ඇසේ පීඩනය වැඩිවීම (Glaucoma)

ඇසේ පීඩනය වැඩි වීමක් ලෙස හැදින්වෙන්නේ කවර තත්වයක්ද?

ඇසේ කාචයට සාපේක්ෂව ඉදිරිපස කොටසක් මෙන්ම පසුපස කොටසක් ඇත.

මෙම ඇසේ ඉදිරිපස කොටස පැහැදිලි දියරයකින් පිරී ඇති අතර එම දියරය සාදනු ලබන්නේ ඇසේ පසුපස කොටසින්වේ .

මෙම දියරය අඛන්ඩව සෑදෙන අතර ඇසේ ඉදිරි පස කොටසේ ඇති කුඩා නාල මගින් ඒවා ඇසෙන් ඉවත් වීමද සිදුවේ.

එබැවින් එම දියරය ඇසේ එකතුවීමක් සිදුනොවේ.

නමුත් යම් හෙයකින් මෙම දියරය ඇසෙන් ඉවත්වීම සිදුකරන ස්ථානවල ඇතිවන හිරවීමක් නිසා එම එලියට ගැලීම අඩු වීමක් හෝ නතරවීමක් සිදුවූවහොත් දියරය ඇසතුල එකතුවීමක් සිදුවීමෙන් ඇසේ පීඩනය වැඩිවේ.

මෙසේ ඇස තුල එකතුවන දියර ඉවත්වීම සිදුකරන ස්ථාන අවහිර වීමට හේතු මොනවාද?

ආරෙට යන අවස්ථා වැඩිපුර දැකිය හැක.

උත්පත්තියේදීම ඇතිවන ඇසේ වර්ධනය වීමේ ව්‍යාකූලතාවයන්.

සමහර ඖෂධ වර්ග දීර්ඝ කාලීනව භාවිතා කිරීම (උදා ස්ටීරොයිඩ වර්ග)

ඇසේ ඇතිවන විෂබීජ තත්ව

ඇසට සිදුවන තුවාල

බොහොමයක් රෝගීන්ගේ විශේෂිත හේතුවක් සොයාගත නොහැකි අතර ඇසේ දියර එකතුවීමත් සමග ඇසේ පීඩනය වැඩිවීම දීර්ඝ කාලයක් තිස්සේ සිදුවන බැවින් රෝග ලක්ෂණ මුල්කාලයේදී ඇති නොවී තිබිය හැක.

මෙසේ ඇසේ පීඩනය වැඩිවීමෙන් ඇසට හානියක් සිදුවේ ද?

ඇසතුල පීඩනය වැඩිවීමෙන් දෘෂ්ඨික ස්නායුවට හානිවීමෙන් අන්ධ භාවයට පත්විය හැක.

මෙම තත්වයකදී ඇතිවන රෝග ලක්ෂණ මොනවාද?

අසේ පීඩනය වැඩිවීම අවස්ථා කිහිපයකදී දැකිය හැක

දීර්ඝ කාලයක් තිස්සේ සිදුවන ඇසේ පීඩනය වැඩිවීමක් ලෙස

එකවර සිදුවන ඇසේ පීඩනය වැඩිවීමක් ලෙස

උත්පත්තියේ සිට ඇතිවන ඇසේ පීඩනය වැඩිවීමක් ලෙස


දීර්ඝ කාලයක් තිස්සේ සිදුවන ඇසේ පීඩනය වැඩිවීමකදී
බොහොමයක් රෝගීන් රෝග ලක්ෂණ මුල් කාලයේදී පෙන්නුම් නොකරයි .

නමුත් ඇසේ පෙනීම අඩුබවක් දැනෙන විට ඇසට සිදුවී ඇති හානියද සැලකිය යුතු
ප‍්‍රමාණයකින් වේ.

මෙවැනි රෝගීන්ගේ මුලින්ම සිදුවන්නේ ඇසට පෙනෙන පරාසය අඩුවීමකි.

එය ක‍්‍රමයෙන් වැඩිවී සම්පූර්ණයෙන් නොපෙනෙන තත්වයක් දක්වා වර්ධනය විය
හැක.



එකවර සිදුවන ඇසේ පීඩනය වැඩිවීමකදී,
ඉතා කෙටි කාලයකදී ඇසේ තද කැක්කුමක් හට ගනී.

ඇසේ පෙනීම අඩුවන අතර ඇසේ දැලක් ඇති ලෙස දැනේ.

මීට අමතරව එලියක් දෙස බලන විට එය වටා දේදුන්නක් ඇති සේ දැනෙනු ඇත.

ඇස ඉදිමීමත් රතුවීමත් බහුලව දැකිය හැක.

සමහර රෝගීන්ට ඔක්කාරයට ඒමත් වමනය යාමත් දැකිය හැක.



