කුද්දැටි විශාල වීම

කුද්දැටි යනුවෙන් අදහස් කරන්නේ මොනවාද?

ශරීරයේ සෛල අතර තරලමය කොටසක් ඇත. මෙම තරලය සෑදෙන්නේ රුධිර වාහිනි කෙලවර ඇති කුඩාම ප‍්‍රදේශය වන කේශ නාලිකා වල බිත්තියේ ඇති සිදුරු හරහා සෛල වලට අවශ්‍ය පෝෂ්‍ය ගුණය පිරුණු රුධිරමය කොටසක් (රුධිර සෛල නොමැතිව) පෙරීමෙනි. මෙය දවස පුරා අඛන්ඩව සිදුවේ. මෙසේ සෛල අතර එකතු වන තරලය නැවත රුධිර වාහිනී කරා ගෙනයාමට ඉතාම කුඩා වාහිනී පද්ධතියක් ඇත. එය වසාපද්ධතිය යනුවෙන් හැදින්වේ.
මෙම වසාවාහිනී ජාලයක් එකතුවන තැන පෙරනයක් ආකාරයට පිහිටා ඇති ගැටවැනි යමක් කුද්දැටි යනුවෙන් අදහස් කෙරේ. මෙහිදී වසාපද්ධතිය හරහා යන තරලය මෙම ගැටහරහාම යායුතු වේ.

කුද්දැටි වල කාර්යය කුමක්ද?

රුධිරයේ සෛල අතරට විෂබීජ, ශරීරයට ආගන්තුක ද්‍රව්‍ය හෝ සෛල වලින් ගැලවියන කොටස් එකතු වියහැක. මේවා සෛල අතර ඇති තරලයට එකතු විමෙන් වසාපද්ධතිය හරහා රුධිරයට එකතු වී ශරීරය පුරා පැතිරීමේ අවධානමක් ඇත.
නමුත් මෙම තරලය අනිවාර්යෙන් කුද්දැටි හරහා යායුතු නිසා, එහි ඇති නොයෙකුත් සෛල මගින් එම තරලය පෙරීමක් සිදුකර අනවශ්‍ය ද්‍රව්‍ය රුධිරයට එකතුවීම වලකයි. එමගින් ශරීරය පුරා පැතිරි ව්‍යාකුලතා ඇතිවීම වලකයි.

මෙම කුද්දැටි වැඩිපුර දැකිය හැක්කේ ශරීරයේ කොයි තැන්වලද?

- ගෙල ප‍්‍රදේශයේ හා හනු ප‍්‍රදේශවල
-
කිහිල්ල
- ඉකිලිප‍්‍රදේශයේ

මෙම ස්ථාන වල කුද්දැටි විශාල වූවිට අතට අසුවනමුත් ශරීරයේ ඇතුලත (පපු කුහරය, උදරය) ඇති කුද්දැටි අතට අසුවන්නේ නැත.

මෙම කුද්දැටි සාමාන්‍යයෙන් අතට අසුවන්නේද?

සාමාන්‍ය තත්ව යටතේදී ඒවා අතට අසු නොවේ. නමුත් යම් හෙයකින් ඒවා විශාල වුවහොත් අතට අසුවේ. විශේෂයෙන් ගෙල, කිහිල්ල හා ඉකිලි ප‍්‍රදේශවල

වෛද්‍යවරයෙකු වෙත යොමුවිය යුත්තේ කුමන අවස්ථාවේදීද?

මෙසේ කුද්දැටි විශාල වීමක් ඇති සෑමවිටම වෛද්‍යවරයෙකුගේ උපදෙස් ගැනීම අනිවාර්යයෙන් කල යුතුය. ඊටහේතුව ඉහත සදහන් කල ආකාරයේ හේතු ගණනාවක් නිසා කුද්දැටි විශාලවීම විය හැකි නිසාවෙනි.

මේ සදහා වෛද්‍යවරයා විසින් කුමක් කරයිද?

රෝග ඉතිහාසය පරීක්ෂාකර බලා අවශ්‍යනම්
-
රුධිර පරීක්ෂණ
- ස්කෑන් පරීක්ෂණ
- FNAC පරීක්ෂණ
හෝ කුද්දැටියක් කුඩා ශල්‍යකර්මයකින් ඉවත්කොට පරීක්ෂාවට ලක් කිරීම කරනු ඇත.
බොහෝමයක් අවස්ථාවලදී කුද්දැටි විශාල වීම සිදුවන්නේ විෂබීජ තත්ව නිසා, අවශ්‍ය ඖෂධ ලබාදී නැවත නැවත පරීක්ෂාකර බලනු ඇත. ඉන් පසු එම කුද්දැටිවල ස්වභාවය අනුව ඉදිරි පියවර ගනු ලැබේ.

මෙම කුද්දැටි විශාල වී ඇතිවිය හැකි ව්‍යාකූලතා මොනවාද?

1. විෂබීජ නිසා විශාල වූයේ නම්(වීශේෂයෙන් බැක්ටීරියාවක් නිසා) සැරව ගෙඩියක් ඇතිවීමේ අවධානම

2. වසාපද්ධතිය අවහිරවීමේන් සෛල අතර තරලය ගමනා ගමනයට බාධාවීම නිසා අදාල ප‍්‍රදේශය විශාල වීම.( බාහු)

3. විශේෂයෙන් වෛරස් රෝග ආශි‍්‍රතව උදරයේ ඇතිවන වසා ගැටිති (කුද්දැටි)විශාල වී කැක්කුම ඇතිවීම.

ලිපිය පළකල දිනය Article uploaded on: 09/06/2013
මෙම දැනුම ඔබේ යහළුවන් අතරේත් බෙදාගන්න

ඔබ ලෙඩරෝග පිළිබඳ දැනුවත්ද?

එන්න, දැනුම මැනල බලමු සියලුම ගැටළු