කෙස් හැලී යාම (Hair Loss)

සාමාන්‍ය පුද්ගලයෙකුගේ දෛනිකව කොපමණ කෙස් ප‍්‍රමාණයක් හැලීයාම සිදුවනවාද?

දෛනිකව කෙස්ගස් 50-60 ක් පමණ වනතෙක් හැලීයාම සාමාන්‍ය සිදුවීමක්ලෙස සැලකිය හැක.

සමාන්‍යයෙන් හිසේ කෙස් ලක්ෂයකට ආසන්න ප‍්‍රමාණයක් ඇති අතර මෙම ප‍්‍රමාණය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් විය හැක.

හිස කෙස් හැලීයාමේ රටාව ආරෙට යාමක් සිදුවේද?

හිසකෙස් හැලීයාම ආරෙට යන අවස්ථා බහුලව දැකිය හැක.

මෙය විශේෂයෙන් කාන්තා පාර්ශවයට වඩා පිරිමි පාර්ශවයේ වැඩිපුර ඇතිවන අතර මෙය හුදු පුන් ප‍්‍රවේනික ලක්ෂණයක් ලෙස හැදින්වේ.

හිසකෙස් හැලී යාම රෝගී තත්වයන් නිසා සිදුවේද?

සමහර රෝගී තත්වයන් හිසකෙස් හැලීයාමට ඍජුවම බලපායි.
උදා:
තයිරොයිඩ් ග‍්‍රනථියේ ක‍්‍රියාකාරීත්වයේ ඇතිවන වෙනස්වීම්

අනෙකුත් හෝමෝනවල ඇතිවන ව්‍යාකූලතා

රක්තහීනතාවය

ශරීරයේ ප‍්‍රථිශක්තික‍්‍රියාවලියේ ඇතිවන ව්‍යකූලතා

සිපිලිස් වැනි සමාජ රෝග වැලදීම

සමහර දිලීර රෝගී තත්ව

පිලිකා තත්වයන් හා ඒවාට දෙනු ලබන කීමෝතෙරපි හා විකිරණ ප‍්‍රථිකාර

හිසකෙස් හැලී යාමට බලපාන අනෙකුත් සාධක මොනවාද?

දරු ප‍්‍රසූතියකට පසු හිසකෙස් තාවකාලිකව වැඩිපුර හැලීයාමක් දැකිය හැක.

තදබලලෙස ඇතිවන රෝගී තත්වයන් නිසා
(
උදා තදබල ලෙස ඇතිවන වෛරස් උණ )

පෝෂ්‍යදායී ආහාර නොගැනීම(විශේෂයෙන් ප්‍රෝටීන අඩු ආහාර රටාවන් )

සමහර දීර්ඝ කාලීනව ගනු ලබන ඖෂධ වර්ග නිසා

විවිධ ෂැම්පූ වර්ග වැඩිපුර භාවිතාකිරීම හා නිතර හෙයා ඩ‍්‍රයර් කිරිම.

පවුල් සැලසුම් කිරීමට ගනුලබන පෙති නිසා හිසකෙස් හැලීයාමක් සිදුවිය හැකිද?

මෙම පෙති නිසාද සමහර කාන්තාවන්ගේ හිසකෙස් වැඩිපුර හැලී යාමක්විය හැක.

මානසික ආතතිය හිසකෙස් හැලීයමට හේතුකාරකයක් වන්නේද?

අධික මානසික ආතතිය හිසකෙස් හැලීයාමට ඍජුවම බලපාන අතර මානසික රෝග සදහා ගනු ලබන ඖෂධ නිසාද හිසසේ වැටීම සිදුවිය හැක.

සමහරුන්ගේ හිසකෙස් තැනින් තැන වෘතාකාර ප‍්‍රදේශ ලෙස වැටීමට හේතු මොනවාද?

මේ සදහා විශේෂ හේතුවක් සොයාගෙන නැති නමුත් ආරෙට යන අවස්ථා දැකිය හැක.

මෙය සාමාන්‍යයෙන් බොහෝ දෙනෙකුගේ මාස කිහිපයකින් කිසිම ප‍්‍රථිකාරයක් නොමැතිව යථා තත්වයට පත්වේ.

එය උග‍්‍ර ලෙස ඇතිවී ඇතිනම් වෛද්‍යවරයෙකුගේ උපදෙස් අනුව ඒ සදහා ඇති ප‍්‍රථිකාර ක‍්‍රමයකට යොමුවිය යුතුවේ.

හිසකෙස් වැටීමවැඩිපුර සිදුවන්නේ නම් සාමාන්‍යයන් ගත හැකි ක‍්‍රියා මාර්ග මොනවාද?

රෝගී තත්වයන් හා පිලිකා ප‍්‍රථිකාර ආදියට පසු කෙටිකාලයකදී හිසකෙස් නැවත වැඩීම සිදුවේ.

පෝෂ්‍යදායි ආහාර ගැනීම ( ප්‍රෝටීන සහිත )

මානසික ආතතිය අවමකර ගැනීමට පියවර ගැනීම

වැඩිපුර ෂැම්පූ භාවිතා නොකිරීම

හිස පිරිසිදුව තබා ගැනීම

දිනපතා හිස පීරීම

විවිධ ඩයි වර්ග හා ජෙල් වර්ග භාවිතය අවම කිරීම

වෛද්‍යවරයෙකු වෙත යොමුවිය යුත්තේ කවර අවස්ථාවලදීද?

හිස කැසීමි හා කැක්කුම තිබීම

හිසේ සමෙහි පතුරු ගැලවී යාම

අඩු වයසේදීම හිසකෙස් හැලී තට්ටය පෑදීම

කාන්තාවන්ගේ මුහුනේ රැවුල වැවීම හා හිසකෙස් වැටීම නිසා පිරිමින්ගේ මෙන් තට්ටය පෑදීම.

තයිරොයිඩ් ග‍්‍රන්ථිය විශාල වීම හා ශරීරය මහත්වීම ,මුහුණ පුරවා දැමීම හා ශරීරයේ පණ නැති ගතිය.

මෙම ලක්ෂණ තයිරොඩ් ග‍්‍රන්ථියේ අවක‍්‍රියා කාරීත්වය නිසා ඇතිවේ.



Article uploaded on 09/02/2014

ලිපිය පළකල දිනය Article uploaded on: 09/02/2014
මෙම දැනුම ඔබේ යහළුවන් අතරේත් බෙදාගන්න

ඔබ ලෙඩරෝග පිළිබඳ දැනුවත්ද?

එන්න, දැනුම මැනල බලමු සියලුම ගැටළු