පුරස්ථ ග‍්‍රන්ථිය විශාල වීම (Prostate Enlargement or prostatomegaly)

පුරස්ථ ග‍්‍රන්ථිය ලෙස හදුන්වන්නේ ශරීරයේ කුමණ කොටසක්ද?

එය පහල මුත‍්‍රා මාර්ගයෙහි මුත‍්‍රා මාර්ගය වටකරගෙන ඇති ස‍්‍රාවීය ග‍්‍රන්ථියක් වන අතර පිරිමින්ගේ පමණක් ඇති ග‍්‍රන්ථියකි.

මෙහි ප‍්‍රධාන කාර්ය වන්නේ ශූක‍්‍රාණු සදහා තරලමය මාධ්‍යක් ලබා දී සංසේචන ක‍්‍රියාවලියට උපකාරී වීමයි.

පුරස්ථ ග‍්‍රණ්ථියේ විශාල වීමක් ලෙස හදුන්වන්නේ කුමන තත්වයක්ද?

පහල මුත‍්‍රා මාර්ගය වටකරගෙන ඇති මෙම ග‍්‍රන්ථිය ප‍්‍රමාණයෙන් වීශාල වීම මෙලෙස අදහස් කෙරේ.

මෙහිදී ග‍්‍රණ්ථිය මධ්‍යයේ ඇති මුත‍්‍රා මාර්ගය තද වීමක් සිදුවිය හැකි අතර එම හේතුව නිසා මුත‍්‍රා පිටකිරීමට බාධා ඇති විය හැක.

මේ ආකාරයට පුරස්ථ ග‍්‍රන්ථිය විශාල වීම පිලිකාමය තත්වයක් නොවන අතර මුත‍්‍රා මාර්ගය අවහිර වීම නිසා නොයෙකුත් ව්‍යාකූලතා ඇතිකරයි.

මෙලෙස පුරස්ථ ග‍්‍රන්ථිය විශාල වීමට බලපාන හේතු මොනවාද?

මේ සදහා බලපාන විශේෂ හේතුවක් සොයාගෙන නොමැති අතර වයසට යත්ම වන ක‍්‍රියාවලියක් ලෙස මෙය සෑම පිරිමි පුද්ගලයෙකුගේම ඇතිවන තත්වයකි.

මෙහි විශාලවීමට ටෙස්ටස්ටෙරෝන් හෝර්මෝනයේ යම් බලපෑමක් ඇතිබව සොයාගෙන ඇති අතර එය එම හෝර්මෝනයේ සාමාන්‍ය තත්ව යටතේදී වුවද විය හැක.

මෙහිදී ඇතිවන රෝග ලක්ෂණ මොනවාද?

රාත‍්‍රියේදී වූවද කිහිපවිටක් මූත‍්‍රා පිටකිරීමට සිදුවීම.

මුත‍්‍රාකිරීමේදී වෙනදාට වඩා තැටමීමට සිදුවීම හා වෙනදා මෙන් මුත‍්‍රා ඈතට විද නොයාම.

මූත‍්‍රාකර අවසානයේදී මුත‍්‍රා බින්දු වශයෙන් දීර්ඝ වේලාවක් පිටවීම.

මුත‍්‍රාකර අවසානයේදී නැවත මුත‍්‍රා බර ගතියක් දැනීම

මුත‍්‍රාබර ආ විගස මුත‍්‍රා පිටකිරීමට අවශ්‍ය වීමත් සමහර අවස්ථාවලදී ඇදුමේ පවා පිටවීමේ තත්වයක් ඇතිවීම.

මුත‍්‍රාකරන විට කැක්කුම ඇතිවීමත් සමහර අවස්ථාවලදී රුධිරය පිටවීමත් විය හැක
මෙහි උඝ‍්‍ර අවස්ථාවලදී මුත‍්‍රා පිට නොවී තිබිය හැක.

මේ සදහා කරනු ලබන පරීක්ෂණ මොනවාද?

