අස්ථි දිරා යාම හෙවත් ඔස්ටියෝපොරෝසිස් (Osteoporosis)

ඔස්ටියෝපොරොසිස් යනුවෙන් හැදින්වෙන්නේ කවර තත්වයක්ද?

මෙහිදී සිදුවන්නේ අස්ථි දිරා ගොස් ඉතා සුලු අනතුරකදී පවා ඒවා කැඩී යාමට වැඩි අවධානමක් ඇති වීමයි.

මෙහිදී අස්ථිවල ඇති කැල්සියම් ප‍්‍රමාණයේ සැලකිය යුතු අඩුවීමක් දැකිය හැකිවේ.

මෙය ඕනෑම කෙනෙකුට ඇතිවිය හැකි අතර වයසට යත්ම කාන්තාවන් අතර බහුලව දැකිය හැක.

මෙම තත්වය ඇතිවීමට හේතු මොනවාද?

සාමාන්‍යයෙන් අස්ථි ගෙවී යාමත් අලුතින් ඇතිවීමත් යන කාරනා දෙකම එකම ප‍්‍රමාණවලින් සිදුවේ .

නමුත් විවිධ හේතු මත අස්ථි ගෙවී යාමට සාපේක්ෂව නැවත ඇතිවීම හරියාකාරව නොවී තිබිය හැක.

එසේ වීමට බලපාන ප‍්‍රධාන හේතු වනුයේ

අස්ථි සෑදී ඇති ප‍්‍රධාන සංඝටකය වන කැල්සියම් අවශ්‍ය ප‍්‍රමාණයට ශරීරයට නොලැබී යාම.

ආහාරයට ගන්නා කැල්සියම් බඩවැල තුලදී ශරීරයට උරාගැනීමට අත්‍යාවශ්‍ය විටමිනයක් වන විටමින් ඩී ඌණතාවය.

ආරෙට යන තත්වයක් වීම ( සමහර පවුල්වල මෙම තත්වය ඇතිවීමේ වැඩි අවධානමක් තිබිය හැක)

ක‍්‍රියාකාරී බව අඩු වීම ( උදා දවස පුරාම ඉදගෙන හෝ ඇදට වී සිටීම)

දුම් පානය හා අධික මධ්‍යසාර භාවිතය.

ඊස්ට‍්‍රජන් හා ටෙස්ටස්ටෙරෝන් යන හෝමෝන වර්ග දෙක අස්ථි නැවත සෑදීමේ ක‍්‍රියාවලියට ඉතා වැදගත් වේ.

කාන්තාවන්ගේ මාස්ශූද්ධිය නතරවීමත් සමග මෙම ඊස්ට‍්‍රජන් හෝමෝනයේ සිදුවන අඩුවීම හේතුකොටගෙන කාන්තාවන්ට පිරිමි පාර්ශවයට වඩා ඔස්ටියෝපොරොසිස් තත්වය ඇතිවීමට වැඩි අවධානමක් ඇත.

සමහර ඖෂධ වර්ග දීර්ඝ කාලීනව ගැනීම නිසාද මෙම තත්වය ඇතිවිය හැක ( උදා ස්ටිරොයිඩ වර්ග- ප්‍රෙඩ්නිසිලෝන් වැනි)

මෙහිදී ඇතිවන රෝග ලක්ෂණ මොනවාද?

රෝග ලක්ෂණ ඇතිවීම ක‍්‍රමක්ක‍්‍රමයෙන් සිදුවන අතර අස්ථිවලින් ඇති වන කැක්කුමක් මුලින්ම ඇති වේ.

