කශේරුකා අතර ඇති කාටිලේජමය කොටසේ ඇතිවන තල්ලුවීම (Slipped Disk)

කශේරුකාව ආශ‍්‍රිතව ඇති කාටිලේජමය කොටස නැත්නම් ඩිස්ක් එකක් යනුවෙන් හැදින්වෙන්නේ කුමක්ද?

පිටකොන්ද සෑදී ඇත්තේ අස්ථි රාශියකින් වන අතර මේවා කශේරුකා යනුවෙන් හැදින්වේ.

මෙම කශේරුකා දෙකක් අතර ඇතිවන තෙරපීම අවම කිරීම, කූෂන් එකක් ලෙස ක‍්‍රියාකිරීම හා කශේරුකා අතර වන චලනයනට උපකාරීවීමට ඇති කාටිලේජමය ව්‍යුහය ඩිස්ක් එකක් යනුවෙන් හැදින්වේ.

මෙම ඩිස්ක් එකක් පැනීමක් ලෙස හැදින්වෙන්නේ කුමන තත්වයක්ද?

කශේරුකාව මත ඇතිවන තද බල පීඩනයක් , හදිසි අනතුරක් , වැරදි ඉරියව්වක සිට බරක් එසවීම හෝ කශේරුකා ආශ‍්‍රිතව ඇතිවන දුර්වල වීම් නිසා කශේරුකා අතර ඇති මෙම ඩිස්ක් එකක් එහි සාමාන්‍ය පිහිටීමේ සිට ඉවතට තල්ලුවිය හැක.

මෙම තත්වයක් ඩිස්ක් එකක් පැනීමක් ලෙස හැදින්වේ.

මෙම ඩිස්ක් එකක් ඉවතට පැනීම නිසා කුමක් සිදුවේද?

එමගින් කශේරුකාව ආශ‍්‍රිතව ඇති ස්නායු මෙන්ම සුෂුම්නාව තදවීම විය හැක.

එවැනි තත්වයකදී ඇතිවන රෝග ලක්ෂණ මොනවාද?

කැක්කුම ඇතිවීම ඇතිවන ප‍්‍රධාන ලක්ෂණයයි
මෙය බොහෝවිට ශරීරයේ එක් පැත්තක ඇතිවේ.

ඊට හේතුව වන්නේ මෙම ඩිස්ක් එක බොහෝවිට එක පැත්තකට පැනීමයි.

නමුත් කලාතුරකින් මැද ප‍්‍රදේශයෙන් පැනීමක් විය හැක.

මෙම ඩිස්ක් එක පැනීම සිදුවූයේ කොන්දේ පහල ප‍්‍රදේශයේ නම්

තට්ටම් ප‍්‍රදේශයේ ,උකුල ප‍්‍රදේශයේ හෝ කකුල්වල තද කැක්කුමක් ඇතිවිය හැකි අතර අනෙකුත් ස්ථානවල හිරි ගතියක් ඇතිවිය හැක.

මීට අමතරව කකුල්වල පණ නැති ගතියක් ඇතිවිය හැක.

ඩිස්ක් එක පැනීම සිදුවුයේ ගෙල ප‍්‍රදේශයේ නම්

භාහු ශරීරයට සම්භන්ද වන ප‍්‍රදේශයේ සිට අත්වල ඇගිලි දක්වාම කැක්කුම ඇතිවිය හැක.
සමහර විට මෙය හිරි ගතියක් සමග තිබිය හැක.

බෙල්ල හරවන විට කැක්කුම වැඩවේ.

මුලදී කැක්කුම සුලු වශයෙන් ඇතිවන අතර හිටගෙන සිටින විට ,වාඩිවී සිටින විටදී මෙන්ම කහිනවිටදී හා හයියෙන් සිනහවන විටදී පවා කැක්කුම වැඩිවිය හැක.

