දියවැඩියාව නිසා සිදුවන ස්නායු හානි (Diabetic neuropathy)

දියවැඩියාව නිසා සිදුවන ස්නායු හානි යනුවෙන් කුමක් අදහස් කෙරේ ද?

රුධිරයේ සීනි ප‍්‍රමාණය වැඩිවීම හා දියවැඩියාව නිසා සිදුවන රුධිරවාහිනී සිහින් වීම නිසා රුධිර සැපයුම අඩු වීම නිසාද ස්නායු වලට හානි සිදුවිය හැක.

මනා සීනි පාලනයක් නොමැතිවිට මෙසේ හානි සිදුවීමේ ප‍්‍රවනතාවය වැඩි අතර දියවැඩියාව ඇති බොහෝ දෙනෙකු එහි අනිසි විපාක වලට මුහුණ දේ.

මෙසේ ස්නායු හානිවීම් ශරීරයේ සෑම තැනකම ඇතිවිය හැක
උදා: මොලයෙන් පටන් ගන්නා ස්නායු

ආහාර මාර්ගය හා සම්භන්ධව ඇති ස්නායු

අත් පා වලට සපයන ස්නායු

හෘදය වස්තුව ,ඇස ආදී ඉන්ද‍්‍රියන් වලට සපයන ස්නායු

දියවැඩියාව හා සම්භන්ධ මෙවැනි ස්නායු හානියක් වූ විට ඇතිවන රෝග ලක්ෂණ මොනවාද?

දිය වැඩියාව නිසා ස්නායු හානිවීම සාමාන්‍යයෙන් වසර කිහිපයක් තිස්සේ මනා සීනි පාලනයක් නැති විට ඇති වේ.

මෙහිදී ඇතිවන ප‍්‍රධාන ලක්ෂණ පහත දැක්වේ

1. කකුල්වල යටිපතුල් හිරි වැටීම හා ක‍්‍රමයෙන් එය ඉහලට ව්‍යාප්ත වීම.

මෙහිදී මුලිකවම ඇතිවන්නේ කකුල් යටිපතුල්වල ඇතිවන නලියන ස්වභාවයක් හෝ දැවිල්ලක ස්වභාවයෙන් ඇතිවන කැක්කුමකි පසුව ක‍්‍රමක් ක‍්‍රමයෙන් සංවේදනය නොදැනෙන තත්වයක් දක්වා වර්ධනයවේ.

එබැවින් මුලිකව ඇතිවන මෙම නලියන ස්භාවය ගැන අවධානයෙන් සිටිය යුතුය


2. හෘදය වස්තුව හා රුධිර වාහිනී පද්ධතියට සපයන ස්නායු හානිවීම නිසා ඇතිවන ලක්ෂණ ලෙස

එකවර වාඩිවීසිට හෝ නිදාගෙන සිට නැගිටින විට හිසේ ඇතිවන කරකැවිල්ල හෝ ක්ලාන්ත ගතිය හා සමහර අවස්ථාවලදී ඉතා වේගයෙන් හෘදය වස්තුව වැඩකිරීම.

මෙය බොහෝවිට රෝගියාට හෘදය වස්තුව වැඩකරනු දැනේ. සාමාන්‍යයෙන් හෘදය වස්තුව වැඩ කරනවා දැනෙන්නේ නැත.

මෙහි ඇති භයානක අවස්ථාවක් වන්නේ හෘදය වස්තුවේ ව්‍යාකූලතාවයන් නිසා ඇතිවන පපුවේ කැක්කුම දැනෙන්නේ නොමැති වී තිබිය හැකිවීමයි.

එබැවින් ඒ සදහා ඉක්මන් ප‍්‍රථිකාර වලට යොමු නොවීමේ අවධානමක් ඇත.


3. ආහාර ජීර්ණ පද්ධතියට සපයන ස්නායු හානිවීම නිසා ඇතිවන ලක්ෂණ ලෙස

බඩ පිපීම , ඔක්කාරයට ඒම මලබද්ධය හෝ බඩේලිය යාම මෙන්ම ගිලීමේ අපහසුතා ඇතිවීම දැකිය හැක.

මේ හේතුව නිසා ආහාර රටාවේ වෙනස්කම් ඇතිවීමෙන් දියවැඩියාවට දෙනු ලබන ඖෂධ නියම කිරීමේදී ගැටලු ඇතිවන අතර දිය වැඩියාව පාලනය කිරීමේද ගැටලු පැනනගී.


4. මෞත‍්‍ර ලිංගික පද්ධතියට සපයන ස්නායු හානිවීම නිසා ඇතිවන ලක්ෂණ ලෙස

නොදැනීම මුත‍්‍රා පිට වීම.

පිරිමින් ලිංගික ක‍්‍රියාවලියේදී ලිංගය ප‍්‍රාණවත් නොවීමී හා ස්ත‍්‍රීන්ගේ යෝනි මාර්ගය වඩා වියලි ස්වභාවයක් ඇතිවීම දැකිය හැක.

මේ සදහා ඇති ප‍්‍රථිකාර මොනවාද?

තත්වය තවදුරටත් ව්‍යාකූල නොවීම සදහා රුධිරයේ සීනි මනා පාලනය අත්‍යාවශ්‍ය වේ.

මේ සදහා වෛද්‍යවරයාගේ උපදෙස් ඇතිව රුධීර පරීක්ෂණ සිදුකර , ගන්නා ඖෂධ මාත‍්‍රා වෙනස්කර ගත යුතු වේ.

මීට අමතරව කකුල්වල ඇතිවන දැවිල්ලක ස්වභාවයෙන් යුත් කැක්කුම අඩුකිරීමට මලබද්ධය හා බඩ පිපීම වැනි රෝග ලක්ෂණ ඇත්නම් ඊට අදාල ඖෂධ වෛද්‍යවරයා විසින් නියම කරනු ඇත.

ලිංගික අප‍්‍රාණික බව ඇතිවී ඇතිනම් වෛද්‍ය උපදෙස් ඇතිව පමණක් ඒ සදහා අදාල ඖෂධ ලබා ගැනීම් කල යුතුය.

මීට අමතරව කකුල් හිරිවැටී තිබීම කකුල් වල තුවාල ඇතිවීමට තුඩු දෙන ප‍්‍රධානතම හේතුවයි එබැවින් ඒ පිලිබදව වඩා අවධානයෙන් සිටිය යුතුය.


Article uploaded on 2/11/2013

ලිපිය පළකල දිනය Article uploaded on: 01/11/2013
මෙම දැනුම ඔබේ යහළුවන් අතරේත් බෙදාගන්න

ඔබ ලෙඩරෝග පිළිබඳ දැනුවත්ද?

එන්න, දැනුම මැනල බලමු සියලුම ගැටළු