වෛද්‍යවරයා විසින් පරීක්ෂාකර බලා පුරස්ථග‍්‍රන්ථියේ ස්වභාවය අනුව කරනු ලබන පරීක්ෂණ නිගමනය කරනු ලබයි.

මුත‍්‍රා මාර්ගයේ හිරවීමක් ඇත්දැයි බැලීමට කරනු ලබන පරීක්ෂණ

මුත‍්‍රාවල විෂබීජ හා රුධිරය ඇත්දැයි බැලීමට කරනු ලබන පරීක්ෂණ

පුරස්ථ ග‍්‍රන්ථිය ආශ‍්‍රිතව ඇතිවන PSA සදහා කරනු ලබන පරීක්ෂණය

සිස්ටොස්කොපි (Cystoscopy) පරීක්ෂණය

මේ සදහා ප‍්‍රථිකාර කරනුයේ කෙසේද?

වෛද්‍යවරයාගේ පරීක්ෂණවලින් මෙහි පිලිකාමය තත්වයක් නැතිබව තහවුරුකරගැනීම සිදුකරයි.

ඉන්පසු රෝගියාගේ මෙම පුරස්ථග‍්‍රන්ථිය විශාල වීමෙන් සිදුවන මුත‍්‍රා හිරවීමේ පුමාණය හා ඉන් එදිනෙදා ජීවිතයට වන බලපෑම මත කරනු ලබන ප‍්‍රථිකාර තීරණය කරනු ලබයි.

මෙහිදී ඇතිවන බල පෑම අවම මට්ටමේ ඇත්නම් ජීවන රටාවෙ යම් වෙනස්කම් ඇතිකිරීමෙන් තත්වය යම් දුරකට සමනය කලහැක.

මුත‍්‍රාබර දැනුන මුල් අවස්ථාවේදීම හිර කරගෙන නොසිට මුත‍්‍රාකිරීම.

අවස්ථාව ලද සැනින් මුත‍්‍රා බර නැතත් මුත‍්‍රාකිරීමට උත්සාහ කිරීම.

මධ්‍යසාර හා කැෆේන් අධික කෝපි වැනි දේවල් ගැනීම අවම කිරීම.

දිනපතා ව්‍යායාම කිරීම

වතුර එකවර විශාල ප‍්‍රමාණයක් පානය නොකර වරකට සුලු ප‍්‍රමාණයක් බැගින් වැඩිවාර ගනනක් පානය කිරීම.

සමහර නාසය හිරවීම වැලක්වීමට දෙනු ලබන නාසයට දමනුලබන ඖෂධ බින්දු හා අනෙකුත් ඖෂධ මගින් පුරස්ථ ග‍්‍රන්ථිය මත ක‍්‍රියාකර එහි හිරවන ගතිය වැඩිකල හැකි බැවින් එවැනි ඖෂධ ලබා ගැනීමේදී වෛද්‍ය උපදෙස් ලබා ගන්න.

මානසික ආතතිය නිසා මුත‍්‍රාකිරීමේ වාර ගනන වැඩිවීමේ හැකියාවක් ඇත. එබැවින් මානසික ආතතිය අවම කරගැනීමද මෙහිදී ඇතිවන බලපෑම අවම කරගැනීමට උපකාරීවේ.

මෙම ජීවන රටාවේ වෙනස්කම් මගින් සහනයක් නොලැබුනි නම් ඖෂධ නියම කිරීම කරනු ලබන අතර ඒවා සාමාන්‍යයෙන් දීර්ඝකාලීනව ගතයුතුවේ.

ඉහත කී ක‍්‍රම මගින් ප‍්‍රථිපලයක් නොලැබුනේ නම් ශල්‍යකර්මයක් කිරීමට වෛද්‍යවරයා යෝජනාකරනු ඇත.



Article uploaded on 21/11/2013


ලිපිය පළකල දිනය Article uploaded on: 20/11/2013
මෙම දැනුම ඔබේ යහළුවන් අතරේත් බෙදාගන්න

ඔබ ලෙඩරෝග පිළිබඳ දැනුවත්ද?

එන්න, දැනුම මැනල බලමු සියලුම ගැටළු