ගලගන්ඩය (goiter)

ගලගන්ඩය එසේත් නැතිනම් ගොයිටර් (Goiter) යනුවෙන් අදහස් කරන්නේ කුමක්ද?

තයිරොයිඞ් ග්‍රන්ථියේ සිදුවන විශාල වීමකි.

ගලගන්ඩය ඇතිවීමට හේතු මොනවාද?

තයිරොයිඞ් ග්‍රන්ථියේ නිපදවෙන හෝමෝන ප‍්‍රමාණය ශරීරයේ ක‍්‍රියාකාරිත්වයට නොසෑහේනම් මොළයේ ඇති පිටියුටරි ග්‍රන්ථියෙන් එක්තරා හෝමෝනයක් වැඩිපුර ස‍්‍රාවය වේ(TSH).මෙම හෝමෝනයේ ක‍්‍රියාකාරිත්වය මඟින් තයිරොයිඞ් ග්‍රන්ථිය විශාල කර එමඟින් ශරීරයට අවශ්‍ය ප‍්‍රමාණයට තයිරොයිඞ් හෝමෝන නිපදවාගැනීම සිදුකරයි.
මීට අමතරව විශේෂිත හේතුවක් නොමැතිවද තයිරොයිඞ් ග්‍රන්ථියේ විශාල වීමක් සිදුවිය හැකිය.(Sporadic goiter)

තයිරොයිඞ් ග‍්‍රන්ථියේ හෝමෝන නිපදවීම අඩුවීමට හේතු මොනවාද?

තයිරොයිඞ් හෝමෝනය නිපදවීමේ ක‍්‍රියාවලියට අයඩින් ලවණය අත්‍යාවශ්‍ය වේ. යම් අයෙකු ගන්නා ආහාරවල ඇති අයඩින් ප‍්‍රමාණය ශරීරයේ අවශ්‍යතාවයට නොසෑහේනම් එම හෝමෝනය නිපදවන ප‍්‍රමාණය ද අඩුවේ.
සමහර ආහාර වර්ග අධික ලෙස ආහාරයට ගැනීමෙන්ද ගලගන්ඩය ඇතිවිය හැක. (උදාඃ ගෝවා, මඤ්ඤෝක්කා) ඊට හේතුව වනුයේ එම ආහාරවල ඇති සමහර රසායනික ද්‍රව්‍ය රුධිරයේ ඇති අයඩින් ලවණය හෝමෝන් නිපදවීම සඳහා තයිරොයිඞ් ග්‍රන්ථියට උරා ගැනීම වලකනු ලැබීමයි. නමුත් මෙම තත්වය එතරම් ලංකාවේ දී දැකිය නොහැකිය.
සමහර මානසිත රෝග සඳහා දෙනු ලබන ප‍්‍රතිකාර (බෙහෙත් වර්ග) නිසාද එවැනි තත්වයක් ඇතිවේ. (උදාඃ ලිතියම් Lithium)
හෝමෝන නිපදවීමේ ක‍්‍රියාවලියේ එන්සයිම වල පවතින සමහර ඌණතා හේතුවෙන්ද හෝමෝන නිපදවීමේ ක‍්‍රියාව අඩපණවිය හැක. මෙය සමහර අවස්ථාවලදී උත්පත්තියේ සිට පැවතිය හැක.

ගලගන්ඩය ඇතිවීම වැඩි අවදානමක් ඇති අය කවරේද ?

- පවුලේ අනෙකුත් සාමාජිකයෙකුට හෝ කිහිපදෙනෙකුට ගලගන්ඩය තිබීම.
-
ආහාර වේලේ තිබෙන අයඩින් ලවන ප‍්‍රමාණය ප‍්‍රමාණවත් නොවීම.
-
ස්ත‍්‍රී ලිංගික වීම.
-
අවුරුදු 45 ට වඩා වැඩි පුද්ගලයකු වීම.

ගලගන්ඩය හා සම්භන්ද රෝග ලක්‍ෂණ මොනවාද?

- තයිරොයිඞ් ග්‍රන්ථිය විශාලවීම නිසා ගෙල ඉදිරිපස කොටසේ එය කැපීපෙනෙන ලෙස විශාලව පෙනෙන්නට ගැනීම.
-
තයිරොයිඞ් ග්‍රන්ථිය පිටුපසින් ඇති ශ්වාසනාලව තදවීම නිසා
-
ශ්වසනයේ අපහසුතා ඇතිවීම.
- වියලි කැස්ස ගතිය.(විශේෂයෙන් උඩුපෙලි අතට නිදාගන්නා විට)
- කට හඬේ ඇතිවන වෙනස්වීම. (බොහෝවිට ගොරෝසු කටහඩක් ඇතිවීම)
- හිසට රුධිරය ගෙනයන රුධිර වාහිනි තදවීම නිසා ක්ලන්තය, කැරකිල්ල ඇතිවීම. මෙය අත් ඉහලට එසවීමේදී වඩාත්ම සිදුවේ.
-
ඉතාම කලාතුරකින් ගලනාලය තදවීම නිසා ඇතිවන ගිලීමේ අපහසුතා ඇති වීම.

මෙම තත්වයට ප‍්‍රතිකාර නොගතහොත් කුමක් සිදුවේද?