සමහර අවස්ථාවලදී රාත‍්‍රී කාලයේදී කැක්කුම වැඩිවීම සුලබව දැකිය හැකි ලක්ෂණයකි.

එසේම පිටිපස්සට නැමීමේදී අධික වේදනාවක් ඇතිකරයි

ඩිස්ක් එකක් පැනීම සිදුවී ඇති බව සොයා ගැනීම කෙසේ සිදුකරයිද?

වෛද්‍යවරයාගේ මූලික පරීක්ෂා කිරීමෙන් පසු අවශ්‍ය අවස්ථාවලදී කල යුතු පරීක්ෂණ වෛද්‍යවරයා තීරණය කරනු ලබයි.

මෙහිදී කරන පරීක්ෂණ අතර එක්ස්-රේ පරීක්ෂණය, CT පරීක්ෂණ හා MRI පරීක්ෂණ ප‍්‍රධාන තැනක් ගනී.

මෙවැනි තත්වයක් සදහා කෙසේ ප‍්‍රථිකාර කරනු ලබයිද?

බොහොමයක් රෝගීන් ටික දිනක විවේක ගැනීම හා කිහිප දිනක් වේදනා නාශක භාවිතා කිරීමෙන් යථා තත්වයට පැමිනේ.

භෞතචිකිත්සාවද මේ සදහා බෙහෙවින් උපකාරීවේ.

මීට අමතරව පිට කොන්දේ මාංශපේශී ශක්තිමත් කිරීමට මෙන්ම නිවැරදි ඉරියව්වලට බර එසවීම හා කොන්දේ නම්‍යතාවය වැඩිකිරීමට අවශ්‍ය ව්‍යායාම කිරීමට උපදෙස් දෙනු ඇත.

සාමාන්‍යයෙන් සති කිහිපයකින් යථා තත්වයට පැමිනෙන අතර එසේ නොවන අවස්ථාවලදී ඊලග පියවර ලෙස කොන්ද ප‍්‍රදේශයට එන්නතක් ලබා දීම සලකාබලනු ලැබේ.


මෙගින් ඩිස්ක් එක පැනීම නිසා ඒ අවට ඇතිවී ඇති ඉදීමිම පාලනය කිරීම මගින් ස්නායු මත ඇති තෙරපීම අවම කරයි.

ඉහත කී ක‍්‍රම මගින් යථා තත්වයට පත් නොවූයේ නම් මෙහි අවසාන ප‍්‍රථිකාර ක‍්‍රමය ලෙස ශල්‍යකර්මයක් මගින් අදාල ඩිස්ක් එක ඉවත් කිරීම සිදුකරයි.

මෙය වෛද්‍යවරයා රෝගියා සමග සාකච්චාකර ගනු ලබන තීරණයකි.

යම් හෙයකින් මෙම ඩිස්ක් එකක් පැනීම නිසා මලපහ පිටවීම පාලනය කල නොහැකි වීම වැනි ව්‍යාකූලතා ඇතිවූවහොත් එය ඉක්මනින් ශල්‍යකර්මයක් කිරීමට හේතුවේ.

මෙවැනි තත්ව ඇතිවීම වලක්වා ගන්නේ කෙසේද?

ක‍්‍රීඩා කිරීමේදී මෙන්ම අනෙකුත් කටයුතුවදීද කොන්දට වන අනතුරු අවමකරගැනීමට වගබලා ගැනීම.

බර එසවීමේදී නිවැරදි ඉරියව් භාවිතාකිරීම.

ශරීර බර පාලනය කරගැනීම.

Article uploaded on 31/01/2014

ලිපිය පළකල දිනය Article uploaded on: 31/01/2014
මෙම දැනුම ඔබේ යහළුවන් අතරේත් බෙදාගන්න

ඔබ ලෙඩරෝග පිළිබඳ දැනුවත්ද?

එන්න, දැනුම මැනල බලමු සියලුම ගැටළු