ඊට හේතුවන්නේ ඉතාම කුඩා ප‍්‍රමාණයෙන් සිදුවන අස්ථි බිදීම්වේ.( විශේෂයෙන් කකුල්වල හා කොදු ඇටවල)

ඉතාම සුලු අනතුරකදී පවා අස්ථි බිදීයාම.
(මෙසේ බිදීයාමට වැඩි අවධානමක් ඇති ස්ථාන වනුයේ
අතේ මැනික් කටුව ආශ‍්‍රිත ප‍්‍රදේශය උකුල් ඇටය)

වයසට යත්ම උස අඩුවීම සිදුවන්නේද මෙම ඔස්ටියෝපොරෝසිස් තත්වය නිසා වේ.

මේ සදහා කරනුලබන පරීක්ෂණ මොනවාද?

මේ සදහා විශේෂිත වු පරීක්ෂණ (ඩෙක්සා ස්කෑන් )ඇත. නමුත් මේවා කරගැනීම අනිවාර්ය නැත.

මෙමගින් ඔස්ටියෝපොරෝසිස් කොපමණ ප‍්‍රමාණයකට ඇත්ද , ඒ සදහා දෙනු ලබන ප‍්‍රථිකාරවලින් යම් ප‍්‍රථිඵලයක් ලැබේද යන්න ආදී තොරතුරු ලබා ගත හැක.

X-Ray පරීක්ෂණ විශේෂයෙන් අස්ථි බිදීම් සැකකරන අවස්ථාවලදී සිදුකරනු ලබයි.

අවශ්‍යවිටදී රුධිර පරීක්ෂණ හා මුත‍්‍රා පරීක්ෂණ සිදුකරනු ලැබේ.

මේ සදහා ගත හැකි ක‍්‍රියාමාර්ග මොනවාද?

සමබල ආහාර ගැනීම ( මෙහිදී ශරීරයට වැඩිපුර කැල්සියම් හා විටමින් ඩී වැඩිපුර ලැබෙන ආහාර ගැනීමට සැලකිලිමත් විය යුතුයි.)

ශරීර ව්‍යායාම්වල යෙදීම.(ඇවිදීම ඇති හොදම ව්‍යායාම ක‍්‍රමයයි. මීට අමතරව යෝගා ව්‍යායාම හා සුලුවශයෙන් බර එසවීමේ ව්‍යායාම යෝග්‍යවෙ)

නමුත් අධික ලෙස ව්‍යායාම්වල නිරතවීම අධික බර එසවීම හා වැටීමේ අවධානම වැඩි ව්‍යායාම වල නිරත නොවිය යුතුය.

දුම්පානය හා මධ්‍යසාර පානයෙන් ඈත්විය යුතුය.

වෛද්‍යවරයාගේ අනුමැතිය ඇතිව කැල්සියම් හා විටමින් ඩී සහිත ඖෂධ ලබාගත හැක.

මීට අමතරව හෝමෝන හා විවිධ ඖෂධ වර්ග මෙම තත්වයට ප‍්‍රථිකාර කිරීමට යොදා ගන්නා අතර සෑම විටම ඒවා වෛද්‍යවරයෙකුගේ අනුමැතිය ඇතුව පමණක් ගත යුතුය.

ඔස්ටියෝපොරෝසිස් ඇත්නම් සෑම විටම වැටීම් වැලක්වීමට පියවර ගත යුතුය.

ඊට හේතුව වන්නේ යම්හෙයකින් අස්ථි බිදීමක් වූවහොත් ඉන් ඇතිවිය හැකි ව්‍යාකූලතා බහුල බැවනි.

විටමින් ඩී සහිත ආහාර මොනවාද?

බිත්තර කහමදය, මුහුදු මාලු

කැල්සියම් බහුල ආහාර මොනවාද?

කිරි ආහාර , කොලපැහැති එලවලු , හාල්මැස්සෝ හා කුඩා මාලු වර්ග

Article uploaded on 16/11/2013

ලිපිය පළකල දිනය Article uploaded on: 16/11/2013
මෙම දැනුම ඔබේ යහළුවන් අතරේත් බෙදාගන්න

ඔබ ලෙඩරෝග පිළිබඳ දැනුවත්ද?

එන්න, දැනුම මැනල බලමු සියලුම ගැටළු