⋆ කලාතුරකින් නැවත යථාතත්වයට පත්විය හැක. විශේෂයෙන් වැඩිවියට පත්වන ගැහැණු ළමුන්ගේ මූලික වේගවත් ශරීර වර්ධනයට පසුව මෙය සිදුවිය හැක. (Physiological goiter)
⋆ තයිරොයිඞ් ග්‍රන්ථියේ පටක ක‍්‍රමයෙන් විනාශ වීම හේතු කොටගෙන තයිරොයිඞ් හෝමෝන ඌණතා තත්වයක් ඇතිවිය හැක. (Hypothyroidism)
⋆ තයිරොයිඞ් ග්‍රන්ථියේ ක‍්‍රියාකාරිත්වය අධිකවීම නිසා රුධිරයේ ඇති තයිරොක්සීන් හෝමෝනය අධික ලෙස ඉහල යා හැක. (Hypothyroidism)
⋆ ගිලීමේ හෝ ස්වසන අපහසුතා ඇතිවීම.
⋆ පිලිකාවක් බවට පෙරලීමේ වැඩි අවධානමක් තිබීම.

වෛද්‍යවරයෙකු මුණගැසිය යුත්තේ කුමන අවස්ථාවේදී ද?

ගෙල ඉදිරිපස විශාල වීමක් නිරීක්‍ෂණය කල වහාම වෛද්‍යවරයෙකු මුණගැසීම සුදුසු වේ. සමහර අවස්ථාවලදී ඉදිරියට නෙරා ඒම වෙනුවට ඇතුල් පසට නෙරායාමක් විය හැක. මෙවැනි අවස්ථා වලදී නිරීක්‍ෂණය කිරීම අපහසුවන අතර කලින් සඳහන් කරන ලද රෝගී ලක්‍ෂණ මතුවීම සිදුවිය හැක. එවැනි අවස්ථාවක වෛද්‍යවරයෙකුගේ උපදෙස් පැතීම යෝග්‍ය වේ.

මේ සඳහා වෛද්‍යවරයෙකු කරන පරීක්‍ෂණ මොනවාද?

වෛදයවරයාගේ මූලික පරීක්‍ෂණයෙන් පසුව පහත සඳහන් පරීක්‍ෂණ කරණු ලැබේග
1 තයිරොයිඞ් හෝමෝන පරීක්‍ෂාව (T4, TSH)
2 වෛද්‍යවරයාගේ මූලික පරීක්‍ෂණයේදී වඩා කැපීපෙනෙන ලෙස ගෙඩියක ස්වරූපයක් ගන්නා අවස්ථා වලදී සෛල පටක ලබාගැනීම සඳහා FNAC පරීක්‍ෂණයක් කරනු ලබයි.

FNAC පරීක්‍ෂණයක් යනු කුමක්ද?

මෙම පරීක්‍ෂණයේ මූලික පරමාර්ථය සැකසහිත ස්ථානයකින් සෛල ලබාගෙන පිලිකාවක්දැයි පරීක්‍ෂා කිරීමයි.
මේ සඳහා රෝහලේ නතර වීමක් අවශ්‍ය නොවන අතර OPD පරීක්‍ෂණයක් ලෙස සිදුකරයි.
මෙම පරීක්‍ෂණයට කිසිම ආකාරයේ නිර්වින්දනයක් භාවිතා නොකරයි.
සම මතුපිට හොඳින් පිරිසිදු කර ඉතා සිහින් කටුවකින් අදාල ස්ථානය වෙත යොමුකරයි. ඉන්පසු සිරින්ජරයක් ආධාරයෙන් සෛල ලබාගැනීම කරයි. පරීක්‍ෂණය සඳහා විනාඩි 15-20 පමණ කාලයක් ගතවන අතර පරීක්‍ෂණය අවසන් වූ වහාම රෝහලින් පිටවීමට පුළුවන. එහි වාර්ථාව දින කිහිපයකින් ලබාගැනීමට පුළුවන.

මෙම රෝගී තත්වය සඳහා ඇති ප‍්‍රතිකාර ක‍්‍රම මොනවාද?

ගලගන්ඩය සඳහා ප‍්‍රතිකාර අවශ්‍ය වනුයේ පහත සඳහන් අවස්ථාවලදී වේ.
1. මුලින් සඳහන් කල රෝගී ලක්‍ෂණ ඇතිවීම. (ස්වසන අපහසුතා, ගිලීමේ අපහසුතා ආදිය)
2. පිලිකාමය තත්වයක් ඒ සමඟ ඇතිවීම.
3. හෝමෝන ඌණතා හෝ අධික වීම නිසා රෝගී ලක්‍ෂණ ඇතිවීම.
4. බොහෝ විට තරුණ වයසේ අය ඉහත කිසිම ලක්‍ෂණයක් නැතත් රූප ස්වභාවය ගැන සැලකීම නිසා විශාල වූ තයිරොයිඞ් ග්‍රන්ථිය ශල්‍ය කර්මයක් මඟින් ඉවත් කර ගැනිමට පෙලබේ.
ඇති ප‍්‍රතිකාර ක‍්‍රම පහත අයුරින් දැක්විය හැක.
⋆ තයිරොයිඞ් හෝමෝන ලබාදීම. (තයිරොයිඞ් හෝමෝන ඌණතාවයන් හිදී)
⋆ විකිරණ මඟින් ප‍්‍රතිකාර කිරීම. (Radio -active Iodin) විශේෂයෙන් අධික‍්‍රියාකාරී තයිරොයිඞ් ග්‍රන්ථියක් ඇති රෝගීන්ට
⋆ ශල්‍යකර්මයක් මඟින් සම්පූර්ණයෙන් තයිරොයිඞ් ග්‍රන්ථිය ඉවත් කිරීම.
⋆ තයිරොයිඞ් හෝමෝන ක‍්‍රියාකාරිත්වය අඩු කිරීමට ඖෂධ ලබාදීම

ලිපිය පළකල දිනය Article uploaded on: 18/12/2018
මෙම දැනුම ඔබේ යහළුවන් අතරේත් බෙදාගන්න

ඔබ ලෙඩරෝග පිළිබඳ දැනුවත්ද?

එන්න, දැනුම මැනල බලමු සියලුම ගැටළු