ආමාශය ආශ‍්‍රිතව ඇතිවන හර්නියා තත්වය (Hiatal Hernia)

ආමාශය ආශ‍්‍රිතව ඇතිවන හර්නියාවක් ලෙස හැදින්වෙන්නේ කවර තත්වයක්ද?

මෙහිදී සිදුවන්නේ ආමාශය ගලනාලය හා සම්භන්දවන කොටස සාමාන්‍යයෙන් උදරයේ තිබිය යුතු වූවත් නොයෙකුත් හේතූන් නිසා එම ප‍්‍රදේශය උරස් කුහරය තුලට නෙරා යාමකි.

උරස් කුහරය හා උදර කුහරය වෙන් කරනු ලබන්නේ මහා ප‍්‍රාචීරය නැමැති මංශපේශීමය පටලයකිනි.

මෙහිදී ඇතිවන රෝග ලක්ෂණ මොනවාද?

ගලනාලය හා ආමාශය සම්භන්ද වන ස්ථානය කපාටයක් ආකාරයට ක‍්‍රියාකරන අතර එමගින් ආමාශයේ සෑදෙන අම්ල ගලනාලයට ආපසු ගැලීම වලකාලයි.

නමුත් ඉහත ආකාරයෙන් සිදුවන හර්නියා තත්වයක් නිසා මෙම කපාටයේ ක‍්‍රියාකාරීත්වය හරියාකාරව සිදුනොවීමෙන් ආමාශයේ සෑදෙන අම්ල ගලනාලයටත් සමහර අවස්ථාවල දී උගුර ප‍්‍රදේශයටත් ආපසු ගැලීමක් විය හැක.

මෙම අම්ල නිසා සිදුවන හානිය නිසා ගලනාලයේ බිත්ති හා උගුර ප‍්‍රදේශයේ බිත්ති ප‍්‍රදාහයක් එසේත් නැතිනම් ඉදිමීමක් විය හැක.

මෙම ඉදිමීම හේතුවෙන්

එය පපුවේ ඇතිවන දැවිල්ලක් ලෙස,

උදරයේ ඉහල ප‍්‍රදේශයේ එකවර ගුලියක් වැනි යමක් හිරවීමක් හා ඒත් සමග ඇතිවන ස්වසනයේ අපහසුවක් ලෙස,

ගිලීමේ අපහසුතාවයක් ලෙස,

නිතර උගුරට ඒමක් ලෙස,

උගුරේ ඇතිවන දැවිල්ලක් ලෙස හෝ සෙම පැටලෙන තත්වයක් ලෙස රෝග ලක්ෂණ ඇතිවිය හැක.

මෙවැනි තත්වයක් ඇතිවීමට බලපාන හේතු මොනවාද?

මේ සදහා විශේෂිත හේතුවක් සොයාගෙන නැති අතර

අධික තරබාරුකම, අධික දුම් පානය, මෙන්ම වයසට යාමත් සමග මෙම තත්වය ඇතිවීමේ අවධානම වැඩිවන බව තහවුරුකරගෙන ඇත.

කුඩා දරුවන්ගේ ඉපදීමේදී ඇතිවන ව්‍යාකූල තත්වයක් ලෙස මෙය ඇතිවිය හැක.

විශේෂයෙන් උදරය හා උරස් කුහරය වෙන් කරමින් ඇති මහා ප‍්‍රාචීරයේ වර්ධනයේ ඇතිවන ව්‍යාකූලතා හා දුර්වලතා මීට බෙහෙවින් බලපායි.

මෙවැනි තත්වයක් ඇත්දැයි හදුනා ගැනීමට කරනු ලබන පරීක්ෂණ මොනවාද?

ආහාර මාර්ගයේ ඉහල ප‍්‍රදේශය ආශ‍්‍රිතව කරනු ලබන එන්ඩොස්කොපි පරීක්ෂණයක් මගින් මෙවැනි තත්වයක් ඇත්දැයි පහසුවෙන් හදුනා ගත හැක.

මෙවැනි තත්වයකට ප‍්‍රථිකාර කරනුයේ කෙසේද?

ආමාශයේ සෑදෙන අම්ල ප‍්‍රමාණය අඩුකිරීමට හා ගලනාලය හා ආමාශය සම්භන්දවන තැන ඇති කපාටය හි ක‍්‍රියාකාරීත්වය යථාතත්වයට පත් කිරීමට ඖෂධ ලබා දෙනු ඇත.

මීට අමතරව

දුම් බීම නැවැත්වීමට,

ශරීරයේ බර අඩුකරගැනීමට,

එකවර ආහාර විශාල ප‍්‍රමාණයක් ආහාරයට නොගෙන විටින් විට ස්වල්ප ප‍්‍රමාණවලින් ආහාර ගැනීමට,

හා ආහාර ගත් විගස නිදාගැනීමෙන් හා ඉදිරියට නැවීමෙන් වැලකීමට උපදෙස් දෙනු ඇත.

නිදා ගැනීමේදී ඇදේ හිසපත්ත තිබෙන පැත්ත එසවීමෙන් රාත‍්‍රියේදී අම්ල ඉහලට ගැලීම අවම කරනු ඇත.

ඉහත ක‍්‍රම මගින් යම් සහනයක් ඇති නොවන්නේ නම් මෙම හර්නියා තත්වය ශල්‍යකර්මයක් මගින් යථා තත්වයට පත් කල යුතුවේ.


Article uploaded on 29/01/2014

ලිපිය පළකල දිනය Article uploaded on: 30/01/2014
මෙම දැනුම ඔබේ යහළුවන් අතරේත් බෙදාගන්න

ඔබ ලෙඩරෝග පිළිබඳ දැනුවත්ද?

එන්න, දැනුම මැනල බලමු සියලුම ගැටළු