලයින්ගේ ලිංගික අවයව ආශ‍්‍රිතව ඇතිවීමද බහුලව දැකිය හැක.

මෙහිදී ලප ඇතිවීම කෙටි කාලයකදී හෝ ක‍්‍රමයෙන් වැඩිවීමක් ලෙස දීර්ඝ කාලයක් තිස්සේ ඇතිවීමක් ලෙසද දැකිය හැක.

සුදු පැහැයට අමතරව සමෙහි වෙනත් වෙනස්කම් ඇති නොවේ.

මේ සදහා කරනු ලබන පරීක්ෂණ මොනවාද?

සාමාන්‍යයෙන් වෛද්‍යවරයෙකු විසින් කරනු ලබන මුලික පරීක්ෂාවෙන් නිගමනයකට එලබෙන අතර කලාතුරකින් සමේ කොටසක් ගෙන පරීක්ෂාකරන අවස්ථා ඇත.

මීට අමතරව තයිරොයිඩ් ග‍්‍රන්ථියේ අවක‍්‍රියාකාරීත්වය හා අධිවෘක්ක ග‍්‍රන්ථි ආශ‍්‍රිතව ඇතිවිය හැකි ව්‍යාකූලතා තත්ව මේ සමග ඇතිවිය හැකි බැවින් ඒ සදහා වූ රුධිර පරීක්ෂණ සිදුකරන අවස්ථා ඇත .

එය ඇති රෝග ලක්ෂණ අනුව වෛද්‍යවරයා තීරණය කරනු ලබයි.

මේ සදහා ප‍්‍රථිකාර කරනුයේ කෙසේද?

මේ සදහා මූලිකවම ෆොටෝතෙරපි නැමැති ක‍්‍රමයක් භාවිතා කරනු ලබන අතර එහිදී සිදුකරනු ලබන්නේ අල්ට‍්‍රාවයලට් කිරණ වලට අදාල ප‍්‍රදේශය නිරාවරණය කිරීමකි.

මෙම කිරණවල කි‍්‍රයාකාරීත්වය වැඩිකීරීම සදහා උපකාරීවන ඖෂධ ලබා දීමද සිදුකරයි.

මීට අමතරව විවිධ ක‍්‍රීම් වර්ඝද මේ සදහා ප‍්‍රථිකාර කිරීමට භාවිතා කරයි.

මෙම ප‍්‍රථිකාර මගින් රෝගය නිට්ටාවට අඩුවීමක් සිදු වේද?

මෙහිදී ඇතිවන ප‍්‍රථිපලය ගැන හරියටම කිව නොහැකි අතර ප‍්‍රථිකාර සමග අදාල ලප සහිත ස්ථානවල පැහැය වෙනස් වීමක් විය හැකි අතර එය මුලින් වූ පැහැයට වඩා අඩු හෝ තද ගතියකින් විය හැක.

ඊට අමතරව මුලින් වූ ලප ක‍්‍රමයෙන් මේ ආකාරයට ඉවත් වීමත් අලුතෙන් වෙනත් තැන්වල ලප ඇතිවීමත් සිදුවිය හැක.

බොහෝවිට ප‍්‍රථිකාර සමග පාලනය වීමක් අපේක්ෂාකල හැකි අතර නිට්ටාවට අඩුවීමක් කලාතුරකින් පමණක් දැකිය හැක.

ඉහත ප‍්‍රථිකාරවලට අමතරව ඇති අනෙකුත් සමනය කිරීමේ ක‍්‍රම මොනවාද?

සම හොදින් ඇති තැනකින් කොටසක් ගෙන බද්ද කිරීම ( උදා: මුහුනේ ඇත්නම් වැඩිපුර නොපෙනෙන තැනකින් සමේ කොටසක් ගෙන මෙය කල හැක. නමුත් මෙය එතරම් ප‍්‍රචලිත ක‍්‍රමයක් නොවේ)

වෙනත් රටවල මේ සදහා සමේ ආලේපකල හැකි ඩයි වර්ග ඇත. මෙය තාවකාලික ක‍්‍රමයක් වේ.

සමහර පුද්ගලින් අදාල කොටස වැසෙන සේ පච්ච කොටා ඇති අවස්ථා දැකිය හැක.

මීට අමතරව මෙම තත්වය ශරීරය පුරා විහිදී ඇත්නම් , සාමාන්‍ය සම දැකිය හැක්කේ ඉතා සුලු ප‍්‍රදේශයක නම් වෛද්‍යවරයා විසින් ඉතිර්වී ඇති සුලුකොටසද සුදු පැහැ ගැන්විය හැකි ආලේපණ වර්ගයක් භාවිතා කිරීමට යෝජනා කරනු ඇත.

මෙම තත්ව ඇතිවූ රෝගීන් සැලකිලිමත් විය යුතු අනෙකුත් කරුණු මොනවාද?

හිරු එලියට නිරාවණය වීමේදී සැලකිලිමත් විය යුතුය.

ඊට හේතුවන්නේ හිරු එලිය සමග එන අල්ට‍්‍රාවයලට් කිරණ මගින් මෙවැනි රෝගීන්ගේ සමට වන හානිය වැඩි අතර එමගින් සමේ පිලිකා තත්ව පවා ඇති කල හැක.

මේ සදහා හිරුඑලියට සම නිරාවරණය වීම අවම කිරීම හා හිරු එලියෙන් ආරක්ෂාවීමට ඇති ආලේපණ භාවිතා කිරීම කල හැක.


Article uploaded on 07/03/2014

ලිපිය පළකල දිනය Article uploaded on: 07/03/2014
මෙම දැනුම ඔබේ යහළුවන් අතරේත් බෙදාගන්න

ඔබ ලෙඩරෝග පිළිබඳ දැනුවත්ද?

එන්න, දැනුම මැනල බලමු සියලුම ගැටළු