උත්පත්තියේ සිට ඇතිවන ඇසේ පීඩනය වැඩිවීමකදී
රෝග ලක්ෂණ බොහෝවිට දැකිය හැක්කේ මාස කිහිපයක් ගතවූ විටවේ.

එක ඇසක් හෝ දෙකම සාමාන්‍ය ප‍්‍රමාණයට වඩා විශාල වීම.

ඇසේ ඉදිරි පස කොටස පැහැදිලි ලෙස තිබිය යුතු වුවත් මෙවැනි රෝගීන්ගේ එය
බොර පැහැයක් ගැනීම.

ඇස් රතුවී තිබීම හා නිතර කදුලු ඒම.

දරුවා එලිය බැලීමට අකමැතිවීම හෝ අපහසු බවක් පෙන්වීම.

රෝග නිර්ණය සදහා කරනු ලබන පරීක්ෂණ මොනවාද?

වෛද්‍යවරයා විසින් රෝග ඉතිහාසය ගැන විශ්ලෙෂණයකට පසු මූලික නිගමනයකට එනු ඇත.

ඉන් පසු අවශ්‍ය පරීක්ෂණ යෝජනා කරනු ඇත.

මෙහිදී ඇස පරීක්ෂා කිරීමේදී ඇස ඇතුල හොදින් පෙනීම සදහා කලු ඉංගිරියාව විශාල කිරීමට ඖෂධ බින්දු දමනු ඇත.

ඉන් ටික වේලාවකට පසු ඇස පරීක්ෂා කරනු ඇත.

එමගින් ඇසේ පීඩනය වැඩිවී ඇත්දැයි හදුනා ගත හැකිවේ.

මීට අමතරව ඇසේ පෙනීමද පරීක්ෂාවට ලක් කරනු ඇත

ඉහත පරීක්ෂණ වලින් බොහෝවිට රෝගී තත්වය ගැන නිගමනයකට එලඹිය හැකි අතර එසේ නොවුන විට ඒ සදහා විශේෂිතවු අනෙකුත් පරීක්ෂණ වලට යොමු කරනු ඇත.

මේ සදහා ප‍්‍රථිකාර කරනුයේ කෙසේද?

එකවර ඇතිවන ඇසේ පීඩනය වැඩිවීමකදී ඉතා ඉක්මනින් ඒසදහා ප‍්‍රථිකාර කල යුතුවේ.

එහිදී ඇසට ඖෂධ බින්දු දැමීම.

ඖෂධ බීමට හා එන්නත් ආකාරයෙන් ලබා දීම කරනු ලැබේ.

ඉන් ඉක්මන් ප‍්‍රථිපලයක් නොලැබෙන්නේ නම් ශල්‍යකර්මයකට භාජනය කරනු ලැබේ.


උත්පත්තියේ සිට ඇතිවන ඇසේ පීඩනය වැඩිවීමදී බොහෝ විට ශල්‍යකර්මයක් මගින් යථා තත්වයට පත්කරනු ලැබේ.



දීර්ඝකාලීනව ඇසේ පීඩනය වැඩිවන තත්ව සදහා

ඇසට දමන ඖෂධ බින්දු හා බීමට ඖෂධ දීර්ඝ කාලීනව දෙනු ලැබේ.

ඉන් ප‍්‍රථිපලයක් නොලැබෙන්නේ නම් ශලයකර්ම සිදුකරන අවස්ථා ඇත.

දීර්ඝ කාලීනව ඇතිවන ඇසේ පීඩනය වැඩිවීමක් නිට්ටාවටම සුව කිරීමේ හැකියාව ඉතාම අල්ප වේ.

නමුත් උත්පත්තියේ සිට ඇතිවන තත්ව සදහා ඉක්මනින් අවශ්‍ය ප‍්‍රථිකාර ලැබුනේනම් හොද ප‍්‍රථිපල ලබා ගත හැක.

මෙවැනි තත්වයක් ඇතිවීම වලක්වා ගන්නේ කෙසේද?

වයස අවුරුදු 40 ට ප‍්‍රථම සුදුසුකම් ලත් වෛද්‍යවරයෙකු ලවා ඇස් පරීක්ෂාකරවා ගැනීම කල යුතුය.

විශේෂයෙන් පවුලේ අනෙකුත් අයට මෙම තත්වය ඇත්නම් ඒ ගැන වැඩි අවධානයක් තිබිය යුතුය.

Article uploaded on 31/12/2013

ලිපිය පළකල දිනය Article uploaded on: 30/12/2013
මෙම දැනුම ඔබේ යහළුවන් අතරේත් බෙදාගන්න

ඔබ ලෙඩරෝග පිළිබඳ දැනුවත්ද?

එන්න, දැනුම මැනල බලමු සියලුම ගැටළු